ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම පිළිබඳව සාකච්ඡාවක්

ජර්මනියේ ආර්ථික කටයුතු පිළිබඳ ෆෙඩරල් අමාත්‍යාංශයේ දකුණු ආසියාව, අග්නිදිග ආසියාව සහ ඕෂනියා කලාපය සඳහා වන විදේශ ආර්ථික ප්‍රතිපත්ති අංශයේ අධ්‍යක්ෂ සහ ප්‍රධානී ටෝබියාස් පියර්ලින්ග්ස් (Tobias Pierlings) මහතා සහ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා අතර හමුවක් අද (මැයි 27) අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විය.

ශ්‍රී ලංකාව සහ ජර්මනිය අතර ආර්ථික සහයෝගිතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීමේ අරමුණින් මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, ශ්‍රී ලංකාවේ සංවර්ධන හා ආර්ථික ප්‍රගමනය උදෙසා ජර්මානු රජය ලබා දෙන අඛණ්ඩ සහයෝගය සහ සහයෝගිතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළේය.

ශ්‍රී ලංකාවේ ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිතායතනය විසින් සංවිධානය කරනු ලබන ’ශ්‍රී ලංකා–ජර්මන් ව්‍යාපාරික සමුළුව 2026’ (Sri Lanka–German Business Forum 2026) හි වැදගත්කම පිළිබඳව පියර්ලින්ග්ස් මහතා මෙහිදී අවධාරණය කළේය.

දින තුනක් පුරා පැවැත්වෙන මෙම සමුළුවට දෙරටේ ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යාපාරික නායකයින්, කර්මාන්ත සංගම් සහ විවිධ උපායමාර්ගික අංශ නියෝජනය කරන විශේෂඥයින් ඇතුළු ජ්‍යෙෂ්ඨ පාර්ශ්වකරුවන් 350ක් පමණ සහභාගී වීමට නියමිතය.

මෙම සමුළුව දෙරට අතර ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා තවදුරටත් ගැඹුරු කිරීමට සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අත්කර දීමට වැදගත් වේදිකාවක් වනු ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකයට ඉමහත් දායකත්වයක් ලබා දෙන තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නැගී එන වර්ධනය පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු විය.

තාක්ෂණික හා නවෝත්පාදන පාදක හවුල්කාරිත්වයන් තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීමට දෙපාර්ශ්වයේම එකඟතාව මෙහිදී පළ කළහ.

ශ්‍රී ලංකාවේ කුසලතා සංවර්ධනය සහ වෘත්තීය පුහුණුව පිළිබඳව ද සාකච්ඡා වූ අතර, තාක්ෂණික අධ්‍යාපනය සහ ශ්‍රම බලකාය සංවර්ධනය කිරීම සඳහා සිලෝන් ජර්මන් කාර්මික පුහුණු ආයතනය (CGTTI) මගින් ලබා දෙන දායකත්වය කෙරෙහි ද විශේෂ අවධානයක් යොමු කෙරිණි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන් (H.E. Dr. Felix Neumann) මහතා සහ ජර්මානු තානාපති කාර්යාලයේ නිලධාරීන්, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු ද එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය