මෙරටට පැමිණ සිටින BIMSTEC සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිත කණ්ඩායම අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බිම්ස්ටෙක් (BIMSTEC) සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ ප්‍රථම සමුළුවට සහභාගී වීමට මෙරටට පැමිණ සිටින BIMSTEC සාමාජික රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන් සහ නියෝජිත කණ්ඩායම 2026 නොවැම්බර් 11 වැනි දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

නියෝජිත පිරිස පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, BIMSTEC සෞඛ්‍ය අමාත්‍ය මණ්ඩලයේ සභාපතිත්වය ශ්‍රී ලංකාවට හිමිවීම පිළිබඳව සිය සතුට පළ කළාය.

මෙහිදී BIMSTEC සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේදී සාකච්ඡා වූ කරුණු සහ එහි ප්‍රතිඵල පිළිබඳව නියෝජිත පිරිස සිය අදහස් ඉදිරිපත් කළහ. එමෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කලාපීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා යෝජිත නව ක්ෂේත්‍ර සහ වැඩසටහන් පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

විශේෂඥ දැනුම හුවමාරු කර ගැනීම සහ කුසලත සංවර්ධනය තුළින් මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කලාපීය සහයෝගීතාව ඉහළ නැංවීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝගවලට මුහුණදීම සඳහා සාමූහික ප්‍රවේශයක අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, ප්‍රගතිය අත්කර ගැනීමට නම්එක් එක් රටවල් තනිව ක්‍රියාත්මක වීම වෙනුවට BIMSTEC සාමාජික රටවල් සියල්ලේම පොදු කැපවීම සහ සම්බන්ධීකරණය වූ සාමූහික ප්‍රයත්නය අත්‍යවශ්‍ය බව පෙන්වා දුන්නාය.

මෙම හමුවට බංග්ලාදේශ සෞඛ්‍ය හා පවුල් සුබසාධන අමාත්‍ය සර්දර් එම්.ඩී. සකාවත් හුසේන් (Sardar Md. Sakhawat Husain), මියන්මාර සෞඛ්‍ය අමාත්‍ය සෝ වින් (Soe Win), නේපාල සෞඛ්‍ය හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නිෂා මේතා (Neesha Mehta), තායිලන්ත මහජන සෞඛ්‍ය ලේකම් සහ නියෝජිත අර්තිත් මීතොං (Arthit Meethong), භූතාන සෞඛ්‍ය ලේකම් පෙම්බා වංචුක් (Pemba Wangchuk), BIMSTEC මහලේකම් ඉන්ද්‍ර මනි පාණ්ඩේ (Indra Mani Pandey) සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්ම මහත්මීන් මෙන්ම අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය