කොළඹ කියන්නේ තරු පහේ හෝටල්ම නෙවෙයි. අපේ මිනිස්සුන්ට ආවේනික වූ ආගමික හා සංස්කෘතික විවිධත්වයෙන් යුත් සුන්දර නගරයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ආගමික හා සංස්කෘතික විවිධත්වයත් සමග කොළඹ හරි ලස්සනයි. අපි සියලු දෙනා එකතුවෙලා අපේ නගරය ලස්සනම නගරය බවට පත් කරමු. සැවොම කිසිම භේදයක් නැතුව ජාතික ජන බලවේගය වටා එකතු වෙලා ඉන්නේ ඒ අරමුණින් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙමටගොඩ, කොටහේන, මරදාන හා කොම්පඤ්ඤවිදියේ අප්‍රේල් 28 දින පැවති ජනහමු අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

කොළඹ නගර සභාවේ වාර්ෂික ආදායම රුපියල් බිලියන 30 ක්. කොළඹට පොහොසත් නගර සභාවක් තියෙනවා. මොනවාද අඩු මේ නගර සභාවට. මේ ප්‍රදේශ කොච්චර දියුණු කරන්න පුලුවන්ද. ජනතාව ගැන හැඟීමක් නැහැ. ජනතාවගේ ජීවිත දියුණු කරන්න උවමනාවක් නෑ. අපි මෙහෙම කිව්වාට කරන්න දෙයක් නැහැ. කොළඹ නගර සභාව කිව්වම අපිට සාමාන්‍යයෙන් ඔලුවට එන්නේ හොර ගුහාවක් කියන එක. මුදල් නාස්ති කරන, අපිව අතෙන්ට මෙතනට යවන, කිසිම වැඩක් කරගන්න බැරි තැනක් හැටියට තමයි නගර සභාව ගැන අපිට හැදිලා තිබෙන ප්‍රතිරූපය. මේක වෙනස් කරන්න ඕනේ. මේ රටේ ජනතාව 2024 දී මේ රට වෙනස් කරන ගමන ආරම්භ කළා. මේ රටේ ඉතිහාසය වෙනස් කරන තීන්දු දෙකක් දුන්නා ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී. ඒක හරහා සියලු දෙනාම නියෝජනය වන ආණ්ඩුවක් දැන් අපිට තියෙනවා. ඔබ සියලු දෙනාගේම හඬ, ඔබ සියලු දෙනාගේම අවශ්‍යතා නියෝජනය කරන ආණ්ඩුවක් අපිට තියනවා. 

අවුරුදු දෙකකට කලින් ඔබට මතක ඇති මේ මැතිවරණය තියන්න තිබුණේ 2023 වසරෙ. අපි කිව්වා බිමින් පටන් ගමු කියලා. හැබැයි ජාතික ජන බලවේගය දිනන්න යනකොට රනිල් වික්‍රමසිංහ මොකක්ද කරේ? ඡන්දය නැති කලා. ජාතික ජනබල වේගය නඩු කියලා තමයි මේ මැතිවරණය ලබා ගත්තේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රැක ගන්න අපිට පුළුවන් වුණේ නඩු කියලා. ඒ නිසා තමයි අවුරුදු දෙකක් පරක්කු වුනත් මේ පළාත් පාලන මැතිවරණය අපිට තියන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඔබ  2024 ආරම්භ කල ඒ ඓතිහාසික ගමන අපි නගර සභාව දක්වා ගේමු.

ඔබ දන්නවා අපේ ප්‍රතිවාදින් අපිට එක එක දේවල් කියනවානේ, හැබැයි ඒගොල්ලන්ට කියන්න බෑ අපි හොරකම් කරනවා කියලා. මිනිස්සුන්ගේ මුදල් අපි ආරක්ෂා කරනවා. ආණ්ඩුවක් කොහොමද තිබිය යුත්තේ ද කියන එක අපි අනුර සහෝදරයා දිනපු දවසේ ඉඳන් පෙන්නුම් කරලා තියෙනවා.

මේ මුහුණු දිහා බැලුවාම මොකක්ද අපිට කියන්න පුළුවන්.  මැයි 6 වෙනිදා ජාතික ජන බලවේගය කොළඹ නගරය ජයග්‍රහණය කරනවා කියන එක ගැන කිසිම සැකයක් නැහැ. අපේ ව්‍රායි සහෝදරී නගරාධිපතිනිය වෙන්න නියමිතයි. ඒක ආයිත් කියන්න දෙයක් නැහැ. මේ නගරයේ ඔබ සියලු දෙනාම හොඳින් දන්නා ඔබ ළඟට එන, ඔබට ළඟට එන්න පුළුවන්, කතා කරන්න පුළුවන් නගනගරාධිපති කෙනෙක් දැන් ඔබට ඉන්නවා. දක්ෂ කණ්ඩායමක් එක්ක ඇය නගරාධිපති වෙන්න යන්නේ. මේ නගරය ඇත්තටම අපිට ආඩම්බරයක් වෙන්න පුළුවන් විදියට සංවර්ධනය කරන්න, ලස්සන කරන්න විශාල වුවමනාවක් ඇයට තිබෙනවා. 

මම දන්නවා ඔබ සියලු දෙනාටම සිහින තියෙනවා. මේ දරුවන්ට මේ ඉන්න ළමයින්ට අනාගතයක් ගැන සිහින තියෙනවා. අපිට අපේ අධ්‍යාපන ක්‍රමය හරියට හදාගන්න ඕනේ. නගර සභාවට පෙර පාසල භාර දුන්නා වගේම අපි ජාතික මට්ටමේ රටේ අධ්‍යාපනය හදන්න ලොකු වෙහෙසක් ගන්නවා. විශාල වුවමනාවක් තියෙනවා. 

සියලුම දරුවන්ට ඉස්කෝලෙ යන්න ආස හිතන විදියේ පාසලක් අපි හදන්න බලාපොරොත්තු වෙනවා. දරුවන්ට බරක් නොවන දෙමව්පියන්ට බරක් නොවන, ඒ වගේම දරුවන්ට ආස හිතෙන විදියට අධ්‍යාපනය වෙනස් කරන්න ඕනේ. ඉස්කෝලේ ගිහිල්ලා ඒක නිකන් අර පොතට සීමා නොවී විභාගයක් ගැන විතරක් වද වෙන්නේ නැතුව මේ අධ්‍යාපනය හරහා ලෝකය විශාල වෙන්නේ කොහොමද ලෝකයේ විවෘත වෙන්නේ කොහොමද කියන දේ අපි අපේ දරුවන්ට කියලා දෙන්න ඕනේ.

කොළඹ නගරය කියන්නේ හරිම සුවිශේෂි තැනක්. මේ පළාතට තියෙන්නේ ඊටත් වඩා සුවිශේෂත්වයක්. මම මෙතනට එනකොට ලස්සන කෝවිලක් පහු කරගෙන ආවා.  ඉස්සරහා බුදු පිළිමයක්. මෙතන මරියා තුමියගේ පිළිමයක්. පල්ලියට වැඩි දුරක් නැහැ. මේ විවිධත්වය අපිට වටිනාකමක් ගෙන දෙනවා. කුඩා අවකාශයක පිහිටියත් එකිනෙකා ගැන තියෙන අවබෝධය හා හැගීම වැඩි කරන තැනක්. අවට කඩේකට ගියත් රසවත් කෑම ජාති හොයා ගන්න පුලුවන්. ඒ රස වෙන තැන්වල නැහැ.

අපි සංචාරක ව්‍යාපාරය ගැන කතා කරනවා. අපේ සංචාරක ව්‍යාපාරයේදී  විදේශ රටවල මිනිස්සුන් මේවා දකින්න ඕනේ. මේ අත්දැකීම් ලබන්න  පුළුවන් වෙන්න ඕනේ. ඒවා ලස්සනට තියෙන්න ඕනේ ආකර්ෂණීය විදියට තියෙන්න ඕනේ. මෙතනට ඇවිල්ලා ඉන්න හිතෙන විදියට ගොඩනගන්න ඕනේ. මේවා ගැන ප්‍රසිද්ධ වෙන විදියට අපි නගරය හදාගන්න ඕනේ. කොළඹ කියන්නේ තරු පහේ හෝටල් විතරක් නෙවෙයි කියන එකත්, ඒ වගේම ඉතාමත්ම පොහොසත්, ලස්සන ජීවිත තියෙන සංස්කෘතියක් තියෙන විවිධත්වයෙන් පිරිච්ච නගරයක් කියන එකත් අපි මුළු ලෝකෙටම පෙන්නන්න ඕනේ.

නව අධ්‍යාපන ක්‍රමයත් සමග අපි පොරොන්දු වූ සියල්ලම කරන්න තමයි ඔබ අපට විශාල බලයක් ලබා දුන්නේ. මතක තියාගන්න අපි ඔබත් සමඟ සාකච්ඡා කරපු සියලු දේවල්, ඔබත් එක්ක අපි ඇති කරගත්ත ඒ සමාජ සම්මුතියන්, එකඟතාවයන් ක්‍රියාත්මක කරන්න තමයි අපි බලය ලබා ගත්තේ. ඒක ක්‍රියාත්මක කරන්න තමයි අපි මහන්සි වෙන්නේ. අන්න ඒ ක්‍රියාවලිය කරගන්න හොඳ නගර සභාවක් ගොඩ නගලා දෙන්න කියලා අපි ඔබගෙන් ඉල්ලනවා

මේ අවුරුද්දේ මාර්තු මාසයේ සම්මත කරගත්ත අපේ පළවෙනි අයවැය තුළින් පෙර පාසල් වලට මුදල් වෙන් කරලා තියෙනවා. පාරවල් හදන්න මුදල් වෙන් කරලා තියෙනවා. ජල කළමනාකරණයට, කුණු කසල  සුද්ද කරන්න, කානු පද්ධතියන් හදන්න මුදල් වෙන් කර තිබෙනවා. මෙලෙස ඔබට දැනෙන, කාලයක් තිස්සේ ඔබේ එදිනෙදා ජීවිතයට වදයක් වෙච්ච එවැනි දේවල් නිවැරදි කරන්න, ඒවාට සහනයක් ලබාදෙන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වෙන් කරලා තියෙන මුදල් බොහෝ කැපකිරීම් කරලා ජනතාව වෙනුවෙන් එකතු කරපු මුදල්. ඒවා අපිට හොරුන්ගේ අතට  යවන්න බෑනේ. ඒක කරන්න බෑ. ඒ නිසා තමයි අපිට නගර සභාව සුද්ද කරලා ඕනේ. අපිට කරන්න වැඩ ගොඩක් තියෙනවා.අපි ඇවිත් මාස හයයි තාම, තව කරන්න වැඩ ගොඩක් ඉතුරු වෙලා තියෙනවා. මේ ආර්ථිකය දැන් අපි ස්ථාවර කරලා කියනවා. ඊලගට අපි ආර්ථික වර්ධනයක් ලබාගන්න ඕනේ. ව්‍යාපාර වලට අවශ්‍ය පහසුකම් ලබා ගන්න, ස්වයං රැකියාවලට විශේෂයෙන්ම කාන්තාවන්ට තරුණ තරුණියන්ට ස්වයං රැකියා සදහා, ප්‍රජා පහසුකම් ඇති කරන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා.  ඒවා ක්‍රියාත්මක කරන්න පුළුවන් කියන විශ්වාසයක් අපිට තියෙනවා.  ඒ සඳහා තමයි අපි ඔබෙන් ඉල්ලන්නේ මේ වගේ දක්ෂ කණ්ඩායමක් නගර සභාව සදහා තෝරලා පත් කරලා එවන්න කියලා. 

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ලක්මාලී හේමචන්ද්‍ර මහත්මිය, හේමන්ත විජේකෝන් මහතා,කොළඹ මහ නගර සභා නගරාධිපති අපේක්ෂිකා ව්‍රායි කැලී බල්තසාර් සහ අපේක්ෂකයින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය