ශ්‍රී ලංකා නාමය තේ සඳහා ලොව පුරා ප්‍රචලිත වෙලා තියෙන්නේ එහි තිබෙන සුවිශේෂී රසය, සුවඳ සහ වර්ණය නිසයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

’සිලෝන් තේ’ නමින් පරම්පරා ගණනාවක් ඉදිරියට යන ශ්‍රී ලංකා තේ නාමය, දේශීය උරුමය ලොවට කියාපානවා.

තේ සඳහා වන ජාත්‍යන්තර දිනය වෙනුවෙන්, තේ මතින් ගොඩනැගෙන සහජීවනය: Yaji 2025 චීන-ශ්‍රී ලංකා සංස්කෘතික උත්සවය මැයි 21 වන දින කොළඹ මරීනෝ බීච් හෝටලයේදී පැවති අතර එම අවස්ථාවට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවා ය.

ශ්‍රී ලංකාවේ චීන සංස්කෘතික මධ්‍යස්ථානය, ශ්‍රී ලංකාව සඳහා වන චීන තානාපති කාර්යාලය, චීනයේ XiZang පාලන කලාපයේ සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුව සහ චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යාංශය එක්ව මෙම උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,

"විශේෂයෙන්ම ජාත්‍යන්තර තේ දිනය සමරන අද දිනයේ, තේ මතින් ගොඩනැගෙන සහජීවනය: 2025 චීන-ශ්‍රී ලංකා සංස්කෘතික උළෙල ඇමතීමට ලැබීම සතුටක්. අද දිනය, සියවස් ගණනාවක් පුරා මිනිසුන් මෙන් ම සංස්කෘතීන් එකට එකතු කළ පානයක් ලෙස තේවල තිබෙන සංස්කෘතික වටිනාකම, සෞඛ්‍ය ප්‍රතිලාභ මෙන්ම ආර්ථික වැදගත්කම පිළිබඳව සිහිපත් කිරීමට අවස්ථාවක් සලසනවා.

ශ්‍රී ලංකා-චීන මිතුදම සියවස් ගණනාවකට දිව යන්නක් වගේ ම එය ආගමික මෙන් ම සංස්කෘතික වශයෙන් ද ඓතිහාසිකව ශක්තිමත් වූවක්.

ශ්‍රී ලංකා නාමය තේ සඳහා ලොව පුරා ප්‍රචලිත වෙලා තියෙන්නේ එහි තිබෙන සුවිශේෂී රසය, සුවඳ සහ වර්ණය නිසයි. ‘සිලෝන් තේ’ නමින් පරම්පරා ගණනාවක් ඉදිරියට යන ශ්‍රී ලංකා තේ නාමය දේශීය උරුමය ලොවට කියාපානවා.

එම නිසා, ශ්‍රී ලංකා තේ සන්නාමය ඉදිරියට ගෙනයන්න තේ නිෂ්පාදන ක්‍රියාවලියේ නිරත වන සියලු දෙනාට, විශේෂයෙන්ම අතීතයේ සිට බොහෝ ගැටලුවලට මුහුණ පෑමට සිදු වෙලා තිබෙන තේ නෙලන්නන් සඳහා සේවා පහසුකම් සහ ආරක්ෂාව සහතික කිරීම සඳහා කටයුතු ක්‍රියාත්මක කිරීම වැදගත් වෙනවා. අපි රජයක් විදිහට ඒ සඳහා කැපවී සිටිනවා.

ගෝලීය තේ අපනයනයෙන් ආසන්න වශයෙන් 15% ක් පමණ දායකත්වයක් ලබා දෙමින් අද වන විට ශ්‍රී ලංකාව ලෝකයේ තුන්වන විශාලතම තේ අපනයනකරුවා බවට පත් වෙලා තියෙනවා. සැලකිය යුතු අභියෝග හමුවේ වුවත්, දේශීය තේ කර්මාන්තය 2024 වසරේ දී විශිෂ්ට ජයග්‍රහණ වාර්තා කර තියෙනවා.

ඒ වගේ ම, සිලෝන් තේ මේ වන විට ලොව සියලුම තේ නිෂ්පාදනය රටවල් අතරින් චීන වෙළඳපොළෙහි ප්‍රධාන තේ සැපයුම්කරු බවට පත් වෙලා තියෙනවා. සිලෝන් තේ අපනයනය කරනු ලබන ප්‍රධාන ගමනාන්ත පහ අතරට චීන වෙළඳපොළ ඇතුළත් වෙලා තියෙනවා.

තේ සහ සංස්කෘතිය උරුමය මුල් කර ගනිමින් මෙවැනි උත්සවයක් සංවිධානය කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට මම කෘතඥතාව පුද කරන්න කැමතියි. තේ හරහා දෙරට අතර ගොඩනැගෙන මෙම සහජීවනය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට අපි ඉදිරියටත් කටයුතු කරමු.

පූජ්‍ය කිරින්දේ අස්සජි නායක ස්වාමීන්වහන්සේ, ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති චී ජංහොං මහතා ඇතුළු චීන සහ ශ්‍රී ලාංකික නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය