චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්

චීන මහජන සමූහාණ්ඩුවේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ගරු වැන්ග් ඩොංමින් මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර නිල හමුවක් 2025 දෙසැම්බර් 17 දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

දෙරට අතර පවතින දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා සහ ඉදිරියේදී සහයෝගීතාව වර්ධනය කරගත යුතු ක්ෂේත්‍ර පිළිබඳව දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.

ශ්‍රී ලංකාව මෑතකදී මුහුණ දුන් ස්වභාවික ආපදා තත්ත්වයේදී චීන රජය ලබා දුන් ක්ෂණික ආධාර පිළිබඳව අග්‍රාමාත්‍යවරිය සිය ස්තූතිය පළ කළ අතර, අපදා තත්වයෙන් පසු ශ්‍රී ලංකාව යථා තත්ත්වයට පත් කිරීමේ සහ නැවත ගොඩනැගීමේ අදියරට පිවිස ඇති බව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.

ආපදාවෙන් පීඩාවට පත් වූවන්ට සිය කනගාටුව ප්‍රකාශ කළ වැන්ග් ඩොංමින් මහතා, ඉදිරි ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ද චීනයේ උපරිම සහාය ලබා දෙන බවට සහතික විය.

අග්‍රාමාත්‍යවරියගේ මෑතකාලීන චීන සංචාරයේදී සාකච්ඡා වූ කරුණු සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර පාසල් නිල ඇඳුම් සහ පොහොර ආධාර ලබා දීම, ඩිජිටල් අධ්‍යාපන කටයුතු සඳහා තාක්ෂණික සහාය ලබාදීම, මාර්ග සංවර්ධනය, සෞඛ්‍ය සහ සංස්කෘතික යන ක්ෂේත්‍රවල ප්‍රගතිය සහ තවදුරටත් මිත්‍රත්වය ශක්තිමත් කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

කලාපීය හා ජාත්‍යන්තර කටයුතුවලදී ශ්‍රී ලංකාව සමඟ සමීපව කටයුතු කිරීමට චීනය සූදානම් බව පැවසූ වැන්ග් මහතා, මෙරට සමාජීය හා ආර්ථික සංවර්ධනය උදෙසා අඛණ්ඩව දායක වන බව අවධාරණය කළේය. අන්‍යෝන්‍ය විශ්වාසය සහ අවබෝධය මත පදනම්ව මෙම සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට දෙපාර්ශවයම මෙහිදී එකඟතාව පළ කළහ.

මෙම අවස්ථාවට චීන තානාපති චී ෂෙන්හොං , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය