ශ්‍රී මහ බෝධි සංවර්ධන අරමුදලේ සාමාජිකයන් අග්‍රාමාත්‍යවරියගේ සහභාගීත්වයෙන් රැස්වෙයි
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදල අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගෙ සහභාගීත්වයෙන් පෙබරවාරි 23 වැනිදා අනුරාධපුර මහා විහාර භූමියේ සන්නිපාත ශාලාවේ දී පැවැත්විණි.
මෙම අවස්ථාව සඳහා නුවර කලාවිය ප්‍රධාන සංඝනායක අටමස්ථානාධිපති සාහිත්‍යශූරී ආචාර්‍ය පල්ලේගම හේමරතන මහනාහිමි, සියම් මහ නිකායේ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක ඊතල වැටුණුවැවේ ඤාණතිලක නාහිමි, සියම් මහ නිකායේ උතුරුමැද පළාත් ප්‍රධාන අධිකරණ සංඝනායක ලංකාරාම චෛත්‍යාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති නාහිමි, ශ්‍රී ලංක භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය අභයගිරි චෛත්‍යරමාධිකාරී ආචාර්‍ය කල්ලංචිය රත්නසිරි නාහිමි, ථූපාරාම චෛත්‍යාධිකාරී පූජ්‍ය කහල්ලේ ඥාණින්ද නාහිමිවරුන්ගේ ගෞරවනීය සහභාගීත්වය සිදු විය.
ජය ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සාමාජිකයන් පත් කිරිමේ බලධාරීත්වය අග්‍රාමාත්‍යවරිය සතු වන අතර අග්‍රාමාත්‍ය ධූරයට පත්වීමෙන් පසු එතුමිය මේ සඳහා සම්බන්ධ වූ පළමු අවස්ථාව මෙයයි.
මෙහි දී ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ ආරම්භය,එහි නිලධාරී මණ්ඩලය සහ අරමුදල විසින් මේ දක්වා සිදුකර ඇති කාර්‍ය්යන් පිළිබඳව අරමුදලේ සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍යවරිය දැනුවත් කරන ලද අතර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ අනෙකුත් අටමස්ථාන ඇතුළුව පූජා භූමීන්හි ආරක්ෂාව සහ ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් සංවර්ධන අරමුදල සඳහා ලබා දිය හැකි උපරිම සහයෝගය ලබා දෙන බව අග්‍රාමාත්‍යවරිය විසින් මෙහි දී ප්‍රකාශ කරන ලදී.
තවද මෙහි දී අටමස්ථානාධිපති සාහිත්‍යශූරී ආචාර්ය පල්ලේගම් හේමරතන මහ නාහිමියන් විසින් රන්වැට අරමුදල විසින් ප්‍රකාශිත " ජය ශ්‍රී මහ බෝ සිරිත" කෘතිය අග්‍රමාත්‍යවරිය වෙත හඳුන්වා දුන් අතර එම කෘතිය එතුමිය වෙත ප්‍රදානය කරන ලදී. එමෙන්ම එම කෘතියේ පිටපත් දහසක් පාසල් පුස්තකාල දහසක් වෙත ප්‍රදානය කිරීම පිළිබඳව ද මෙහි දී සාකච්ඡා විය.
මෙම අවස්ථාව සඳහා ජාතික ජනබලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පළිහේන, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් රංජිත් විමලසූරිය යන මහත්වරුන් ඇතුළුව ශ්‍රී මහා බෝධි සංවර්ධන අරමුදලේ සාමාජිකයන් සම්බන්ධ විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය