ජාතීන් අතර සහජීවනය ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක මගපෙන්වීම අත්‍යවශ්‍යයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සිංහල, දෙමළ සහ මුස්ලිම් යන සියලු ජන කොටස් සහෝදරත්වයෙන් ජීවත්වන ආණමඩුව වැනි බහුසංස්කෘතික ප්‍රදේශයක ජාතීන් අතර සහයෝගය සහ සංහිඳියාව තවදුරටත් ශක්තිමත් කිරීමට පරිණත ආගමික නායකත්වයක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම වෙනුවෙන් අද (13) ආණමඩුව සුදම්පායෙහි පැවති සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මල්වතු විහාර පාර්ශවයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් රාජවන්නි සහ කුමාරවන්නි දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධුරය වෙනුවෙන් වූ සන්නස් පත්‍රය ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ වෙත පිළිගැන්වීම සිදු කළාය. විජිනිපත පිළිගැන්වීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කළේය.

අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ආණමඩුවේ ධර්මකීර්ති ශ්‍රී පඤ්ඤානන්ද නායක ස්වාමීන් වහන්සේ, වසර 50කට ආසන්න පැවිදි දිවියක් සහ වසර 35ක ගුරු සේවයක් තුළින් බුද්ධ ශාසනයට මෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අනුපමේය මෙහෙවරක් ඉටු කළ යතිවරයාණන් වහන්සේ නමක්.

උන්වහන්සේ හුදෙක් ආගමික වතාවත්වලට පමණක් සීමා නොවී, ප්‍රදේශයේ දරුවන්ගේ සහ පොදු ජනතාවගේ දුකේදීත් සැපේදීත් සෙවණැල්ලක් මෙන් සිටිනවා. විශේෂයෙන්ම පසුගිය වසරේ ’දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පුත්තලම දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීමේදී උන්වහන්සේ ලබාදුන් මානුෂීය නායකත්වය මුළු මහත් ප්‍රදේශයටම ශක්තියක් බව සිහිපත් කළ යුතුයි.

පරමාකන්ද රජමහා විහාරය ඇතුළු ඓතිහාසික පුණ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කරමින් ඒවා අනාගත පරපුර උදෙසා සුරක්ෂිත කිරීමට උන්වහන්සේ දරන වෙහෙස ප්‍රශංසනීයයි.

සහකම්පනයෙන් පිරි ජනතාවක් වෙසෙන ’නව පුනරුද යුගයක්’ කරා රට මෙහෙයවීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමේදී, උන්වහන්සේ වැනි ප්‍රායෝගික ආගමික නායකයින්ගේ මගපෙන්වීම සහ ආශිර්වාදය රජයට ඉතාමත් වටිනා බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, වයඹ පළාත් ආණ්ඩුකාරතුමන්, රජ්‍ය පරිපාලන, පලාත් සභා සහ පලාත්පාලන අමාත්‍ය චන්දන අ⁣බයරත්න, දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, රාජ්‍ය නිලධාරීන්, දායක දායිකාවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය