එක්සත් රාජධානියේ ඉන්දු පැසිෆික් කලාපීය අමාත්‍ය කැතරින් වෙස්ට් අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

එක්සත් රාජධානියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක සහ ඉන්දු පැසිෆික් කලාපය සඳහා විදේශ, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කාර්යාල අමාත්‍යවරිය වන කැතරින් වෙස්ට් මහත්මිය, 2025 ජනවාරි 27 වැනි දින, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙම හමුවේදී, දරිද්‍රතාවය තුරන් කිරීම, ප්‍රාදේශීය සංවර්ධනය සහ ආර්ථික සමානාත්මතාවය ඇතුළු ප්‍රධාන රජයේ ප්‍රමුඛතා පිළිබඳව සාකච්ඡාවට ගැනිණ.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තන මුලපිරීම් සහ “Clean Sri Lanka” වැඩසටහන පිළිබඳවද අදහස් හුවමාරු කරගැනුණු අතර ආචාර්ය අමරසූරිය ජාතික ප්‍රගතිය කරා මෙහෙයවීමේදී සමාජ වගකීම් සහ සියල්ල ඇතුළත් පාලනයේ වැදගත්කම ඉස්මතු කළාය.

මෙම හමුවට ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් Andrew Patrick මහතාද සහභාගී විය. ශ්‍රී ලංකා දූත පිරිසට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු අමෙරිකානු අංශයේ සහකාර අධ්‍යක්ෂ දමිත්‍රි සමංගිකා මහත්මිය ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.