“ශක්තිමත් තාක්ෂණික, වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) පද්ධතියක් හරහා තිරසාර සහ හරිත අනාගතයක් කරා යන ගමන් මගට අවශ්‍ය ප්‍රායෝගික, කාලීන සහ අනාගත දැක්මක් ඇති පුද්ගලයින් ගොඩනගනවා. - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

එවැනි පරිවර්තනයක් ඇති කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවයක්

මාර්තු 24 වන දින පැවති අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය සමඟ සහයෝගිතාවයෙන් පිලිපීනයේ Colombo Plan මාණ්ඩලික විද්‍යාලය විසින් සංවිධාන කරන ලද “දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව සහ හරිත රැකියා සඳහා TVET පද්ධති පරිවර්තනය කිරීම” පිළිබඳ ජාත්‍යන්තර සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසුවා ය.

මෙම “ඩිජිටල්, හරිත සහ ඇතුළත් ආර්ථිකයක් සඳහා තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) පද්ධතිය පරිවර්තනයක් කිරීම” පිළිබඳ සම්මේලනය භූතානය, ෆීජි, මැලේසියාව, මාලදිවයින, මියන්මාරය, නේපාලය, පිලිපීනය, තායිලන්තය, පකිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු CPSC සාමාජික රටවල නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් 2026 මාර්තු 23 සිට 27 දක්වා පැවැත්වෙන අතර දේශගුණික විපර්යාසයන්ට ඔරොත්තු දෙන හරිත කුසලතා සංවර්ධනය කිරීම පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයන් සඳහා අවකාශය සලසාලයි.

මෙම අවස්ථාව සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී සහ තිරසාර අනාගතයක් කරා ගමන්කිරිමේදි ප්‍රායෝගික, කාලීන සහ අනාගත දැක්මක් ඇති පුද්ගලයින් ගොඩනැගීමට තාක්ෂණික සහ වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණු පද්ධතියෙහි (TVET) කාර්යභාරය අවධාරණය කළා ය.

එවැනි පරිවර්තනයක් ඇති කිරීම ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රමුඛතාවයක් වන බවත්, අධ්‍යාපනය දැනුම බෙදා දීම සඳහා පමණක් සීමා නොවී පුද්ගලයින්ට නව අවස්ථා ලබා දෙන, සමාජයට අර්ථවත් ලෙස දායක විය හැකි පිරිසක් ගොඩනගන අවකාශයක් විය යුතු අග්‍රාමාත්‍යවරිය තවදුරටත් අවධාරණය කළාය.

විෂයමාලාවට හරිත කුසලතා ඇතුළත් කිරීම, නවීන පුහුණු පහසුකම් සංවර්ධනය සඳහා සඳහා ආයෝජනය කිරීම, නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීම සහ පුහුණු ආයතන සහ නැගී එන හරිත කර්මාන්ත අතර සහයෝගීතාවය වර්ධනය කිරීම මගින් අධ්‍යාපන හා පුහුණු පද්ධතිවලට පාරිසරික තිරසාරභාවය ඒකාබද්ධ කිරීමේ අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍ය මෙහිදී අවධාරණය කළාය.

මෙම ක්‍රියාවලියේදී සමානාත්මතාවය සහතික කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, හරිත සංක්‍රාන්තිය හරහා ලැබෙන අවස්ථාවන් සඳහා තරුණයින්, කාන්තාවන්, විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලයින් සහ ආන්තික ප්‍රජාවන් ඇතුළු සියලුදෙනාට ප්‍රවේශ වීමට හැකි වන ලෙස කටයුතු කළ යුතු බව පැවසුවා ය.

කලාපීය සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් සමඟ සමීපව කටයුතු කිරීමට ශ්‍රී ලංකාවේ කැපවීම අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, එම හවුල්කාරිත්වයන් සැබෑ හවුල්කාරිත්වයන් සහ ප්‍රතිලාභ බවට පරිවර්තනය කර ගත යුතු බව අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා, අතිරේක ලේකම් (වෘත්තීය පුහුණු) සමන්ති සේනානායක මහත්මිය කොළඹ සැලසුම් මාණ්ඩලික විද්‍යාලයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය (වෛද්‍ය) Suresh K. Dhameja මහතා සහ TVET පරිපාලකයින්, ආයතනික ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයින්, උපදේශකයින්, කර්මාන්ත නියෝජිතයින් සහ කලාපය පුරා ජාත්‍යන්තර නියෝජිතයින් සහ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නිලධාරීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය