“සෞන්දර්යය හා ක්‍රීඩා වැනි කටයුතුවලින් ලබාදෙන අත්දැකීම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපන අවදියේ සිටම ලබාදිය යුතුයි.” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

අප රටට අවශ්‍ය කරන අනාගත නායකත්වය බිහිකිරීමට නම් සෞන්දර්යය හා ක්‍රීඩාව වැනි ක්ෂේත්‍ර හරහා ලබාදෙන අත්දැකීම දරුවන්ට ප්‍රාථමික අධ්‍යාපන අවදියේ සිටම ලබාදිය යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අධ්‍යාපන නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අග්‍රාමාත්‍යවරිය, ජුනි 18 දින පොල්පිතිගම ජාතික පාසලේ පැවති “පුංචි හපන්නු 2026” ප්‍රාථමික සාහිත්‍ය කුසලතා ඇගයීමේ උත්සවයට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළාය.

පොල්පිතිගම කොට්ඨාසයේ අධ්‍යාපන අධ්‍යක්ෂතුමාගේ සංකල්පයකට අනුව එම කොට්ඨාසය තුළ ඇති ප්‍රාථමික පාසල් 49ක සිසු සිසුවියන්ගේ සහභාගීත්වයෙන් පැවති “පුංචි හපන්නු 2026” භාෂා හා සාහිත්‍ය කුසලතා තරගාවලියේ ජයග්‍රාහක සිසු සිසුවියන් ඇගයීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි. විවිධ තරග අංශ 17ක් හරහා ජයග්‍රහණය කළ සිසු සිසුවියන්ගේ සෞන්දර්යාත්මක ක්‍රියාකාරකම්වලින්ද මෙම අවස්ථාව වර්ණවත් විය.

එමෙන්ම මෙහිදී එම තරගාවලියේ විවිධ අංශ හරහා ජයග්‍රහණය කළ පාසල් සිසු සිසුවියන් සඳහා අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් සහතික පත් ප්‍රදානය ද සිදුකෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

ඇත්තටම පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසය තුළ සිදු කළ මෙම කර්තව්‍යය මුළු රටටම ආදර්ශයක් ගෙනදෙන වැඩක්. ප්‍රාථමික අධ්‍යාපනය කියන්නෙ විශාල පරාසයක පැතිරී යන ක්ෂේත්‍රයක්. දරුවකු නිවැරදි මගට ගැනීමට නම් ප්‍රාථමික අධ්‍යාපනය ඔස්සේ ලබාදෙන මූලික අඩිතාලම ඉතාමත් වැදගත්. දරුවකු ප්‍රාථමික අධ්‍යාපනය හැදෑරීමට ලැබෙන්නේ ජීවිතයට එක පාරයි. ඒක අපි නිවැරදී ආකාරයට දරුවාට ලබාදිය යුතුයි.

අපි අද දැක්කා පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසයේ දරුවන්ට ඔවුන්ගේ සෞන්දර්යාත්මක කුසලතා නිර්මාණශීලීව පෙන්වන්න ලබා දීපු මෙම අවස්ථාව ඔවුන් කොපමණ හොඳින් භාවිතා කළාද කියලා. ඒ වගේම මුළු ලංකාවෙම සිටින සැඟවුණු දක්ෂතා ඇති දරුවන්ගේ සැඟවුණු කුසලතා පෙන්වන්න අවස්ථාව ලබාදිය හැකි අධ්‍යාපන ක්‍රමයක් සාදන්නයි අප උත්සාහ කරන්නේ.

අනතුරුව අග්‍රාමාත්‍යතුමිය පොල්පිතිගම අධ්‍යාපන කොට්ඨාසයේ මකුල්පොත මහා විද්‍යාලයට පැමිණි අතර එහිදී විදුහලේ ඉඳිකිරීමට නියමිත දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ද එක් විය.

රුපියල් මිලියන 45 ක මුදලක් ආයෝජනයෙන් සිදුකරන ලද මෙම ඉඳිකිරීම් කටයුතු 2026 වර්ෂයේදී අවසන් කර 2027 වසරේ ජනවාරි මස සිසු අයිතියට පැවරීමට නියමිත ය.

මෙම අවස්ථාව සඳහා මහා සංඝරත්නය, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී නීතිඥ ගීතා හේරත් මහත්මිය, වයඹ පළාත් අධ්‍යාපන බලධාරීන්, දෙමාපියන් සහ විදුහල්පතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය