යුරෝපීය සංගමයේ නියෝජිත පිරිසක් ජුනි 15 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමු වූ අතර ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් සාකච්ඡා පැවැත්වූහ.
මෙම හමුවේදී, වෙළඳාම සහ ආයෝජන ශක්තිමත් කිරීම, තිරසාර සංවර්ධනය, කාන්තා සුභසාධනය සහ පාලනය ඇතුළු ප්‍රධාන අංශවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම සඳහා දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.
ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ පාලනය තුළ කාන්තා සහභාගීත්වය සඳහා අවස්ථා වැඩි කිරීමට රජය ගන්නා උත්සාහයන් සහ කැපවීම අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය. අර්ථවත් නියෝජනයක් සහතික කිරීම සඳහා පවතින අභියෝග සහ එවැනි අභියෝග මඟහරවා ගැනීමට අවශ්‍යවන ප්‍රතිපත්ති, කුසලතා ගොඩනැගීම සහ ආයතනික ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාවය කෙරෙහි ද මෙම හමුවේදී අවධානය යොමු විය.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ තානාපතිනි Carmen Moreno, යුරෝපා සංගමයේ නියෝජිත කණ්ඩායමේ නියෝජ්‍ය ප්‍රධානී Galija Agiseva මහත්මිය, ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ යුරෝපා සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය