ශ්‍රී ලාංකීය සමාජය ආපදා අවදානම්වලින් ආරක්ෂා කිරීමට මෙන්ම තිරසාර සහ ශක්තිමත් සංවර්ධනයට මඟ පෙන්වීම සඳහා RIMES ඉටු කරනු ලබන කාර්යභාරය ඉතාමත් ප්‍රශංසනීයයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය විසින් සංවිධානය කල, මැයි 08 දින කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේ, පැවති අප්‍රිකා සහ ආසියාතික රටවල් සඳහා වන කලාපීය ඒකාබද්ධ බහු-උපද්‍රව පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධතියේ (RIMES) සිව්වැනි අමාත්‍ය සමුළුවට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.

අප්‍රිකා සහ ආසියාතික රටවල් මූලික වශයෙන් මුහුණ පා ඇති අවදානම් අධීක්ෂණය කිරීම, තක්සේරු කිරීම, සන්නිවේදනය කිරීම සහ තීරණ ගැනීම සඳහා එම අවදානම් තොරතුරු යෙදවීම යන පහසුකම් සැලසීම සඳහා 2009 අප්‍රේල් 30 වැනි දින RIMES පිහිටුවා ඇත.

මෙහි දී වැඩි දුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය:

"2017 වසරේ පැපුවා නිව්ගිනියාවේ පැවති තුන්වන අමාත්‍ය සමුළුවේදී RIMES හි සිව්වන අමාත්‍ය සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා යෝජනාව ඉදිරිපත් කළා. ගෝලීය COVID-19 වසංගතය මෙන් ම ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අර්බුදය වැනි විවිධ අභියෝග නිසා මෙම සමුළුව මේ වන තෙක් කල් දැමීමට සිදු වුවත්, මෙම අවස්ථාව අද දින යථාර්ථයක් බවට පත් කිරීම සඳහා විශේෂයෙන්ම RIMES ඇතුළුව ඉඩම් සහ වාරිමාර්ග, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය විසින් ලබා දුන් සහයෝගය අපි අගය කළ යුතුයි.

ස්වාභාවික විපත් අතරින්, 2004 වසරේ දී අපට මුහුණ පෑමට සිදු වුණු සුනාමි ව්‍යවසනය මෑත ඉතිහාසයේ සිදු වුණු දරුණුම ඛේදවාචකයක්. ඒ ව්‍යවසනයෙන් 40,000 කට ආසන්න සංඛ්‍යාවක ජීවිත බිලිගත්තා. මෙම ඛේදවාචකය නිසා රටට සිදුවුණු ආර්ථික හා සමාජයීය බිඳ වැටීම වගේ ම දෙමාපියන්, සහෝදර සහෝදරියන් අහිමි වූණු දරුවන්ගේ වේදනාව තාමත් අපි විඳදරා ගන්නවා.

මෙවැනි අවස්ථාවල දී ශ්‍රී ලාංකේය සමාජය ආපදා අවදානම්වලින් ආරක්ෂා කිරීමට මෙන්ම තිරසාර සහ ශක්තිමත් සංවර්ධනයට මඟ පෙන්වීම RIMES විසින් ඉටු කරනු ලබන කාර්යභාරය ඉතාමත් ප්‍රශංසනීයයි. එවැනි සමාජ මෙහෙවරයන් ඉදිරියටත් ඉටු කිරීමට RIMES හි ප්‍රයත්නයට මම සුභ පතන අතර ම සමස්ථ ශ්‍රී ලංකේය සහ ගෝලීය ප්‍රජාවේ යහපත උදෙසා දෙපාර්ශවය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට අපි කැප වී සිටිනවා." යැයි අග්‍රාමාත්‍යවරිය පැවසීය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න, තානාපතිවරුන්, RIMES සාමාජික රටවල නියෝජිතයින්, ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් සහ අමාත්‍යාංශවල නිලධාරීන් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය