අනුර දිසානායක මහතා

අග්‍රාමාත්‍ය ලේකම්

අංක 58, ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මාවත, කොළඹ 07.
TEL: +9411 2575311
E-mail: secretary@pmoffice.gov.lk

1990 වසරේ ශ්‍රී ලංකා පරිපාලන සේවයට එක් වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා වසර 32කට අධික කැපීපෙනෙන පරිපාලන සේවා ගමන්ම‍ඟෙහි දී ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී, අධ්‍යාපන, මහවැලි සංවර්ධන, පරිසර, උසස් අධ්‍යාපන තාක්ෂණ සහ නවෝත්පාදන සහ වාරිමාර්ග යන අමාත්‍යාංශවල ලේකම් ඇතුළු වගකිවයුතු තනතුරු රැසක් හොබවා ඇත.

රාජ්‍ය සේවයට අමතරව, අනුර දිසානායක මහතා ආයතනික අංශයේ වසර 05ක අලෙවිකරණ වෘත්තීය පළපුරුද්දට අමතර ව ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව, යුනිසෙෆ් සහ කෘෂිකර්ම සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල යන ආයතනවල කොන්ත්‍රාත් පදනම මත වූ පැවරුම් රැසක් ඉටු කරමින් වසර 05කට ආසන්න කාලයක් එක්සත් ජාතීන්ගේ පද්ධතියට සේවය කර ඇත.

අනුර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (කළමනාකරණ) උපාධියක් ද, එක්සත් ජනපදයේ වොෂින්ටන් විශ්වවිද්‍යාලයෙන් පශ්චාත් උපාධි සුදුසුකම් ද ලබා ඇති අතර, එක්සත් ජනපදයේ හාවඩ් විශ්වවිද්‍යාලය, සිංගප්පූරු සිවිල් විද්‍යාලය, හා එක්සත් ජනපදයේ ඉලිනොයිස් විශ්වවිද්‍යාලයෙන් වෘත්තීය සංවර්ධන සහතිකපත්‍ර පාඨමාලා සම්පූර්ණ කර ඇත. ඔහු 2001/2002 දී ෆුල්බ්‍රයිට් / හියුබර්ට් එච්. හම්ෆ්රී අධිශිෂ්‍යත්වය, 2000 වසරේ ශ්‍රී ලංකාවේ වඩාත් කැපීපෙනෙන තරුණයා (Most Outstanding Young Persons of Sri Lanka –TOYP) සම්මානය, 1999 වසරේ කාර්යශූර කැපවීම වෙනුවෙන් ජනාධිපති සම්මානය, හොඳම රාජ්‍ය අංශයේ කාර්යසාධනය සඳහා වූ ජාතික සම්මානය, 1995 දී කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය, 1985 දී ආසියානු තරුණ සංවිධානයේ (Asian Youth Federation) වාර්ෂික සංචාරක සම්මානය සහ 1981/82 දී ඇමරිකානු ක්ෂේත්‍ර සේවයේ (American Field Service - AFS) තරුණ හුවමාරු අධිශිෂ්‍යත්වය (Youth Exchange Fellowship) ඇතුළු කීර්තිමත් සම්මාන රාශියකින් පිදුම් ලැබූවෙකි.