සුවඳවත් මලින් පිරි අරලිය ගසින් ගැවසීගත් උද්‍යානයකින් සමන්විත වූ හෙයින් ම ‘අරලියගහ මන්දිරය’ (Temple Trees) යන නම් ලත් කොළඹ 03, ආර්.ඒ. ද මැල් මාවතේ අංක 150 ස්ථානයේ පිහිටි මෙම දෙමහල් මන්දිරය ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස යි.
මෙරට ලන්දේසි පාලන අවධිය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති මෙම මන්දිරය වසර 200කටත් වඩා පැරණි වේ. ලන්දේසි පාලන අවධියේ දී ස්කාගාරයක් වශයෙන් භාවිත කළ මෙහි වූ මුල් ගොඩනැගිල්ල හඳුන්වා ඇත්තේ ‘දි බ්‍රැන්ඩරි’ (De Brandery) යන නමිනි. බ්‍රිතාන්‍යයන් ලංකාවේ වෙරළබඩ ප්‍රදේශ අත්පත් කරගත් 1796 වර්ෂය වනවිට එම ස්කාගාරයේ හිමිකරු වූයේ ඩැනියෙල් ඩිට්ලොෆ් (Daniel Ditloff) නම් සිටුවරයෙකි.
ඔහු දිවයිනෙන් නික්ම ගිය පසු ෆ්රෙඩ්රික් බැරන් මයිලියුස් (Frederick Baron Mylius) නම් බ්‍රිතාන්‍යයන් යටතේ සේවය කළ ලන්දේසි ජාතිකයකු විසින් සිය පෞද්ගලික නිවහන වශයෙන් මෙය භාවිත කර ඇත. ඔහු නිවහනක් ලෙස භාවිතයට ගත හැකි පරිදි මුල් ගොඩනැගිල්ල වෙනස් කර ඇති අතර එම සැලැස්ම වසර 150ක් පමණ නොවෙනස්ව පැවත ඇත. 1805 දී සිදු වූ ඔහුගේ අභාවයෙන් පසු 1903 වර්ෂයේ දී මෙම මන්දිරය රජය සතු වනතුරු ම යුරෝපීය ජාතිකයන් විසින් වරින්වර මිලට ගෙන පෞද්ගලික නිවහනක් ලෙස භාවිත කර ඇත.
සිරිමතීපාය අරලියගහ මන්දිරය නුවරඑළිය මන්දිරවල සමරු මුද්දර
මෙම නිවහන ‘අරලියගහ මන්දිරය’ (Temple Trees) ලෙස නම් කරනු ලැබ ඇත්තේ 1856 දී මෙම මන්දිරය මිලට ගත් ජෝන් ෆිලිප් ග්‍රීන් (John Philip Green) විසිනි. මන්දිරය අලංකාර කිරීමටත්, වර්තමානයේ පවතින අකාරයට උද්‍යානය නිර්මාණය කිරීමටත් ඔහු විසින් විශාල ධනයක් වැය කර ඇති බව පැවසෙ යි. 1892 දී සිදු වූ ජෝන් ෆිලිප් ග්‍රීන්ගේ අභාවයෙන් පසු අරලියගහ මන්දිරයේ හිමිකරු වූ ඔහුගේ සොහොයුරු ස්ටැනිෆෝත් ග්‍රීන් (Staniforth Green) මෙම භූමියෙහි ලංකාවේ ප්‍රථම අයිස් කර්මාන්තශාලාව අරඹා ඇත.
ස්ටැනිෆෝත් ග්‍රීන්ගේ අභාවයෙන් පසු ‘අරලියගහ මන්දිරය’ සහ අයිස් කර්මාන්තශාලාව වෙන්දේසි කර ඇති අතර එය මෙසර්ස් ටැරන්ට්, හෙන්ඩර්සන් සහ සමාගම (Messrs Tarrant, Henderson & Company) විසින් මිලට ගෙන ඇත. එහි හිමිකරු වූ ජේ.ඒ. හෙන්ඩර්සන් (J.A. Henderson) ‘අරලියගහ මන්දිරය’ සිය වාසස්ථානය බවට පත් කර ගෙන ඇති අතර 1899 දී ලංකාවේ උප ආණ්ඩුකාර (Lieutenant Governor) පදවිය දැරූ ශ්‍රීමත් එවෙරාඩ් ඉම් තර්න් (Sir Everard im Thurn) හට එය කුලී පදනම මත ලබා දී ඇත.
පසුව ‘අරලියගහ මන්දිරය’ රජය විසින් මිලට ගෙන ඇති අතර 1903 නොවැම්බර් මස සිට ලංකාවේ උප ආණ්ඩුකාරවරයාගේ නිල නිවස ලෙස භාවිත කර ඇත. ශ්‍රීමත් එවෙරාඩ්ගෙන් (Sir Everard) පසුව උප ආණ්ඩුකාර ධුරය අහෝසි කර ඒ වෙනුවට යටත්විජිත ලේකම් ධුරය (Colonial Secretary) පිහිටුවනු ලැබී ය. ලංකාවේ ප්‍රථම යටත්විජිත ලේකම්වරයා වූයේ ශ්‍රීමත් ඇලෙක්සැන්ඩර් ඈෂ්මෝර් (Sir Alexander Ashmore) ය. ඔහුගේ පටන් 1931 ඩොනමෝර් කොමිසම මගින් යටත්විජිත ලේකම් ධුරය අහෝසි කර ඒ වෙනුවට මහලේකම් ධුරය (Chief Secretary) ඇති කරනතුරු ම සියලු ම යටත්විජිත ලේකම්වරුන්ගේ නිල නිවස වූයේ ‘අරලියගහ මන්දිරය’ යි.
ඒ අතරතුර 1925 දී ආණ්ඩුකාර නිල නිවස වූ ‘රැජින නිවස’ අබලන් වීම නිසා එවකට ආණ්ඩුකාරවරයා වූ ශ්‍රීමත් හර්බර්ට් ස්ටැන්ලි (Sir Herbert Stanley) සහ ආර්යාව ‘අරලියගහ මන්දිරයේ’ කලක් වාසය කර ඇත. මහලේකම් ධුරය ඇති කිරීමෙන් පසු මෙරට ප්‍රථම මහලේකම් වූ ශ්‍රීමත් හෙන්රි බෝදිලියන් (Sir Henry Bourdillion) ගේ සිට ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ග්‍රේම් ටයිරෙල් (Sir Francis Graeme Tyrell), ශ්‍රීමත් මැන්වෙල් වෙඩර්බර්න් (Sir Manwell Wedderburn), ගයි ස්ටැන්ලි වොඩ්මන් (Guy Stanley Wodeman), රොබට් ඩ්රේටොන් (Robert Drayton), ශ්‍රීමත් චාර්ල්ස් කොලින්ස් (Sir Charles Collins) දක්වා සියලු මහලේකම්වරුන්ගේ නිල නිවස වූයේ ද ‘අරලියගහ මන්දිරය’ යි.
රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන වාස්තුවිද්‍යාඥයා වූ වයින් ජෝන්ස් (Wynne Jones) විසින් අග්‍රාමාත්‍ය නිල නිවසකට උචිත අයුරින් අරලියගහ මන්දිරයෙහි අලුත්වැඩියා කටයුතු සිදු කර ඇති අතර, අනතුරුව 1948 ජනවාරි 19 වන දින මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමා ‘අරලියගහ මන්දිරයේ’ වාසයට පැමිණ ඇත. 1948 දී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයෙන් නිදහස ලැබූ පසු කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වූ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස බවට ‘අරලියගහ මන්දිරය’ පත්වි ය. ඒ අනුව ‘අරලියගහ මන්දිරය’ සිය නිල නිවස බවට පත් කරගත් ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූයේ මහාමාන්‍ය ඩී.ඇස්. සේනානායක මැතිතුමා ය.
වරින්වර අලුත්වැඩියා කිරීම්වලට සහ නවාංග එකතු කිරීම්වලට මුහුණ දුන් නමුත් අදටත් ඝනකම බිත්ති, හොඳින් වාතාශ්‍රය ඇති ඉඩකඩ සහිත කාමර, වා කවුළු සහිත විශාල දොර ජනෙල් හා ක්‍රමයෙන් පහළට බෑවුම් වන උළු සෙවිලි කළ උස් වහල යනාදී ලන්දේසි ගෘහ නිර්මාණාංග ශේෂව පවතින මෙම ප්රතාපවත් මන්දිරය 1948 වර්ෂයේ සිට වර්තමානය දක්වා ම ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයාගේ නිල නිවස වශයෙන් භාවිතයේ පවතී.