නවෝත්පාදන පර්යේෂණ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මූල්‍ය සහය සහ ආයතනික සබඳතා තහවුරු කිරීමට රජය කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රජයක් වශයෙන් නවෝත්පාදන පර්යේෂණ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, මූල්‍යමය සහයෝගය මෙන්ම ආයතන අතර සම්බන්ධතාව ගොඩනැගීමේ වගකීම රජය උපරිමයෙන් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සඳහන් කළාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය ජනක සේනාරත්න මහතා යොමු කළ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබා දෙමින් අද (අගෝස්තු 05) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළේ නව ව්‍යවසායකත්වය හා තාක්ෂණය වාණිජකරණය ප්‍රවර්ධනය කිරීම සඳහා විශ්වවිද්‍යාල සහ රාජ්‍ය ආයතන එක්ව තාක්ෂණික උපකාරක පද්ධති (Incubation Centres) ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිෂන් සභාව (SLIC) මගින් ජාතික ඉංජිනේරු පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, යාපනය, රජරට සහ රුහුණු විශ්වවිද්‍යාල ආශ්‍රිතව ’Technology Incubation Centres’ ස්ථාපිත කර ඇති අතර, ඒවායින් මූලාකෘති සංවර්ධනය, නිෂ්පාදන සැලසුම්කරණය, ව්‍යාපාර සංවර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය සඳහා උපදේශන සපයයි.
එසේම විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා අංශය මගින් ක්‍රියාත්මක කරන ’University Linked Incubation Centres’ ව්‍යාපෘතිය හරහා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට තාක්ෂණික සහාය, තත්ත්ව පරීක්ෂණ, පුහුණු වැඩසටහන් සහ ව්‍යාපාර උපදේශන සේවා ලබාදීමට නියමිතය.
2026 වර්ෂය තුළදී දැනට වවුනියාව, රුහුණ සහ නැගෙනහිර විශ්වවිද්‍යාල තුළ මෙම මධ්‍යස්ථාන සාර්ථකව පවත්වාගෙන යන අතර, ඒවා මගින් නිෂ්පාදනවල ගුණාත්මකභාවය ඉහළ නැංවීමට තත්ත්ව පරීක්ෂණ, තාක්ෂණ පැවරුම් වැඩසටහන් සහ තාක්ෂණික උපදෙස් ලබාදීම සිදු කෙරේ.
මේ සඳහා විදාතා අංශය සහ ජාතික තත්ත්ව යටිතල පහසුකම් පද්ධතිය යටතේ ප්‍රතිපාදන ලබාදී ඇති අතර, ඉදිරියේදී ඌව වෙල්ලස්ස, රජරට සහ කැලණිය විශ්වවිද්‍යාලයන්හි ද මෙවැනි තාක්ෂණික උපකාරක පද්ධති ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත.
නවෝත්පාදකයන් වෙනුවෙන් සහනදායී ප්රාග්ධනය සහ පහසුකම් සැලසීම පිළිබඳ පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යතුමිය කියා සිටියේ, ජාතික නව්‍යකරණ නියෝජිතායතනය (NIA) මගින් ක්‍රියාත්මක ’Innovation Voucher Schemes’ හරහා පර්යේෂණ ආයතන, විශ්වවිද්‍යාල සහ ව්‍යවසායකයන් අතර සහයෝගීතාව වර්ධනය කරමින් මූලික මූල්‍ය සහය ලබා දෙන බවයි.
එමෙන්ම Seed funding සහ Venture Capital වැනි ආයෝජන අවස්ථා වෙත ප්‍රවේශ වීමට ද නව්‍ය ව්‍යවසායකයන්ට සහාය ලබා දෙන බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
මීට අමතරව SLIC ආයතනය ’Innovative Bis’ ණය සහනාධාර සේවාව හරහා වාණිජ බැංකු පද්ධතිය හා සම්බන්ධ වී අඩු පොලී අනුපාත යටතේ ප්රාග්ධනය සපයන අතර, Startups සඳහා විධිමත් ඇගයීමකින් පසු රුපියල් මිලියනය දක්වා ආරම්භක ප්රාග්ධනය ලබාදීමටත්, වැඩිදුර ප්‍රතිපාදන සඳහා බැංකු පද්ධතිය වෙත යොමු කිරීමටත් අවශ්‍ය අයවැය යෝජනා සකස් කර ඇති අතර විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන සහ පෞද්ගලික අංශය අතර සබඳතා ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ජාතික පර්යේෂණ සභාව (NRC) සහ ජාතික විද්‍යා පදනම (NSF) මගින් කර්මාන්ත ක්ෂේත්රය හා සම්බන්ධ වෙමින් අපනයන වර්ධනයට හා ආනයන ආදේශනයට අදාළ පර්යේෂණ සිදුකරන බව ද අග්‍රාමිත්‍යතුමිය පැවසුවාය.
ජාත්‍යන්තර සහයෝගීතාව යටතේ ඉන්දියානු රජයේ විද්‍යා හා තාක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පර්යේෂණ ව්‍යාපෘති 16ක් සහ වැඩමුළු 22ක් සඳහා වන ගිවිසුම් 2026 ජූලි 01 වන දින අත්සන් කර ඇත. එමෙන්ම ජාත්‍යන්තර අරමුදල් ලබා ගැනීමේදී පවතින බාධා ඉවත් කිරීමට පියවර ගෙන ඇති අතර, තාක්ෂණික හුවමාරුව සඳහා ’National Technology Transfer Platform’ එක ද දැනට සංවර්ධනය කරමින් පවතී.
අවසාන වශයෙන්, නවෝත්පාදකයන්ගේ බුද්ධිමය දේපළ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් 2014 වර්ෂයේ සිට ලෝක බුද්ධිමය දේපළ සංවිධානයේ (WIPO) සංකල්පයට අනුව තාක්ෂණික තොරතුරු වෙත පිවිසීමේ තාක්ෂණ හා නවෝත්පාදන ව්‍යාපෘති ආරම්භ කර ඇති බවත්, මේ වන විට තාක්ෂණ හා පර්යේෂණ ආයතන මෙන්ම විශ්වවිද්‍යාල 25ක පමණ ඒවා ස්ථාපිත කර ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය





