අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

නව යොවුන් දැරියන් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත්, විසඳිය නොහැක්කක් නොවේ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

දකුණු ආසියාවේ තරුණ කාන්තාවන් සහ ළමුන්ගේ රක්තහීනතාවය අවම කිරීම සඳහා වන ජාත්‍යන්තර සමුළුවක් "පෝෂණීය දකුණු ආසියාව" යන මැයෙන් ජූලි 9 දින සිට 11 දින දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හි පැවැත්වෙන අතර, ජූලි 9 වැනිදා එහි සමාරම්භක දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගීවූවාය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

කළාපීය වශයෙන් අතිශය වැදගත් මෙවැනි සමුළුවකට මට ආරාධනා කිරීම ගැන පළමුකොට මෙහි සංවිධායක මණ්ඩලයට මාගේ ස්තූතිය පුදකරන්න කැමැතියි. මේ සමුළුවේ අපගේ අරමුණ “කිසිදු නව යොවුන් දැරියක් හෝ කාන්තාවක, වළක්වා ගත හැකි රක්තහීනතාවයෙන් පෙළෙන්නේ නැති දකුණු ආසියාවක් නිර්මාණය කර ගැනීම සහ ඒ වෙනුවෙන් කැපවීම” යි. මෙම අරමුණ ඉටුකර ගන්න නම්, සෑම දැරියකටම පෝෂ්‍යදායී ආහාර, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ගුණාත්මක රැකවරණයකට අවස්ථාව සලසා දියයුතු වෙනවා. ඒ වගේම, කාන්තාවන්ට ඔවුන්ගේ පූර්ණ විභවය අවබෝධ කර ගැනීමට හැකිවෙන, ඒ සඳහා ඔවුන්ට දිරි දෙන පරිසරයක් නිර්මාණය කළ යුතු වෙනවා.

ඒ අරමුණ රජයකට පමණක් තනිවම ඉටුකරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම තමයි අපගේ ඉහත අරමුණට ආශීර්වාද කරන, ශක්තියක් වන, සමාජයේ සෑම අංශයකින්ම අලුත් කැපවීමක් සහ ප්‍රායෝගික ක්‍රියාවක් සඳහා සූදානම් සන්ධිස්ථානයක් හැටියට මෙම සමුළුව නිර්මාණය වී තිබෙන්නේ.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,

නව යොවුන් දැරියන් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත් විසඳිය නොහැකි දෙයක් නොවේ. අලුත් කැපවීමකින්, කලාපීය සහයෝගීතාවයකින් සහ සාමූහික ක්‍රියාවකින්, අපට දකුණු ආසියාවේ අනාගත පරම්පරාවන් පෝෂණය කළ හැකි වන අතර ම, මන්දපෝෂණ චක්‍රය බිඳ දමා සෞඛ්‍ය සම්පන්න, වඩාත් සාධාරණ සමාජයක් ගොඩනැගිය හැකිය යන්න මගෙත්, අපගේ රජයෙත් අපේක්ෂාව සහ විශ්වාසයයි. ඒ වෙනුවෙන් රජයක් හැටිය අපි උපරිමයෙන් කැපවෙන්න අදිටන් කරගෙන සිටින බව මම මෙහිදී මතක් කරන්න කැමැතියි. අපගේ පාසල් දරුවන් ඉලක්ක කරගත් පෝෂණ වැඩ සටහනෙත් එක් අපේක්ෂාවක් වෙන්නෙ ඒ දරුවන්ට නිසි පෝෂණය ලබා දීමෙන් ඔවුන් පෝෂණ ඌණතාවයට ගොදුරුවීම වළක්වා ගැනීමයි.

මෙම සමුළුවෙන් මතුවන හරවත් සාකච්ඡා, වටිනා අදහස් හුවමාරුකරගැනීම් වගේම ප්‍රායෝගික කැපවීම් දෙස මම දැඩි වුවමනාවකින් සහ අපේක්ෂා සහගතව බලා සිටින බවත් කියන්න කැමැතියි.

කළාපයක් වශයෙන් එක්ව, මෙහි කාන්තාවන්ගෙන් සහ ගැහැණු ළමුන් අතර පවතින රක්තහීනතාවය අඩු කිරීමට සහ තුරන් කිරීමට කලාපීය ප්‍රමුඛතාවය සහ ඒ සඳහා වන මේ හවුල්කාරිත්වය සාර්ථක කරගන්න කැපවෙන බවට අපි ප්‍රතිඥා දෙමු. එක්සත්ව, අපගේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් හැකි අයුරින් පෝෂණය කරමින් එතනින් ඇතිකරගන්නා ආරම්භයෙන් මුළු දකුණු ආසියාව පෝෂණය කරමු යැයි මේ සමුළුවට යෝජනා කරන්න කැමැතියි.

අතිශය වැදගත් මෙම සමුළුව පැවැත්වෙන අපගේ සුන්දර දිවයිනේ උණුසුම් ආගන්තුක සත්කාරය සහ අද්විතීය චමත්කාරය අත් විඳිමින්ම, ඔබට වෘත්තීය වශයෙන් තෘප්තිමත් සහ පෞද්ගලිකව අමතක නොවන සුන්දර කාලයක් බවට ඔබ මෙහි රැඳී සටින කාලය පත්වේවායි, ප්‍රාර්ථනා කරන්නත් මෙය අවස්ථාවක් කරගන්න කැමැතියි, යනුවෙන් අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළාය.

මෙම සමුළුවට සහභාගී වූ අග්‍රමාත්‍යතුමිය සංවිධායක මඬුල්ල වෙනුවෙන් Rini Simon Khanna විසින් පිළිගත් අතර, Md. Golam Sarwar (සාර්ක් සංවිධානය), Sanjay Wijesekera (යුනිසෙෆ් සංවිධානය) ඇතුළු කලාපීය ආරාධිතයන්, ක්‍රියාකාරී සාමජිකයින් ද එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සියලුම පුරවැසියන්ට තම මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි... - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

භාෂාව බෙදුම් රේඛාවක් ඇතිකරන මාධ්‍යක් වෙනුවට, විවිධත්වයෙන් යුතු සියලුදෙනා එකතුකරන පොදු අවකාශයක් ගොඩනගන මාධ්‍යක් කරගන්නට අපි සියලුදෙනා උත්සාහ කරමු...

" පොහොසත් රටක් ලස්සන ජීවිතයක් " ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සියලු පුරවැසියන්ට අවශ්‍ය සේවාවන් තම තමන්ගේ මව් භාෂාවන්ගෙන් සහ සංඥා භාෂාවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි රටේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ජූලි 07 වෙනි දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ, "පුනරුදයේ පෙරමග" රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උළෙල හා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.

" බස වඩමු - හද දිනමු " යන තේමාව මුල් කරගනිමින් ජුලි 01 වැනි දා යෙදී තිබූ රාජ්‍ය භාෂා දිනයේ සිට දින හතක් තිස්සේ රාජ්‍ය භාෂා සතිය ක්‍රියාත්මක වූ අතර, එහි සමාප්ති උළෙල අග්‍රාමාත්‍යවරියගේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අග්‍රාමාත්‍යතුමිය,

රාජ්‍ය භාෂා සතිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමුකරන හා එය පිළිගැනීමට ලක්කරන සතියක් පමණක් නොවෙයි, මෙය භාෂාවක අනන්‍යතාවය, ගෞරවය සහ සියලු ජනතාව එකට එක්කරන සාමකාමී සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් භාෂාවට ඉටු කළ හැකි තීරණාත්මක කාර්යභාරය වෙත අවධානය යොමු වුණ සතියක්.

උසාවිය, පොලීසිය, අධ්‍යාපන, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය පරිපාලන ආදී අත්‍යවශ්‍ය ස්ථානවල තමන්ගේ භාෂාවෙන් කටයුතු කරගැනීමට අවස්ථාව නැති බව යම් ජනවාර්ගයකට හැඟෙනවා නම්, එය හුදෙක් සේවා සැපයීම පළිබඳ ප්‍රශ්නයක්ම නොවෙයි. එවැනි අවස්ථාවල ඒ ජනතාවට තමන් මේ රටට අයත් නොවන, පිටස්තරයින් ය යන හැඟීම නිතැතින්ම ඇතිවෙන්න පුළුවන්. එ නිසාම භාෂා භාවිතයේ දී සියලු ජන කොටස් වෙත සමාන අයිතියක් සහ ගරුත්වයක් හිමිවීම තහවුරු කළ යුතුයි.

මේ නිසා, සිංහල සහ දෙමළ සිසුන්ට එකිනෙකාගේ භාෂාවන් ඉගෙන ගතහැකි පාසලක්, රෝගියකුට තමන්ගේ රෝග ලක්ෂණ තමන්ට වඩාත්ම දැනෙන හැඟෙන භාෂාවෙන් විස්තර කළ හැකි සහ ගෞරවයෙන් සැලකූම් ලැබිය හැකි රෝහලක්, පුරවැසියාට වැටහනෙ භාෂාවෙන් යුක්තිය පසිඳලන අධිකරණ පද්ධතියක් ඇති කළ යුතු වෙනවා.

මේවා සුපිරි පහසුකම් නොවෙයි, සංහිඳියාවෙන් යුතු සමාජයක ප්‍රායෝගිකව තිබිය යුතු සාමාන්‍ය තත්ත්වයන්.

2026 වසරේ සිට ඇරැඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙරට සෑම භාෂාවකම වැදගත්කම දරුවන්ට වඩාත් දැනෙන විදිහට වගේම, භාෂාව හුදෙක් විෂයකට එහා ගිය වැදගත්කමකින් ඉගැන්වීමේ ක්‍රමවේද ඇතුළත් කරලා තියෙන්නෙ ඒ නිසාමයි. යැයි ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.

මෙහි දී අදහස් ප්‍රකාශ කළ අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර,

අපට බෙදාගන්න එක හා සමාන අතීතයක් නොතිබුණත්, අපට එකතුවෙලා හැඩගස්වාගන්න අනාගතයක් තියෙනවා. මේ රාජ්‍ය භාෂා දිනයේ දී සියලුදෙනාටම එකඟ විය හැකි අව්‍යාජ සංහිඳියාවක් සහ සජීවී ඒකබද්ධතාවයක් පවතින ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි කැපවෙමු. යැයි පැවසීය.

රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උළෙලේ දී රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මගින් පාසල් මට්ටමින් පැවැත්වූ ආදර්ශ පාඨ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින්ටත්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පැවැත් වූ රාජ්‍ය භාෂා ඇගයීම් පරීක්ෂණය සමත්වූවන්ටත් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය.

මෙම සමාප්ති උළෙලට ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්තුමා, බංගලාදේශ මහකොමසාරිස්තුමා, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතිඥ අයේශා ජිනසේන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, පාසල් දුවාදරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දුෂ්කර ප්‍රදේශවලට වැඩි මුල්‍ය පහසුකම් ලබා දෙමින් යටිතල පහසුකම් දියුණුකරන්න අවශ්‍යයි - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පාසල් තුළ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේදී දුෂ්කර පළාත්වල පාසල් සඳහා මූල්‍ය පහසුකම් වැඩිවශයෙන් ලබා දෙමින් පාසල් දියුණු කිරීමට අවශ්‍ය බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවා ය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ පලාත් සහ කලාප මට්ටමින් ලැබිය යුතු දායකත්වය පිළිබඳ ආණ්ඩුකාරවරුන් සහ පළාත් ලේකම්වරුන් දැනුවත් කරමින් ජූලි 05 දින අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද සඳහන් කළාය.

ඉතාම හොදින් සැලසුම් කරමින් ක්‍රියාත්මක කරන්න නියමිත අධ්‍යාපනය පරිවර්තනය පිළිබඳ සාකච්ඡා කර නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පළාත් සභාවල සහය අවශ්‍යයි. ජාතික ප්‍රතිපත්තිය සහ පළාත් සභා ක්‍රියාවලිය ඒකාබද්ධ කරමින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක විය යුතුයි. අධ්‍යාපන ප්‍රතිපත්ති වල පරස්පරතාවයක් ඇති නොවන විදිහට පවත්වාගෙන යෑමේ වැදගත්කම අපිට හොඳටම දැනිලා තියෙනවා. විශේෂයෙන්ම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණ වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීමයි. ඒකේ අවසාන ප්‍රතිලාභය ලැබිය යුත්තේ පාසල් යන දරුවන්ට සහ ඒ දෙමව්පියන්ට වගේම ඒ පවුලටයි. අපි ගන්න හැම තීරණයක්ම ගත යුත්තේ දරුවා ගැන හිතලයි.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී අපිට අභියෝග දෙකක් තියෙනවා. එකක් පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්නත් ඕනේ. වෙනස් කරන ගමන් තියෙන ක්‍රමවේදය ටික කාලයකට පවත්වාගෙන යන්නත් ඕනේ.

කාලයක් තිස්සේ ගත්ත තීරණ නිසා ඇතිවෙලා තියෙන ගැටළුත් අපි විසඳන ගමන් අපිට මේ පරිවර්තනය කරන්න සිදු වෙලා තිබෙනවා.

පළාත් මට්ටමේ පාසල් භාරව එදිනෙදා කටයුතු කරන අතර ප්‍රතිපත්තිමය කාරණාවලදී එකඟතාවයක් ඇතිව වැඩ කරන්න අවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැවසීය.

මෙම අවස්ථාවට අධ්‍යාපන උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව ඇතුළු ආණ්ඩුකාරවරුන්, පළාත් ලේකම්වරුන්, පලාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, මහා භාණ්ඩාගාරය, මුදල් කොමිසම, අධ්‍යාපන අමාත්‍යංශය නියෝජනය කරන නිලධාරීන් පිරිසක් සහභාගී වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

සෞඛ්‍ය සේවාව හුදෙක් සේවාවක් පමණක් නොවේ, එය සමාජ අවශ්‍යතාවයක්. – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සෞඛ්‍ය සේවාව හුදෙක් සේවාවක් පමණක් නොව, සමාජ අවශ්‍යතාවයක් බව අප මතක තබාගතයුතු බවත්, යහපත් පාලනය මෙන්ම යහපත් නියාමනය ද එම සමාජ අවශ්‍යතාවය ආරක්ෂා කිරීමට සහ ප්‍රවර්ධනය කිරීමට අවශ්‍ය වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජූලි මස 5 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවති ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ (SLMC) සියවස් සංවත්සර සැමරුම් උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා ය.

සියවස් සැමරුමට සමගාමී ව නිල සමරු මුද්දරයක් ද මෙම අවස්ථාවේ දී නිකුත් කෙරිණි.

උත්සවය සභාව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය,

මෙය මහජනතාවට, වෛද්‍ය වෘත්තියට මෙන්ම අපේ රටට වසර 100 ක සේවා සැපයීමක් සමරන අවස්ථාවක් පමණක් ම නොවෙයි, වෛද්‍ය විද්‍යාවේදී, අපි ජීවිත් සමඟ කටයුතු කරන නිසා මෙම වගකීම වඩාත් තීරණාත්මක වෙනවා. දැඩි අභියෝග මධ්‍යයේ වුවත්, කොවිඩ් වසංගතය හමුවේ පවා අපගේ වෛද්‍ය සේවය පෙන්නුම් කළ කැපවීම, ශ්‍රී ලංකා සෞඛ්‍ය පද්ධතිය කෙරෙහි විශ්වාසය වඩාත් තහවුරු කරන්න හේතු වුණා.

අධ්‍යාපන අමාත්‍යවරිය ලෙස, අපගේ වෛද්‍ය අධ්‍යාපනයෙන් වඩාත් මානුෂීය, සංවේදී සහ ආචාරධාර්මයෙන් පිරුණු, වෛද්‍යවරුන් බිහි කරන්නේ කොහොමද කියන කාරණය ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. මේ ඓතිහාසික සන්ධිස්ථානයට පැමිණීමට හැකීවීම පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මම සුබ පතනවා. අද වගේම ඉදිරියටත් ඔබ සමඟ සිටගන්න රජය සූදානම් බවත් මේ අවස්ථවේදී මම කියන්න කැමැතියි.

මෙම උත්සව අවස්ථාවට එක් වූ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

අද අප සිටින්නේ සෞඛ්‍ය සේවය නව පරිවර්තනයන් කරා ගමන් කරමින් පවතින කාලයක. පැරණි නිශ්චිතතාවයන් නව සංකීර්ණතාවලට මඟ පාදනවා. අපි විශ්වීය සෞඛ්‍ය ආවරණය, ඩිජිටල්කරණය කරන ලද වෛද්‍ය සත්කාර, ජානමය වෛද්‍ය විද්‍යාව සහ දේශසීමා හරහා වෛද්‍ය සේවා සැපයීම කරා ගමන් කරන විට, ඒ පිළිබඳ නියාමනය ද ඒ සමඟම ඉදිරියට යා යුතු වෙනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම සංකීර්ණතාවලට මුහුණ නොදී සිටින්නේ නැහැ; ඇත්ත වශයෙන්ම අපි එහි කේන්ද්‍රය වෙනවා.

වෛද්‍ය වෘත්තිය නියාමනය කිරීමේදී පමණක් නොවේ, ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා සැපයීමේ දිශානතිය හැඩගැස්වීමේදී ද සෞඛ්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ප්‍රධාන හවුල්කරුවෙකු ලෙස සලකනවා. වසර ගණනාවක් පුරා, බලපත්‍ර ලබා දීම, අධ්‍යාපන ප්‍රමිතීන්, වෘත්තීය සංවර්ධනය පවත්වා ගැනීම, ආචාරධාර්ම අධීක්ෂණය සහ සෞඛ්‍ය සේවක සැලසුම්කරණය වැනි කරුණු සම්බන්ධයෙන් අපි එකට වැඩ කරලා තියෙනවා. මේවා සුළුපටු කාර්යයන් නෙවේ, අපගේ පුරවැසියන්ට ලබා දෙන සෞඛ්‍ය සේවාවල ගුණාත්මකභාවය, ආරක්ෂාව සහ වගවීම සහතික කරන්නේ කෙසේද යන්න මේ කාරණා මතයි තීරණය වෙන්නෙ" යනුවෙන් පැවසීය.

මෙම අවස්ථාවට තානාපතිවරුන්, නීතිපතිවරයා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයින් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසක් ද සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මෙරට දූදරුවන්ට දෙස් විදෙස් වෘත්තිය අවස්ථා නිර්මාණය කළ විශිෂ්ට සංගමයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය මෙරට දූදරුවන්ට දෙස් විදෙස් වෘත්තිය අවස්ථා නිර්මාණය කළ විශිෂ්ට සංගමයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ජූලි 05 දින පැවති ශ්‍රි ලංකා ජාතික ඡායාරූප කලා සංගමයේ 75 වන සංවත්සරය සහ 21 වන ජාත්‍යන්තර ඡායාරූප ප්‍රදර්ශනයට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

ඡායාරූපකරණයේ විශිෂ්ඨයන් වෙත ජාත්‍යනතර ගෞරවනාම පිරිණැමීමද මෙහිදී සිදු කෙරිණ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

‘‘හැත්තෑ පස් වසරක අභිමානය සමරන ශ්‍රී ලංකා ජාතික ජායාරූප කලා සංගමයට පළමු කොට මම මාගේ සුබ පැතුම් එක් කරනවා.

ඡායාරූප ශිල්පය විනෝදාංශ මාධ්‍යයක් බව බොහෝ දෙනාගේ පිළිගැනීම වුණත්. එය හුදු විනෝදාංශයකට එහා ගිය කලා මාධ්‍යයක්, ප්‍රචාරණ මාධ්‍යයක් වගේම ප්‍රවෘත්ති මාධ්‍යයක්.

ඡායාරූප ශිල්පය මනාව හැදෑරිය යුතු, මානව භාෂාව වගේ සෑම විෂයක් තුළ ම අන්තර්ගත වූ විෂයක්, එබැවින් යුනෙස්කෝ සංවිධානය 1993 වසරේ දී 21 වැනි සියවසේ දී උගත යුතු විෂයයන් අතරට ඡායාරූප ශිල්පය එකතු කළේ.

නූතන අධ්‍යාපන අවකාශය තුළ සෑම රටකම පාහේ ඡායාරූප ශිල්පය ඉගෙනීමට සුවිශේෂී උන්දුවක් දක්වන බොහෝ පිරිසක් ඉන්නවා.

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය කියන්නේ ඡායාරූප ශිල්පයේ බහු මානයන් සොයා යන්නට මෙරට බිහි වූ පිළිගත් අධ්‍යාපන හා වෘත්තීය ආයතනයක්. බටහිර අධිරාජ්‍යවාදි යුගයේ දී විදේශිකයන්ට පමණක් උරුම කලාවක් ලෙස පැවති ඡායාරූප ශිල්පය මෙරට ද දරුවන්ට ද උරුම කලා මාධ්‍යයක් ලෙස ගොඩනගන්නට මුල් වී කටයුතු කළේ ජාතික ඡායාරූප කලා සංගමයයි.

අවුරුදු 75 ක් පුරාවට ඔබ සංගමය පසු කර ආ මේ ගවන්මග අතිශය සුවිශේෂයි. ඒ වසර 75 පුරාවටම ඉගැන්වීම, ඇගයීම්, ප්‍රදර්ශන සංවිධානය කිරීම විගේම, ඡායාරූප කරණයෙන් රටේ තරුණ පරපුරට දේශීය සහ විදේශීය වෘත්තීය අවස්ථා විශාල ප්‍රමාණයකට දොර විවර කර දීමත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඡායාරූප ශිල්පය ඉගැන්වීමට සහතික පත්‍ර පාඨමාලා ඩිප්ලෝමා පාඨමාලා, වෘත්තීය පාඨමාලා නොමිලේම පවත්වමින් මුළු මනින්ම ස්වේච්ඡා ආයතනයක් ලෙස කටයුතු කරමින් දක්ෂ, කලාත්මක ශිල්පීන් සහ වෘත්තිකයන් බිහි කිරීමට ඡායාරූප සංගමය දරන වෑයමත් අපි රජය හැටියට අගය කරනවා.”

ඡායාරූපකරණයේ පමණක් නොවෙයි ජනමාධ්‍ය සහ සිනමා ක්ෂේත්‍රයන්හි වත්මනේ අපට සිටින බොහෝ විශිෂ්ටයන්ගේ මුල් පියවර ඇරඹී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයෙන් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

කොළඹ නගරාධිපති ව්‍රායි කැලී බල්තසාර්, ශ්‍රි ලංකා ජාතික ඡායාරූප සංගමයේ සභාපති ශාන්ත ගුණසේකර යන මහත්ම මහත්මීන්, ප්‍රවීණ ඡායාරූප ශිල්පීන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

වෘත්තීය අධ්‍යාපනය මේ රටේ තීරණාත්මක විෂය බවට ඉදිරියේදී පත් කරනවා - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වෘත්තීය අධ්‍යාපනය වෙනුවෙන් වන අවධානය ප්‍රමාණවත් නොවන බවත්, ඉදිරියේදී මේ රටේ තීරණාත්මක විෂයක් බවට වෘත්තීය අධ්‍යාපනය පත් කරන බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විධිමත් ආකර්ෂණීය ආයතන පද්ධතියක් ගොඩනැගීම වෙනුවෙන් දිවයින පුරා වෘත්තීය අධ්‍යාපන ආයතන කේන්ද්‍ර කර ගනිමින් අද (04) ආරම්භ කළ "ශ්‍රම මෙහෙයුම" වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ගම්පහ කාර්මික විද්‍යාලයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය,

වෘත්තීය අධ්‍යාපනය කේන්ද්‍රකරගෙන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතාගේ සංකල්පයක් අනුව ශ්‍රම මෙහෙයුම වැඩසටහන ලංකාව පුරා ආරම්භ කිරීමට කටයුතු කීරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා,

ශ්‍රම මෙහෙයුම වැඩසටහන තුළින් ආරම්භයක් ලබාගත්තට අපි මේ උත්සාහ කරන්නේ වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩි අවධානය ලබා ගන්නයි. වෘත්තීය අධ්‍යාපනයේ වැදගත්කම ගැන රටටම පෙන්නුම් කරන්නයි. වෘත්තිය අධ්‍යාපන ක්ෂේත්‍රය තමයි ඉදිරියේ මේ රටේ තීරණාත්මක විෂය බවට පත්වෙන්නේ. වැඩ ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහිවෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශයෙන්. හැබැයි අපි බොහෝ දෙනෙක් සහ රටත් බොහෝ වෙලාවට හිතන්නැති අවධානයක් දෙන්න නැති කොටස තමයි ඒ වැඩ ලෝකයට අවශ්‍ය මානව සම්පත බිහිකරන වෘත්තීය අධ්‍යාපන අංශය.

අපි දන්නවා දැනට සමාජය තුළ ටෙක් එක ගැන තියෙන්නේ අර ඉස්කෝලෙ ගිහිල්ලා විශ්වවිද්‍යාලයට යන්න බැරි උනොත් යන්න පුළුවන් තැනක් කියන මතය. එහෙම නැත්නම් අනිත් තෝරා ගැනීම් ඔක්කොම කරලා ඒවා හරි ගියේ නැත්නම් නිකන් වැටෙන තැන වගේ අදහසක් එක හරිම වැරදියි. වෘත්තීය අධ්‍යාපනය තෝරා ගැනීම අතිශයින්ම වැදගත් බුද්ධිමත් සහ රටේ සංවර්ධනයට අතිශයින්ම වැදගත් තීරණයක්.

වෘත්තීය අධ්‍යාපනය හදාරන්න ගන්න තීරණය අහම්බයක් වෙන්න බෑ, නොදැනුවත්කමින් හෝ අන්තිම මොහොතේ ගන්න තීරණයක් වෙන්නත් බෑ. ඒක තමන්ගේ හැකියාව, තමන්ගේ කැමැත්ත තමා ලෝකය පිළිබඳව දරන අදහස් මේ සංකල්ප සියල්ලමත් එක්ක ගන්න ඉතාමත්ම වැදගත් තීරණයක් බවට පත්වෙන්න ඕනේ.

ඒ නිසාම තමයි අපි 2026 තුළ ක්‍රියාත්මක කරන්න නියමිත ඒ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වෘත්තීය අධ්‍යාපනයට විශේෂ තැනක් වෙන් කළේ. අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කියන එක පොඩි වැඩක් නෙවෙයි. ඒක විෂයක් මාලාව වෙනස් කරන එකට එහා ගිය දැවැන්ත වැඩක්.

පාසල් අධ්‍යාපනය තුළින්ම වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්න අපි සැලසුම් කරගෙන ඉන්නේ. ඒ තුළින් රජය බලාපොරොත්තු වන පුනරුද යුගයක අවශ්‍ය මානව සම්පත බිහිකරන්න ඒ මානව සම්පත දියුණු කරන්න අපි කටයුතු කරනවා.

ඒ අනුව මේ රටේ වෘත්තිය ආධ්‍යාපනය ඉහළ තලයක ස්ථානගත කිරීමට කටයුතු කරමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙහිදී අදහස් දැක් වූ වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා,

රජයේ ප්‍රතිපත්තිය වන පෝසත් රටක් ලස්සන ජීවිතයක් තුළ පුනරුද යුගයක් කරා රට මෙහෙයවීම සඳහා දැවැන්ත ප්‍රතිසංස්කරණ මේ කාලපරිච්ඡේදයේදී සිදුවෙමින් පවතිනවා.

එකී පරිවර්තනය රට තුළ සිදඅ කරන්න නමි ඉස්සෙල්ලම මේ ස්ථාන නවීකරණයට, නූතනකරණයට ලක් වෙන්න ඕන. තරුණ තරුණියනි ආකල්ප වලින් දියුණු වෙන්න ඕන. වර්තමාන තරුණ තරුණියන් තාක්ෂණයත් සමග ඉදිරියට ඇවිත් තිබෙනවා. නමුත් ආයතන පද්ධතිය තියෙන්නේ ගව් ගණනාවක් පසු පසින්, ඒ නිසා අපි මුලින්ම මේ නූතන තරුණ්‍යයට ගැලපෙන ආයතන පරිසරයක් මුලින්ම හදන්න ඕනේ. ඒ නිසාම තමයි අද ලංකාවේ ආයතන 311ක දැවැන්ත ශ්‍රම මෙහෙයුමක්, 160,000කට අධික පිරිසක් එකතුවෙලා දිවයින පුරා තමන්ගේ ආයතන පද්ධතිය හදාගන්න වැඩ ආරම්භ කරන්නේ. මේක මෙතනින් නතර වෙන්නේ නෑ අපේ අපේක්ෂාව මේ ක්ෂේත්‍රය හරහා දැවැන්ත පරිවර්තනයක් රට තුළ සිදුකිරීමයි.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා,

වෘත්තීය පුහුණුව ලබාදෙන රජයේ ආයතන තුළ පාඨමාලාවන් රැසක් තිබෙනවා. ඒ ආයතනවලට දිවයින පුරා දරුවන් එනවා. සමහර විට උතුරු නැගෙනහිර ප්‍රදේශවල සිසුන් පවා ඇවිල්ලා අද මේ ආයතනයවල අධ්‍යාපනය හදාරනවා. සමහර පුහුණු ආයතනවලට සිසුන් නැති තත්ත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. අපි හිතනවා ඒකටත් හේතුව අපේ අධ්‍යාපන ක්‍රමයේ තිබෙන වැරැද්දක් කියලා. කම්කරු අමාත්‍යංශය යටතේ පුහුණු ආයතන තිබෙනවා ඉදිරියේදී ඒ ආයතනත් ශක්තිමත් කරලා පුහුණුව ලබා දෙන්න අවශ්‍ය කටයුතු අපි සිදු කරනවා.

අධ්‍යාපන හාඋසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ලසිත් භාෂණ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, ගම්පහ නගරාධිපතිතුමන්, දිස්ත්‍රීක් ලේකම්තුමන් ගම්පහ කාර්මික විද්යාලයේ විදුහල්පති පී.එම්. කේ. ගෝමස් යන මහත්මවරුන්, රාජ්‍ය නිලධාරීන් දරුදැරියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය