ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලීව, ආයෝජන පසුබිම සහ පරිසරය සකස් කර ගනිමින් නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුව තිබෙනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
ඇති වී තිබෙන තත්ත්වය හමුවේ උපායශීලීවීමටත්, අයවැය තුළ යම් යම් ගැළපීම් සිදුකරමින් ආයෝජන පසුබිම සහ පරිසරය නිවැරදිව සකස් කර ගත යුතුව ඇති බවත්, නිවැරදි ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කළ යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කොළඹ සැංග්රිලා හෝටලයේ පැවැත්වෙන, (SRI LANKA ECONOMIC AND INVESTMENT SUMMIT 2025) ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුවට දෙසැම්බර් 02 දින සහභාගී වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
සමාගම් 500කට වැඩි සංඛ්‍යාවක් නියෝජිතයින් රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ ලොව පුරා ආයෝජකයින් 100කට ආසන්න පිරිසකගේ සහභාගිත්වයෙන් (SRI LANKA ECONOMIC AND INVESTMENT SUMMIT 2025) ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව පැවැත් විය.
මෙහිදී පවත්වන ලද විශේෂ සාකච්ඡාවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසීය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් සිදුකර ඇති පුරෝකථනයන් සමඟ ඉදිරියට යායුතුයි කියන දැඩි ස්ථාවරයක අපි ඉන්නවා. අපි නැවත ආපස්සට යන්නේ නැහැ. රටට ආපසු හැරෙන්න දෙන්න බැහැ. අපගේ අරමුණ එම ඉලක්ක සපුරා ගැනීමයි.
පවතින වාතාවරණයන් සහ අවස්ථාවන් වෙනස් වන විට, අපට ඊට අනුගත වීමට සිදුවී තිබෙනවා. විශේෂයෙන් ඇතිවී තිබෙන හා සිදුවෙමින් පවතින තත්වයන්ට මුහුණ දීම සඳහා අපට යම් යම් පියවර ගැනීමට සිදුව තිබෙනවා. එහෙත් රජයේ ඉලක්කවල වෙනසක් සිදුවන්නේ නැහැ. අයවැය කතාවේදී ජනාධිපතිතුමා තිරසාර හා සියල්ල ඇතුළත් වර්ධනය, අපනයන විවිධාංගීකරණය, ඩිජිටල්කරණය, ඵලදායී ආර්ථිකයක් සහ දරිද්‍රතාවය පිටුදැකීම යන කරුණු කෙරෙහි අවධානය යොමු කළා.
අපි ඒ ඉලක්ක කරා ළඟා වීමට නිවැරදි මාර්ගයේ ගමන් කිරීමට දැඩි අධිෂ්ඨානයෙන් කටයුතු කරනවා.
රජය අයවැය හරහා ප්‍රධාන උපායමාර්ගික යෝජනා ගැන කතා කළා. වෙළඳාම, ඩිජිටල්කරණය සහ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සඳහා වන සමස්ත ආර්ථික ව්‍යුහය සම්බන්ධ යෝජනා ඊට ඇතුළත්. ඒ සඳහා අවශ්‍ය නීති සහ ප්‍රතිපත්ති බොහොමයක් වෙනුවෙන් අපි දැනටමත් වැඩ පටන් අරන් තිබෙනවා. ලබන වසරේ මුලදී ඒවා ඉදිරිපත් කිරීමට නියමිතයි. ඒවා ප්‍රමාද කිරීමට කිසිම හේතුවක් නැහැ.
ඇත්තෙන්ම, අපි වඩා වේගයෙන් ඉදිරියට යනවා. මොකද එය අපගේ යළි ගොඩනැගීමේ උපාය මාර්ගයේ කොටසක්.
ආර්ථිකය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය පරිසරය සකස් වී ඇති බවට අපි වග බලා ගන්නවා. ඒ කිසිවක් කල් දැමීමට අපට අදහසක් නැහැ.
ඇති වී තිබෙන තත්ත්වයන් හමුවේ අප උපායශීලීවීමට අපට සිදුවෙනවා. අපගේ අයවැය තුළත් යම් යම් ගැළපීම් සිදුකරන්න සිදු වේවි.
මේ විනාශයෙන් ගොඩ ඒමට හැකි බව තහවුරු කර ගැනීමට පවා, අප අපේ ආර්ථිකය ශක්තිමත්ව සහ ඔරොත්තු දෙන ලෙස තබා ගත යුතුයි. මේවා නිකම්ම "අලංකාරයට කරන අමතර දේවල්" නෙවෙයි. ආර්ථිකය ස්ථාවරව සහ තරඟකාරීව තබා ගැනීමට මේවා මූලික වෙනවා. ඒ නිසා මේ අත්‍යවශ්‍ය දේවල් කළ යුතුමයි. ඒ සඳහා මුදල් සොයා ගැනීමට අපට සිදුවෙනවා.
මෙතැනදී මුදල්වලට වඩා නිවැරදි ප්‍රතිපත්ති ඉතා වැදගත් .
උදාහරණයකට තනි කවුළුවක් (single window) පවත්වාගෙන යාමට විශාල මුදලක් වැය වෙන්නේ නැහැ. එය කළමනාකරණය පිළිබඳ කාරණාවක්. වැදගත්ම වෙන්නෙ ප්‍රතිපත්ති නිවැරදිව සකස් කර ගැනීමයි. ඒ වගේම සියලු දෙනා නීති රීති සහ රෙගුලාසි අනුගමනය කරන බවට වග බලා ගැනීමට දේශපාලන මැදිහත්වීමත් වැදගත් වෙනවා.
අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්රයේ සිදුකරන්න බලා පොරොත්තු වන්නේ ප්රතිසංස්කරණයකට වඩා "පරිවර්තනයක්" කියා හැඳින්වීමට මම කැමතියි. හේතුව, අපි සැලසුම් කරන්නේ පවතින ක්රමයම ප්‍රතිසංස්කරණය කිරීමට නෙමයි, නව ක්‍රමයක් හඳුන්වා දෙන්නයි.
මේ වෙනස කුළුණු පහක් මත පදනම් වෙනවා ඒ, ඇගයීම් සහ විමර්ශන ක්‍රමවල ප්‍රතිසංස්කරණ, අධ්‍යාපන පරිපාලනයේ ප්‍රතිසංස්කරණ, පාසල් යටිතල පහසුකම් දියුණු කිරීම සහ අවසාන වශයෙන් මහජනයා දැනුවත් කිරීම ආදී වශයෙන්.
අපි යෝජනා කරන මූලික වෙනස්කම් දෙකක් තියෙනවා. පළමුවැන්න ඇගයීම් ක්රමයේ වෙනස. දැනට අපට තිබෙන්නේ විභාගය ඉලක්ක කර ඉගැන්වීම සිදු කරන, ඉහළ විභාග කේන්ද්‍රීය ක්‍රමයක්. ළමුන් ඉගෙන ගන්නේ විභාග පාස් වෙන්නයි.
අපට අවශ්‍ය මෙය පාසල පදනම් කරගත්, අඛණ්ඩ ඇගයීම් ක්‍රමයක් බවට පත් කිරීමටයි. එහිදී තරගකාරී විභාග කෙරෙහි අවධානය අඩු වෙනවා වගෙිම ඉගෙනීම අත්දැකීමක් සහ ක්‍රියාවලියක් ලෙස සැලකීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කෙරෙනවා. මොඩියුලර් ක්‍රම, පාසල් පාදක ඇගයීම් හඳුන්වා දීමට සහ විභාගය කෙරෙහි ඇති බර අඩු කිරීමටයි අපි සැලසුම් කරන්නේ . මෙය අධ්‍යාපනයේ විශාල වෙනසක් ඒ සඳහා ඉගෙනීම දෙස බලන ආකාරය පිළිබඳ මානසිකත්වයේ වෙනසක් ද අවශ්‍ය වෙනවා.
අපි ගෙන එන දෙවන විශාල වෙනස වෘත්තීය අධ්‍යාපනය (vocational education) ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනය තුළ විධිමත් විෂය ධාරාවක් සහ තෝරා ගැනීමේ විෂයක් ලෙස හඳුන්වා දීමයි.
දැනට වෘත්තීය අධ්‍යාපනය සරලව කිව්වොත් සලකන්නේ "පරාජිතයින්ගේ තෝරාගැනීම" විදියටයි. යමෙක් විභාග අසමත් වුවහොත් හෝ පන්ති කාමරයේ පිටුපස පේළියේ සිටින සිසුවෙක් නම්, ඔවුන්ව වෘත්තීය අධ්‍යාපනයට යොමු කරන අතරම සාමාන්‍යයෙන් වෘත්තීය අධ්‍යාපනය ලැබීමට පාසලෙන් අස් විය යුතුව තිබෙනවා. අපි යෝජනා කරන්නේ 6 වසරේ සිටම වෘත්තීය අධ්‍යාපනය ප්‍රධාන ධාරාවේ අධ්‍යාපනයේ කොටසක් බවට පත් කිරීමටයි. එවිට සියලු සිසුන්ට වෘත්තීය ක්ෂේත්රයන් හඳුනා ගැනීමට හැකි වන අතර අධ්‍යාපනයේ සෑම මට්ටමකදීම වෘත්තීය මාවතක් තෝරා ගැනීමේ අවස්ථාව ඔවුන්ට හිමි වෙනවා. මෙය ජර්මාන් ක්‍රමයට තරමක් සමානයි. එහිදී පාසලේ ඉගෙන ගන්න කාලයක් වගේම කාර්මික පුහුණුව සඳහාද යම් කාලයක් වෙන් කෙරෙනවා.
ඒ වගේම අපි වාණිජ මණ්ඩල සහ පුද්ගලික අංශය සමඟ ඉතා ඉක්මනින් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කුසලතා අවශ්‍යව තිබෙන ක්ෂේත්‍ර හඳුනා ගැනීමට අපට පුද්ගලික අංශයෙන් නිරන්තර තොරතුරු අවශ්‍ය වෙනවා.
අපේ සිසුන්ට සීමාවාසික පුහුණුව ලබා දීමට සහ ජාතික අධ්‍යාපන ආයතනය සමඟ එක්ව පාඨමාලා සංවර්ධනය කිරීමට පුද්ගලික අංශය දායක වෙනවාට අපි කැමතියි. විෂය නිර්දේශයන් සකස්කිරීමටත් ඔවුන්ගේ සහයෝගය අපි බලාපොරොත්තු වෙනවා.
නමුත් මට මෙයත් පැවසිය යුතුයි, අපගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ අරමුණ හුදෙක් ශ්‍රම වෙළඳපොළට කෙනෙක් බිහි කිරීම පමණක් නෙවෙයි. ප්‍රධාන වශයෙන්ම අපට අවශ්‍ය වෙන්නෙ යහපත් පුරවැසියෙක් බිහි කරගන්නයි. ආර්ථිකයට දායක වීම යහපත් පුරවැසියෙකු වීමේ කොටසක්. සේවකයෙකු ලෙස, ව්‍යවසායකයෙකු ලෙස හෝ නිර්මාණශීලී පුද්ගලයෙකු ලෙස රට ඊළඟ මට්ටමට ගෙන යා හැකි පුරවැසියන් බිහි කිරීම රජයේ අරමුණ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම ශ්‍රී ලංකා ආර්ථික හා ආයෝජන සමුළුව 2025, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකු සමූහය, විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා වාණිජ දෙපාර්තමේන්තුව, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව සහ සමුපකාර සංවර්ධන අමාත්‍යාංශය ඇතුළු දෙස් විදෙස් සම්පත්දායකයන් රැසකගේ සම්පත් දායකත්වයෙන් සංවිධාන කර තිබිණ. මෙම සමුළුවට ශ්‍රී ලංකාවේ සිටින විදෙස් තානාපතිවරුන් පිරිසක්ද සහභාගී වී සිටියහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය





