අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ජීවන තත්ත්වයන් නංවාලීම පිණිසත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විදේශ දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදේශීය සංවර්ධන සහයෝගීතා ආයතන හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍රණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය සහ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ අගමැතිනියගේ අවධානය

අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලියේ ප්‍රගතිය විමසා බැලීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, GovTech ආයතනය, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා ටෙලිකොම්, ඩයලොග්ආදී ආයතනවල නිලධාරීන් සමඟ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජූලි 21 දින පාර්ලිමේන්තුවේදි සාකච්ඡාවක් පැවැත් විය.

එහිදී වත්මන් රජය ආරම්භ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අවශ්‍ය ඩිජිටල් පහසුකම් සැපයීමේ ඉලක්කය සහිතව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කාර්ය සාධක බලකායේ මඟ පෙන්වීම යටතේ පසුගිය වසර තුළ පාසල්වල ඩිජිටල් යටිතල පහසුකම් සකස් කිරීම, ස්මාර්ට් පුවරු, අන්තර්ජාල පහසුකම් සහ පරිගණක ලබා දීම ඇතුළු ව්‍යාපෘති ගණනාවක් සිදු කරඇති බවත්, එමෙන්ම, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතිව ආරම්භ කළ NEMIS (National Education Management Information System) පද්ධතියේ HRM මොඩියුලයේ පළාත් හතරක කටයුතු මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති අතර, ඉතිරි පළාත් පහේ තොරතුරු ඉදිරි මාස තුන තුළ ඇතුළත් කිරීමට සැලසුම් කර ඇති බවත් නිලධාරීන් පෙන්වා දුන්නේය.

ගුරු ස්ථාන මාරු සඳහා මෙම NEMIS (National Education Management Information System) පද්ධතිය ඉදිරියේදී භාවිත කිරීමට නියමිත අතර, මේ වන විටත් සබරගමුව සහ බස්නාහිර පළාත්වල ගුරු ස්ථාන මාරු කටයුතු මෙමගින් සිදු කිරීම ආරම්භ කර තිබේ.

තවද, දත්ත ඇතුළත් මානව සම්පත් කළමනාකරණ මොඩියුලය යාවත්කාලීන කිරීමද ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.

පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබා දීමට Fibre තාක්ෂණය යොදා ගැනීමේ ප්‍රගතියද අග්‍රාමාත්‍යතුමියගේ අවධානයට ලක් වූ අතර දෙසැම්බර් 31 වනවිට එම පහසුකම් ලබා දී අවසන් කිරීමටත්, Fiber තාක්ෂණය යටතේ අන්තර්ජාල පහසුකම් ලබා දීම ප්‍රායෝගිකව අපහසු පාසල් සඳහා Wireless or Satellite තාක්ෂණය යොදා ගැනීමටත් තීරණය විය. මේ සඳහා සියලු සේවා සපයන්නන්ගේ තරඟකාරි යෝජනා සැලකීමට ලක් කර ඉදිරි ක්‍රියා මාර්ග අධ්‍යපන අමාත්‍යාංශ ලේකම් විසින් සිදු කිරීමට නියමිතය.

​LMS (Learning Management System) සහ NEMIS (National Education Management Information System) පද්ධති පූර්ණ ලෙස ක්‍රියාත්මක කරමින් සියලුම පාසල් ඒ හා සම්බන්ධ කිරීම, ’ඊ-තක්සලාව’ යාවත්කාලීන කිරීම සහ අධ්‍යාපන ඩිජිටල්කරණය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය හා GovTech ආයතනය අතර ගිවිසුම්ගත වීම ඇතුළු ඉදිරි සංවර්ධන කටයුතු රාශියක් පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

මෙම අවස්ථාවට ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෙද්‍ය මධුර සෙනෙවිරත්න, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ⁣සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සුරැකුම් සේවා සැපයීම පවුලක් විසින් තනිව දරා ගත යුතු පෞද්ගලික වගකීමක් නොවේ, එය සමස්ත සමාජයේ ම වගකීමක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

එමෙන්ම පාර්ලිමේන්තුවේ වගකීම ආයෝජන සඳහා වියදම් ඇස්තමේන්තු කිරීමට පමණක් සීමා නොවිය යුතුයි.

රාජ්‍ය වියදම් මඟින් අපේක්ෂිත සමාජීය හා ආර්ථික ප්‍රතිඵල සැබවින්ම අත්කර දෙන්නේද යන්න සොයා බලා කටයුතු කිරීම එහි වගකීමයි.

2026 ජූලි 21 දින පැවති ​“සුරැකුම් ආර්ථිකය සඳහා මූල්‍යකරණය: ඒ සඳහා පාර්ලිමේන්තුවේ භූමිකාව” (Financing the Care Economy: The Role of Parliament) යන වැඩසටහනට සහභාගී වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.

වෙස්ට්මින්ස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පදනම (Westminster Foundation for Democracy - WFD) සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය එක්ව මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණු අතර ආර්ථිකය හා මූල්‍ය අංශය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ සමාජ රැකවරණය යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ සාමාජිකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සමාන ස්ත්‍රී පුරුෂ සහභාගීත්වය ඇතුළත් ආර්ථික හා අයවැය විශ්ලේෂණයක් තුළින් ආර්ථික වර්ධනයට ඇති බාධක හඳුනාගෙන ඒවාට විසඳුම් සෙවීම මෙම සාකච්ඡාවන්හි ප්‍රධාන අරමුණ වූ අතර සුරැකුම් ආර්ථිකය සඳහා ආයෝජනය කිරීමේ වැදගත්කම සහ ඉදිරි රාජ්‍ය අයවැය තුළ සමාජ රැකවරණය සඳහා ඉලක්කගත ආයෝජන ඇතුළත් කිරීම සඳහා ගත යුතු ප්‍රායෝගික පියවර පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ප්‍රමාණවත් සහ දැරිය හැකි මිලකට රැකවරණ සේවා නොමැති විට පවුල්වලට තනිව විසඳුම් සොයා ගැනීමට සිදුවන බවයි. බොහෝ අවස්ථාවලදී ඒ සඳහා තම ජීවිත වෙනස් කර ගැනීමට සිදුවන්නේ කාන්තාවන්ට බවත්, ඒ හරහා ඔවුන්ගේ සේවා කාලය අඩු වීම, රැකියා අවස්ථා ප්‍රතික්ෂේප කිරීම, වෘත්තීය ජීවිතය අතරමග නතර කිරීම හෝ ශ්‍රම බලකායෙන් සම්පූර්ණයෙන් ඉවත් වීම වැනි තීරණ ගැනීමට පෙළඹෙන බවත් අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළා ය. එහි ප්‍රතිඵලයක් ලෙස කාන්තාවන්ට ආදායම, වෘත්තීය අවස්ථා සහ ආර්ථික ස්වාධීනත්වය අහිමි වන අතර, රටට ද කුසලතා, දැනුම සහ ඵලදායී ශ්‍රම ශක්තිය අහිමි වන බව අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නාය.

සුරැකුම් සේවා තවදුරටත් පෞද්ගලික වගකීමක් ලෙස නොසලකා, ජාතික ආර්ථික සහ රාජ්‍ය ප්‍රතිපත්ති ප්‍රමුඛතාවක් ලෙස සැලකිය යුතු බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

​“රැකවරණ කටයුතු පවුලක් තුළ පමණක් ඉටු කළ යුතු පෞද්ගලික වගකීමක් ලෙස සැලකීම අප නතර කළ යුතුයි. සුරැකුම් සේවා යනු සමාජයේ සමස්ත වගකීමක්. එය ආර්ථික ගැටලුවක් වගේම එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව පිළිබඳ ගැටලුවක්. එමෙන්ම ඒ තුළින් රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ කාරණාව ද කතා බහට ලක් වනවා.” යැයි සඳහන් කළාය.

රැකවරණ ආර්ථිකය සඳහා ආයෝජනය කිරීම සමාජ සුබසාධනය සඳහා දරන වියදමක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ මානව ප්‍රාග්ධනය ශක්තිමත් කරන උපායමාර්ගික ආයෝජනයක් බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. දැරිය හැකි මිලකට ළමා රැකවරණ සේවා, ගුණාත්මක මුල් ළමාවිය අධ්‍යාපනය, වැඩිහිටි රැකවරණ සේවා, ආබාධ සහිත පුද්ගලයන් සඳහා සහාය සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධති මඟින් කාන්තාවන්ට වැඩි වශයෙන් ශ්‍රම බලකායට එක්වීමට අවස්ථාව සැලසෙන අතර, ඒ තුළින් රැකවරණ අංශය තුළ නව රැකියා අවස්ථා බිහි කරමින් පවුල් සහ ප්‍රජාවන් ශක්තිමත් වන බවද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

එහිදී අග්‍රාමාත්‍යවරිය,

​“අයවැය යනු හුදෙක් මූල්‍යමය ලේඛනයක් පමණක් නොවේ. එය රටක් ලෙස අපගේ ප්‍රමුඛතා පිළිබිඹු කරන දෙයක්. එමඟින් රාජ්‍ය සම්පත් සඳහා ආයෝජන වෙන් කිරීම සම්බන්ධයෙන් අප ගන්නා තීරණ මෙන්ම අප වටිනාකම ලබා දෙන්නේ කුමක් සඳහා ද, රටේ සංවර්ධනය සඳහා වැදගත් ලෙස සලකනු ලබන්නේ කුමක්ද යන්න පැහැදිලි වනවා.”

තරගකාරි සහ සියලු දෙනාට අවස්ථා සලසන ආර්ථිකයක් ගොඩනැගීමට නම්, කාන්තාවන්ට ආර්ථික ක්‍රියාකාරකම්වල පූර්ණ වශයෙන් සහභාගි විය හැකි සමාජ යටිතල පහසුකම් ගොඩනැගීම අත්‍යවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

සේවා සුරැකුම් සේවා ශක්තිමත් කිරීමට පාර්ලිමේන්තුවේ වගකීම පිළිබඳව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, පාර්ලිමේන්තුවේ වගකීම රාජ්‍ය වියදම් අනුමත කිරීමට පමණක් සීමා නොවිය යුතු අතර, සුරැකුම් සේවා සඳහා යටිතල පහසුකම්, සමාජ ආරක්ෂණය සහ වැටුප් නොලබා සිදු කරනු ලබන සුරැකුම් සේවා මත බර අඩු කරමින් පොදු සේවා සඳහා ආයෝජන වෙන් කිරීම අයවැය තුළ නිසි ලෙස සිදු කරනවා ද යන්න සහතික කිරීමද එහි වගකීමක් වන බව සඳහන් කළා ය.

ප්‍රතිපත්ති සම්පාදනය සඳහා ශක්තිමත් සාක්ෂි පදනමක් අවශ්‍ය බවද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නා ය.

මෙම අවස්ථාවට කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතා, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සභාපතිනි සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, කාන්තා පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදයේ සාමාජිකයින්, රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, ශ්‍රී ලංකාවේ වෙස්ට්මින්ස්ටර් ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ පදනමේ (WFD) අධ්‍යක්ෂ සහ නියෝජිතයින්, ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින්, විෂය ක්ෂේත්‍ර විශේෂඥයින් සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයින් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සයිබර් තර්ජන, මාර්ගගත ප්‍රචණ්ඩත්වය සහ දරුවන්ගේ යහපැවැත්මට මෙන්ම නිරෝගී වර්ධනයට එල්ල වන බලපෑම්වලින් දරුවන් ආරක්ෂා කිරීම කෙරෙහි රජයේ අවධානය

ශ්‍රී ලංකාවේ දරුවන් සයිබර් තර්ජන, මාර්ගගත (Online) ප්‍රචණ්ඩත්වය සහ ඔවුන්ගේ යහපැවැත්මට සිදුවන සෘණාත්මක බලපෑම්වලින් ආරක්ෂා කිරීම සඳහා නියාමන සහ අධ්‍යාපනික විසඳුම් සහිත විස්තීර්ණ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජූලි 21 වන දින පාර්ලිමේන්තුවේදී පැවැත්විය.

ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ (Digital Education Task Force) බහු-විෂයයික ක්‍රියාකාරී කණ්ඩායමකගේ සහභාගීත්වයෙන් සංවිධානය කරන ලද මෙම විශේෂ සාකච්ඡාවේදී, දරුවන්ට ඩිජිටල් අවකාශයට පිවිසීමෙන් ලැබෙන ප්‍රතිලාභ තහවුරු කරන අතරම, මාර්ගගතව සිදුවන හානිවලින් ඔවුන් ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පිළිබඳව අවධානය යොමු කෙරිණි.

ලොව පුරා රටවල් ගණනාවක්ම ළමුන් සමාජ මාධ්‍ය භාවිත කිරීම සම්බන්ධයෙන් වයස් සීමාවන් පැනවීම පිළිබඳව සාකච්ඡා කරමින් සිටින පසුබිමක, මෙවැනි තහනම් කිරීම් හඳුන්වාදීමේ සහ බලාත්මක කිරීමේ ඇති සංකීර්ණ ක්‍රියාවලිය මෙන්ම දරුවන් ආරක්ෂා කිරීම සඳහා එවැනි පියවරවල ඇති සඵලදායිතාව පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

ප්‍රථමයෙන් මෙවැනි තහනමක් පැනවූ රටේ සිදුකරන ලද අධ්‍යයනයකට අනුව, දරුවන්ගෙන් 85% ක්ම වෙනත් ක්‍රම ඔස්සේ තවදුරටත් එම ප්ලැට්ෆෝම් (Platforms) භාවිතා කළ බව නිරීක්ෂණය වී තිබේ.

එමෙන්ම, මෙවැනි තහනමක් මගින් ඉගෙනුම් අවස්ථා අහිමි වීම, අවදානම් සහිත වෙනත් ප්ලැට්ෆෝම් භාවිතය ඉහළ යාම, සාමාජික සබඳතා බිඳවැටීම සහ සියලු පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයට එල්ලවන අවදානම් ඇතුළු ඇතිවිය හැකි අහිතකර අතුරු ප්‍රතිඵල පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ළමුන් මුහුණ දෙන විවිධ මාදිලියේ හානි එනම් අන්තර්ජාලය ඔස්සේ අපයෝජනයට ලක්වීම (Grooming and exploitation), අහිතකර අන්තර්ගතයන්ට නිරාවරණය වීම, නින්දට බාධා වීම, ඇබ්බැහි කරවන සුළු මාර්ගගත හැසිරීම් සහ මනෝවිද්‍යාත්මක හා මානසික යහපැවැත්මට සිදුවන සෘණාත්මක බලපෑම් වැනි ගැටලුවලට සඵලදායී ලෙස පිළියම් යෙදීම සඳහා විවිධ මෙවලම් සහ උපාය මාර්ගයන්ගෙන් සමන්විත ’බුද්ධිමත් සංයෝජනයක්’ (Smart mix) නිර්දේශ කරන ලදී. මෙම උපාය මාර්ග අතරට ඩිජිටල් සාක්ෂරතාව ඉහළ නැංවීම, දෙමාපියන් සහ දරුවන් බලගැන්වීම මෙන්ම මාර්ගගත ප්ලැට්ෆෝම්වල වගවීම වැඩි කිරීම, ඇබ්බැහි කරවන විශේෂාංග අක්‍රිය කිරීම, ’සැලසුමෙන්ම සුරක්ෂිතභාවය’ (Safety-by-design) කෙරෙහි අවධානය යොමු කිරීම සහ සිදුවන හානි සඳහා සඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීම යන කරුණු ඇතුළත් වේ.

ළමා මාර්ගගත ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම සඳහා සාක්ෂි මත පදනම් වූ ප්‍රවේශයක් සහ අමාත්‍යාංශ අතර සහයෝගීතාවයෙන් යුතු විස්තීර්ණ ප්‍රවේශයක් අනුගමනය කිරීමට රජය සතු කැපවීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

මෙම ක්‍රියාවලියට සමගාමීව, සිසුන්, අධ්‍යාපනඥයින් සහ දෙමාපියන් උදෙසා මාර්ගගත ආරක්ෂාව, සයිබර් ආරක්ෂාව සහ ඩිජිටල් යහපැවැත්ම වෙනුවෙන් සකස් කරන ලද පාසල් මට්ටමේ කෙටුම්පත් මාර්ගෝපදේශ මාලාවක්ද මෙහිදී ඉදිරිපත් කරන ලදී.

නැගී එන අවදානම් සහ හානිකර මූලාශ්‍ර කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින්, ජාත්‍යන්තර රාමු, ජාතික අත්දැකීම් සහ ශ්‍රී ලංකාවේ දැනට පවතින මූලාශ්‍ර ඇසුරින් මෙම මාර්ගෝපදේශ සකස් කර ඇති අතර සුදුසු බලධාරීන්ගේ අනුමැතියෙන් පසුව, අදාළ පුහුණු කිරීම් සහ දිශානති වැඩසටහන්ද සමගින් මෙම මාර්ගෝපදේශ දිවයින පුරා පිහිටි පාසල් වෙත ලබාදීමට නියමිතය.

මෙම අවස්ථාව සඳහා ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය එරංග වීරරත්න, ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ්, අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනෙවිරත්න, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව, ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහ ඩිජිටල් අධ්‍යාපන කාර්ය සාධක බලකායේ සාමාජිකයින් පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

පාර්ලිමේන්තුවේ සැබෑ ජනතා සේවය සිදුවන්නේ කාරක සභා තුළයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පාර්ලිමේන්තු සභාගර්භය තුළ පසුගිය කාලයේ සිදු වූ සංවාද හා විවාද පිළිබඳව ජනතාව තුළ යම් යම් කලකිරීම් පැවති බවත්, අද වන විට ඒ තත්ත්වය වෙනස් වෙමින් විශාල හා වැදගත් කාර්යභාරයක් පාර්ලිමේන්තු කාරක සභා පද්ධතිය හරහා සිදුවන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජූලි 21 වන දින පාර්ලිමේන්තුව කල්තැබීමේ විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

සභාගර්භය තුළ දත්ත හෝ තොරතුරු රහිතව පදනමකින් තොරව විපක්ෂයේ මන්ත්‍රීවරුන් නගන චෝදනා නිසා පාර්ලිමේන්තුව පිළිබඳ අප්‍රසන්න හැඟීමක් ජනතාව තුළ නිර්මාණය කරනවා. නමුත් මුදල් පාලනය, මුදල් අවභාවිතයන් වැළැක්වීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම වෙනුවෙන් පාර්ලිමේන්තු කාරක සභා ඉතා සක්‍රීයව ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.

විශේෂයෙන්ම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාව තුළින් වෙනත් කිසිදු තැනකින් සාධාරණයක් ඉටු නොවූ රටේ සාමාන්‍ය පුරවැසියන්ට මහජන නියෝජිතයින් හරහා තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කර විසඳුම් ලබාගත හැකි වැදගත් ස්ථානයක් බවට පත්ව තිබෙනවා. එමෙන්ම කාරක සභාව මගින් ලබාදෙන නිර්දේශ නිශ්චිත කාලසීමාවක් සහිතව ලබාදීමත්, ඒවා නිසි පරිදි ක්‍රියාත්මක නොවන්නේ නම් ඒ පිළිබඳව අදාළ නිලධාරීන් නැවත කැඳවා පසු විපරමක් කිරීමත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් අවධානය යොමු විය යුතුයි.

ඒ වගේම කාරක සභාව හමුවට පැමිණෙන රාජ්‍ය නිලධාරීන් මෙය වදයක් හෝ කරදරයක් ලෙස නොසැලකිය යුතුයි. ජනතාවගේ ඡන්දයේ සහ බදු මුදල්වල වටිනාකම රැකෙන මෙහි වගකීම ඒ නිලධාරීන් බැරෑරුම් ලෙස භාරගත යුතුයි. මහජනතාවගේ බදු මුදලින් පවත්වාගෙන යන පාර්ලිමේන්තුව සහ මහජන නියෝජිතයින්ගේ කාර්යභාරය පිළිබඳව ජනතාව නිසි ලෙස දැනුවත් කිරීමත්, ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රායෝගිකව ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ සංවාදයක් ඇති කිරීමත් මෙවැනි කාරක සභා විවාද හරහා සිදුවන බව අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දිවයිනෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම පිළිබඳව, අග්‍රාමාත්‍යතුමිය සහ එක්සත් රාජධානියේ සත්ත්ව සුභසාධන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් වඩාත් විධිමත් හා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ සත්ත්ව සුබසාධන සංවිධානයක් වන ’Battersea’ සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM - UK) නියෝජනය කරන විශේෂ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය.

මෙතෙක් පැවැති 70%ක එන්නත්කරණ ඉලක්කය වෙනුවට, කෙටි කාලයක් තුළ උපරිම සුනඛයන් සංඛ්‍යාවකට වසර 3ක් පුරා පවතින එන්නත ලබාදීමේ ’No Dog Left Behind’ නව ක්‍රමවේදය හඳුන්වා දීමේ අවශ්‍යතාව පිළිබඳ නියොජිත පිරිස මෙහිදී පෙන්වා දුන් අතර එමගින් මේ වනවිට ජලභීතිකා එන්නත් (Post-Exposure Prophylaxis) සඳහා වැයවන අධික පිරිවැය අවම කරගත හැකි බවද විශේෂඥයෝ පෙන්වා දුන්හ.

පශු වෛද්‍යවරුන්ගේ පවතින හිඟය සහ පරිපාලනමය ගැටලු මඟහැරීම සඳහා පළාත් පාලන ආයතන හරහා එන්නත්කරණය පුහුණු කර යොදවා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

පළමුවෙන් බස්නාහිර පළාත තුළත්, පසුව සමස්ත දිවයින පුරාත් ව්‍යාප්ත කිරීම සහ මෙය ජාතික කර්තව්‍යයක් සේ සළකා සෘජුව හා කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ’කාර්ය සාධක බලකායක්’ (Presidential Task Force) පිහිටුවීම පිලිබඳවද අවධානය යොමු කෙරිණ.

ජලභීතිකා රෝගය සාර්ථකව පාලනය කිරීම සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ එන්නත් භාවිත කිරීමේ වැදගත්කම සහ එන්නත්වල ශීතකරණ සැපයුම් දාමය (Cold chain) සුරක්ෂිතව පවත්වා ගැනීමත්, මධ්‍යම රජයේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවත් විශේෂඥයෝ විසින් මෙහිදී පැහැදිලි කළහ.

සත්ත්ව සුබසාධනය මෙන්ම ජලභීතිකා රෝගය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතාවක් වන බවත්, පවතින ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගනිමින් පළාත් පාලන ආයතන, අදාළ අමාත්‍යාංශ සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව මෙම ජාතික සැලැස්ම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහය රජය ලබා දෙන බවත් මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම සාකච්ඡාවට Battersea සංවිධානයේ නියෝජිත Ms. Roxanne Sahar Nazir, සහ ICAM සංවිධානය නියෝජනය කරමින් Dr. Elaine Francisca Hiby, Dr. Eric Joseph Brum, Mr. Patrick Gerard කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය Dr. M. Ijas යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීමට, කාර්යක්ෂම රාජ්‍ය අංශයක් සහ වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මෙරට ආර්ථිකය අර්බුදයෙන් මිදී ඉදිරියට යමින් පවතින පසුබිමක, රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් මෙන්ම වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA Sri Lanka) විසින් සංවිධානය කළ CMA ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුව 2026 අමතමින් ජූලි 20 වන දින කොළඹ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

“අර්බුදය, ස්ථාවරත්වය සහ වර්ධනය, කළමනාකරණ ගිණුම්කරණ කෝණයෙන්” (Crisis, Stability and Growth: A Management Accounting Lens) යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව ජූලි 20 සහ 21 යන දෙදින පුරා කොළඹ cinnamon Life හෝටලයේ දී පැවැත් විය.

සමාරම්භක උත්සවයේදි CMA ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුවේ සඟරාව නිල වශයෙන් එළිදැක්වීමත්, ගිණුම්කරණ වෘත්තියේ වසර 50ක සේවයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් උදෙසා වන ’ස්වර්ණ ජයන්ති සම්මාන පිරිනැමීමත් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. රාජ්‍ය නිලධාරීන් සඳහා CMA කළමනාකරණ ගිණුම්කරණ පාඨමාලාව හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්ව 100ක් CMA Sri lanka ආයතනය මගින් රජය වෙත පිරිනැමීම ද මෙහිදි සිදු කෙරිණ.

’CMA Business Excellence Awards 2026’ සහ සුදුසුකම් ලත් සාමාජිකයින් උදෙසා වන ’Merit Awards’ සම්මාන ප්‍රදානයද මෙහිදී සිදු විය.

අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

වර්තමාන ගෝලීය අස්ථාවරත්වය හමුවේ කළමනාකරණ ගණකාධිකරණය, හුදෙක් මුල්‍ය වාර්තාකරණයක් පමණක් නොවෙයි, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම නිවැරදි උපායමාර්ගික තීන්දු ගැනීමට උපකාරී වන ප්‍රධානතම මෙවලමක්.

රටේ ​ජනතාවගේ කැපවීම් සහ රජය ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට මුල්‍ය අර්බුදයෙන් සාර්ථකව ගොඩ එමින් තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන, සංචාරක සහ මුල්‍ය ක්ෂේත්‍රයන්හි ඇති වූ ප්‍රගතියත් සමඟ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ’ඉහළ මධ්‍ය ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගනිමින් තරඟකාරී සහ සබලසම්පන්න ආර්ථිකයක් ගොඩනැගීමේ අවස්ථාව රට හමුවේ තිබෙන අභියෝගයයි.

පසුගිය කාලසීමාව තුළ ඇතැම් රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ සිය වාර්ෂික මුල්‍ය ප්‍රකාශන හා විගණන වාර්තා ඉදිරිපත් කර තිබුණේ නැහැ. වත්මන් රජය සිදුකළ මැදිහත්වීම් හමුවේ එම වාර්තා යාවත්කාලීන කිරීමට පියවර ගත්තා. මින් ඉදිරියට නියමිත වේලාවට මුල්‍ය වාර්තා ලබා නොදෙන සහ නියමිත ප්‍රමිතීන් උල්ලංඝනය කරන සියලුම ආයතන හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය පරිපාලනය තුළ තීන්දු තීරණ ගත යුත්තේ පුද්ගලික න්‍යායපත්‍ර මත නොවෙයි. සාක්ෂි, දත්ත සහ විද්‍යාත්මක පදනම මතයි. ​වර්තමාන ගෝලීය අවශ්‍යතාවලට අනුකූලව සාම්ප්‍රදායික ගණකාධිකරණයේදී මගහැරෙන පාරිසරික හායනය සහ සමාජීය පිරිවැය ද සලකා බැලීම වැදගත් බව මම විශ්වාස කරනවා.

රජය ආරම්භ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස් පෙළ අංශයට වෘත්තීය පුහුණු පාඨමාලා සහ වසරක ආයතනික පුහුණුව (Internship) ඇතුළත් කිරීමට පියවර ගනිමින් තිබෙනවා. ඒ සඳහා රටේ පිලිගත් ආයතනවල, සංවිධානවල සහය රජයට අවශ්‍යයි.

ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) සමඟ පෙරට යන නව ලොවට ගැලපෙන සදාචාරාත්මක හා උපායමාර්ගික චින්තනයෙන් යුතු වෘත්තිකයන් බිහි කිරීමේදී CMA ආයතනය ඇතුළු වෘත්තීය ආයතන ලබාදෙන දායකත්වය අගය කරන බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාටින් (Isabelle Martin) මහත්මිය, CPA Australia හි සභාපති මහාචාර්ය ඩේල් පින්ටෝ (Professor Dale Pinto), CMA Sri Lanka නිර්මාතෘ සහ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල යන මහත්වරුන් ඇතුළු CMA Sri Lanka සාමාජික, සාමාජිකාවන්, දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය