අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ජීවන තත්ත්වයන් නංවාලීම පිණිසත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විදේශ දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදේශීය සංවර්ධන සහයෝගීතා ආයතන හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍රණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

දිවයිනෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම පිළිබඳව, අග්‍රාමාත්‍යතුමිය සහ එක්සත් රාජධානියේ සත්ත්ව සුභසාධන නියෝජිතයින් අතර විශේෂ සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය පාලනය කිරීම වෙනුවෙන් වඩාත් විධිමත් හා කඩිනම් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ සත්ත්ව සුබසාධන සංවිධානයක් වන ’Battersea’ සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM - UK) නියෝජනය කරන විශේෂ නියෝජිත පිරිසක් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විය.

මෙතෙක් පැවැති 70%ක එන්නත්කරණ ඉලක්කය වෙනුවට, කෙටි කාලයක් තුළ උපරිම සුනඛයන් සංඛ්‍යාවකට වසර 3ක් පුරා පවතින එන්නත ලබාදීමේ ’No Dog Left Behind’ නව ක්‍රමවේදය හඳුන්වා දීමේ අවශ්‍යතාව පිළිබඳ නියොජිත පිරිස මෙහිදී පෙන්වා දුන් අතර එමගින් මේ වනවිට ජලභීතිකා එන්නත් (Post-Exposure Prophylaxis) සඳහා වැයවන අධික පිරිවැය අවම කරගත හැකි බවද විශේෂඥයෝ පෙන්වා දුන්හ.

පශු වෛද්‍යවරුන්ගේ පවතින හිඟය සහ පරිපාලනමය ගැටලු මඟහැරීම සඳහා පළාත් පාලන ආයතන හරහා එන්නත්කරණය පුහුණු කර යොදවා ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

පළමුවෙන් බස්නාහිර පළාත තුළත්, පසුව සමස්ත දිවයින පුරාත් ව්‍යාප්ත කිරීම සහ මෙය ජාතික කර්තව්‍යයක් සේ සළකා සෘජුව හා කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා ’කාර්ය සාධක බලකායක්’ (Presidential Task Force) පිහිටුවීම පිලිබඳවද අවධානය යොමු කෙරිණ.

ජලභීතිකා රෝගය සාර්ථකව පාලනය කිරීම සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ එන්නත් භාවිත කිරීමේ වැදගත්කම සහ එන්නත්වල ශීතකරණ සැපයුම් දාමය (Cold chain) සුරක්ෂිතව පවත්වා ගැනීමත්, මධ්‍යම රජයේ අධීක්ෂණය කිරීමේ අවශ්‍යතාවත් විශේෂඥයෝ විසින් මෙහිදී පැහැදිලි කළහ.

සත්ත්ව සුබසාධනය මෙන්ම ජලභීතිකා රෝගය තුරන් කිරීම රජයේ ප්‍රමුඛතාවක් වන බවත්, පවතින ප්‍රායෝගික ගැටලු නිරාකරණය කරගනිමින් පළාත් පාලන ආයතන, අදාළ අමාත්‍යාංශ සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව මෙම ජාතික සැලැස්ම ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සහය රජය ලබා දෙන බවත් මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

මෙම සාකච්ඡාවට Battersea සංවිධානයේ නියෝජිත Ms. Roxanne Sahar Nazir, සහ ICAM සංවිධානය නියෝජනය කරමින් Dr. Elaine Francisca Hiby, Dr. Eric Joseph Brum, Mr. Patrick Gerard කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය Dr. M. Ijas යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීමට, කාර්යක්ෂම රාජ්‍ය අංශයක් සහ වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මෙරට ආර්ථිකය අර්බුදයෙන් මිදී ඉදිරියට යමින් පවතින පසුබිමක, රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් මෙන්ම වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA Sri Lanka) විසින් සංවිධානය කළ CMA ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුව 2026 අමතමින් ජූලි 20 වන දින කොළඹ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

“අර්බුදය, ස්ථාවරත්වය සහ වර්ධනය, කළමනාකරණ ගිණුම්කරණ කෝණයෙන්” (Crisis, Stability and Growth: A Management Accounting Lens) යන්න තේමා කර ගනිමින් මෙම සමුළුව ජූලි 20 සහ 21 යන දෙදින පුරා කොළඹ cinnamon Life හෝටලයේ දී පැවැත් විය.

සමාරම්භක උත්සවයේදි CMA ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුවේ සඟරාව නිල වශයෙන් එළිදැක්වීමත්, ගිණුම්කරණ වෘත්තියේ වසර 50ක සේවයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් උදෙසා වන ’ස්වර්ණ ජයන්ති සම්මාන පිරිනැමීමත් අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. රාජ්‍ය නිලධාරීන් සඳහා CMA කළමනාකරණ ගිණුම්කරණ පාඨමාලාව හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්ව 100ක් CMA Sri lanka ආයතනය මගින් රජය වෙත පිරිනැමීම ද මෙහිදි සිදු කෙරිණ.

’CMA Business Excellence Awards 2026’ සහ සුදුසුකම් ලත් සාමාජිකයින් උදෙසා වන ’Merit Awards’ සම්මාන ප්‍රදානයද මෙහිදී සිදු විය.

අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

වර්තමාන ගෝලීය අස්ථාවරත්වය හමුවේ කළමනාකරණ ගණකාධිකරණය, හුදෙක් මුල්‍ය වාර්තාකරණයක් පමණක් නොවෙයි, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේම නිවැරදි උපායමාර්ගික තීන්දු ගැනීමට උපකාරී වන ප්‍රධානතම මෙවලමක්.

රටේ ​ජනතාවගේ කැපවීම් සහ රජය ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාව අද වන විට මුල්‍ය අර්බුදයෙන් සාර්ථකව ගොඩ එමින් තිබෙනවා. විශේෂයෙන්ම නිෂ්පාදන, සංචාරක සහ මුල්‍ය ක්ෂේත්‍රයන්හි ඇති වූ ප්‍රගතියත් සමඟ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවතත් ’ඉහළ මධ්‍ය ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් ලෙස වර්ගීකරණය කර තිබෙනවා. මෙම තත්ත්වය හමුවේ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරගනිමින් තරඟකාරී සහ සබලසම්පන්න ආර්ථිකයක් ගොඩනැගීමේ අවස්ථාව රට හමුවේ තිබෙන අභියෝගයයි.

පසුගිය කාලසීමාව තුළ ඇතැම් රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ සිය වාර්ෂික මුල්‍ය ප්‍රකාශන හා විගණන වාර්තා ඉදිරිපත් කර තිබුණේ නැහැ. වත්මන් රජය සිදුකළ මැදිහත්වීම් හමුවේ එම වාර්තා යාවත්කාලීන කිරීමට පියවර ගත්තා. මින් ඉදිරියට නියමිත වේලාවට මුල්‍ය වාර්තා ලබා නොදෙන සහ නියමිත ප්‍රමිතීන් උල්ලංඝනය කරන සියලුම ආයතන හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය පරිපාලනය තුළ තීන්දු තීරණ ගත යුත්තේ පුද්ගලික න්‍යායපත්‍ර මත නොවෙයි. සාක්ෂි, දත්ත සහ විද්‍යාත්මක පදනම මතයි. ​වර්තමාන ගෝලීය අවශ්‍යතාවලට අනුකූලව සාම්ප්‍රදායික ගණකාධිකරණයේදී මගහැරෙන පාරිසරික හායනය සහ සමාජීය පිරිවැය ද සලකා බැලීම වැදගත් බව මම විශ්වාස කරනවා.

රජය ආරම්භ කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස් පෙළ අංශයට වෘත්තීය පුහුණු පාඨමාලා සහ වසරක ආයතනික පුහුණුව (Internship) ඇතුළත් කිරීමට පියවර ගනිමින් තිබෙනවා. ඒ සඳහා රටේ පිලිගත් ආයතනවල, සංවිධානවල සහය රජයට අවශ්‍යයි.

ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) සමඟ පෙරට යන නව ලොවට ගැලපෙන සදාචාරාත්මක හා උපායමාර්ගික චින්තනයෙන් යුතු වෘත්තිකයන් බිහි කිරීමේදී CMA ආයතනය ඇතුළු වෘත්තීය ආයතන ලබාදෙන දායකත්වය අගය කරන බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ කැනඩා මහකොමසාරිස් ඉසබෙල් මාටින් (Isabelle Martin) මහත්මිය, CPA Australia හි සභාපති මහාචාර්ය ඩේල් පින්ටෝ (Professor Dale Pinto), CMA Sri Lanka නිර්මාතෘ සහ සභාපති මහාචාර්ය ලක්ෂ්මන් ආර් වටවල යන මහත්වරුන් ඇතුළු CMA Sri Lanka සාමාජික, සාමාජිකාවන්, දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සැබෑ නායකත්වය යනු තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව, සහකම්පනයෙන් යුතුව අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීම බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ලංකාවේ දැරියන් සහ තරුණියන් සවිබල ගැන්වීමේ ප්‍රමුඛතම ස්වේච්ඡා සංවිධානයක් වන ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය විසින් සංවිධානය කරනු ලැබූ “ජනාධිපති සහ අගමැති බාලදක්ෂිකා සම්මාන ප්‍රදානෝත්සවයට සහභාගී වෙමින් අද (19) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

​මෙහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සුරතින් දැරියන් වෙත පදක්කම් හා සහතික පත්‍ර පිරිනැමීම සිදු කෙරිණි.

​මෙවර සම්මාන ප්‍රදානෝත්සවයේදී දැරියන්ගේ විනය, ඔරොත්තු දීමේ හැකියාව, අඛණ්ඩතාව සහ අනුන්ට සේවය කිරීමේ කැපවීම අගයමින් ජනාධිපති බාලදක්ෂිකා සම්මාන 338ක් සහ අගමැති බාලදක්ෂිකා සම්මාන 12ක් බැගින් සමස්ත සම්මාන 350ක් ප්‍රදානය කෙරිණි.

අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

බාලදක්ෂිකා ව්‍යාපාරයේ ඇති ප්‍රධානතම ශක්තියක් වන්නේ පසුබිම හෝ හැකියාව කුමක් වුවත් සෑම දරුවෙකුටම එක හා සමානව අවස්ථා ලබා දීමයි. ඒවගේම , තනතුරු හෝ බලය නොව, වගකීම් සහගතව කටයුතු කිරීම, සහකම්පනයෙන් යුතුව සවන්දීම සහ අන් අයගේ යහපත උදෙසා ක්‍රියා කිරීමත් සැබෑ නායකයෙක් ගේ ලක්ෂණයක්.

අතීතයේ කාන්තාවන්ට තිබුණේ සීමිත අවස්ථාවන් නමුත් අද සියලු අංශයන් තුළ තරුණියන් වෙනුවෙන්, කාන්තාවන් වෙනුවෙන් අවස්ථා නිර්මාණය වෙමින් තිබෙනවා. ඒ වගේම තරුණියන් වෙනදාට වඩා සියළු අංශයන්ගෙන් ඉදිරියට එමින් තිබෙනවා. හැම තරුණියකටම, ගැහැණු දරුවෙකුටම ඉදිරියට එන්න, සංවර්ධනය වෙන්න සමාන අවස්ථාවන් හිමි විය යුතුයි. අදට වඩා යහපත් රටක් වෙනුවෙන් තරුණ නායිකාවන් වන ඔබ ඉදිරියට එන්න අවශ්‍යයි.

විශේෂයෙන්ම ​වත්මන් ආර්ථික හා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ මධ්‍යයේ තිරසාර ජාතික ප්‍රගතියක් කරා ගමන් කිරීමට නම් ආර්ථික වර්ධනය පමණක් නොව, සදාචාරාත්මක සහ සමාජීය වගකීම් සහිත පුරවැසියන් පිරිසක් බිහි කිරීම අත්‍යවශ්‍යයි. ඒ සඳහා ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමය ඉටුකරන මෙහෙවර අගය කළ යුතු බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවා ය.

​“සූදානම්ව සිටින්න” (Be Prepared) යන ආදර්ශ පාඨය පෙරදැරි කරගත් බාලදක්ෂිකා ව්‍යාපාරය 1917 මාර්තු 21 වන දින මහනුවර උසස් බාලිකා විද්‍යාලයෙන් ජෙනී කැල්වර්ලි ග්‍රීන් මෙනෙවිය විසින් මෙරට ප්‍රථම වරට ආරම්භ කරන ලදී. වයස් කාණ්ඩ සහ දක්ෂතාවලට අනුව සමනළි, කුඩා මිතුරී, බාලදක්ෂිකා, රේන්ජර්, තරුණ, විවිධ දක්ෂතා සහිත සහ ප්‍රජා බාලදක්ෂිකා ලෙස ශාඛා හතක් ඔස්සේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපාරය තුළ බාලදක්ෂිකාවකට ලැබිය හැකි ඉහළම ඇගයීම ​“ජනාධිපති බාලදක්ෂිකා සම්මානය” වන අතර ​තම මූලික අභියෝගතා, ලිඛිත හා සම්මුඛ පරීක්ෂණ මෙන්ම ’බී.පී. අභියෝගතාවය’ (BP Challenge) සාර්ථකව නිම කරන බාලදක්ෂිකාවන් පමණක් මෙම ඉහළම ඇගයීමට පාත්‍ර වේ. රේන්ජර් බාලදක්ෂිකා අංශයේ ඉහළම ඇගයීම ලෙස අගමැති සම්මානය පිරිනැමීම ද සිදු කෙරේ.

ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ සභාපතිනි ස්වර්ණිකා පිටිගල , ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ ප්‍රධාන කොමසාරිස් ආචාර්ය කුෂන්තා , හේරත් ජනාධිපති බාලදක්ෂිකා කොමසාරිස් පුෂ්පා පෙරේරා , අගමැති බාලදක්ෂිකා කොමසාරිස් අරුණි කරුණාරත්න මහත්මිය ඇතුළු ශ්‍රී ලංකා බාලදක්ෂිකා සංගමයේ උසස් නිලධාරීන් පිරිසක් ඇතුළු ජනාධිපති සහ අගමැති බාලදක්ෂිකාවන් හා ඔවුන්ගේ දෙමව්පියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සරය අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් සමරයි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජූලි 18වන දින කොළඹ දී පවත්වනු ලැබූ ශ්‍රී ලංකා මුස්ලිම් කාන්තා සංගමයේ 90 වන සංවත්සර උත්සවයට සහභාගී වූවා ය.

සීලෝන් මුවර් කාන්තා සංගමය විසින් මෙම සුවිශේෂී සංධිස්ථානය ළඟා කර ගැනීම පිළිබඳ සුබපැතුම් එක් කළ අග්‍රාමාත්‍යතුමිය දශක නවයක් පුරා තම ආරම්භක අරමුණු අමතක නොකර නොවෙනස්ව පවත්වාගෙන යමින්, සමාජ සේවය සඳහා සීලෝන් මුවර් කාන්තා සංගමයේ කැපවීම අගය කළා ය. මෙම අවස්ථාව හුදෙක් අතීත ජයග්‍රහණ සැමරීමක් පමණක් නොවන බවත්, මෙම ස්වේච්ඡා පදනම තුළින් ජීවිත වෙනස් වූ දරුවන්ට, එම සේවය ඉදිරියට ගෙන යාමට කැපවූ කාන්තාවන්ට සහ එමඟින් ශක්තිමත් වූ ප්‍රජාවන්ට සිදුකරන උපහාරයක් බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

රටක ප්‍රගතිය කාන්තාවන්ගේ සාර්ථක සහ සමාන සහභාගිත්වය මත පදනම් වන බව අවධාරණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, අධ්‍යාපනය, ආර්ථිකය, ප්‍රජා නායකත්වය සහ සාමාන්‍යය ජීවිතය තුළ කාන්තාවන්ට සම අවස්ථා ලබාදීම තිරසාර සංවර්ධනය, ශක්තිමත් පවුල් සංස්ථාවක් සහ සහ ශක්තිමත් සමාජයක් ගොඩනැගීම සඳහා අතවශ්‍ය කරුණක් බව ප්‍රකාශ කළාය.

ගුණාත්මක අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, ආර්ථිකය සහ නායකත්වය සඳහා සමාන ප්‍රවේශයක් තුළින් සෑම කාන්තාවකටම තම පූර්ණ හැකියාවන් සාක්ෂාත් කර ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

සැබෑ සුබසාධනය යනු ක්ෂණික සහන සැලසීම පමණක් නොවන බවත්, අධ්‍යාපනය, කුසලතා සංවර්ධනය, ආරක්ෂාව සහ අවස්ථා ලබාදීම හරහා පුද්ගලයන්ට සුරක්ෂිත හා ගෞරවාන්විත ජීවිතයක් ගොඩනඟා ගැනීමට හැකි වන ලෙස සවිබල ගැන්වීම බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.

අවදානමට ලක්වූ ප්‍රජාවන් ආරක්ෂා කරන අතරම ඔවුන්ගේ සවිබල ගැන්වීම හා ස්වාධීනව ගොඩ නැගීම සඳහා මාර්ග විවෘත කරන සුබසාධන පද්ධතීන් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

සිවිල් සමාජ සංවිධාන මඟින් ලබා දෙනා දායකත්වය පිළිබඳවද අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, රජයන් ප්‍රතිපත්ති සම්පාදනය කර රාජ්‍ය සේවා සපයන නමුත් සමාජයේ බොහෝ අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා ප්‍රජා සංවිධානවල මැදිහත් වීම සහ කැපවීම අත්‍යවශ්‍ය බව සඳහන් කළාය. සීලෝන් මුවර් කාන්තා සංගමය වැනි සංවිධාන සහ රාජ්‍ය ආයතන අතර පවතින හවුල්කාරීත්වය තුළින් ළමා ආරක්ෂාව ශක්තිමත් කිරීම, පවුල් සවිබල ගැන්වීම සහ ප්‍රජාවන් ගොඩනැගීමට සැලකිය යුතු දායකත්වයක් ලැබෙන බවද පැවසුවාය.

සීලෝන් මුවර් කාන්තා සංගමයේ යාවජීව සාමාජිකාවන් වෙත උපහාර පුද කිරීමද මෙම අවස්ථාවේදි අග්‍රාමාත්‍යතුමිය අතින් සිදු වූ අතර යහපත් ගුණාංගවලින් යුතු තරුණ කාන්තා පරපුරක් බිහි කිරීම, ඔවුන් තුළ ආත්ම විශ්වාසය ශක්තිමත් කිරීම සහ කරුණාව හා වගකීම මත පදනම් වූ නායකත්වයක් ගොඩනැගීම වෙනුවෙන් ඔවුන්ගේ දායකත්වය සහ නොසැලෙන කැපවීම අගය කළාය. ශ්‍රී ලංකාව තිරසාර සංවර්ධනය, සියල්ලන් ඇතුළත් ආර්ථික වර්ධනය සහ ජාතික සංහිඳියාව කරා ගමන් කරන මේ අවස්ථාවේ එවැනි ගුණාංග අතිශයින් වැදගත් බවද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.

මෙම අවස්ථාවේදී සීලෝන් මුවර් කාන්තා සංගමයේ 90 වැනි සංවත්සරය නිමිත්තෙන් නිකුත් කළ සමරු කලාපය එළිදක්වනු ලැබූ අතර එහි පළමු පිටපත අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්විණි.

මෙම අවස්ථාව සඳහා නියෝජ්‍ය කථානායක ආචාර්ය රිස්වි සාලි, කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය, බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ්, කොළඹ නගරාධිපතිනි ව්‍රායි කැලී බල්තසාර්, තානාපතිවරුන්, සීලෝන් මුවර් කාන්තා සංගමයේ නිලධාරීන් හා සාමාජිකාවන්, සහ ආරාධිත පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් අග්‍රාමාත්‍යවරිය හමුවෙති

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (2026 ජූලි 18) අරලියගහ මන්දිරයේදී තායිලන්තයෙන් ශ්‍රී ලංකාවට වැඩම කළ මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් හමුවී සුහද සාකච්ඡාවක නිරත වූවාය.

මෙම හමුව සඳහා අතිපූජ්‍ය ෆ්‍රා ධම්මවජිරපණ්‍යාචාර්ය මහථෙර හිමි, වට් ෆ්‍රා චෙතුෆොන් විමොල්මංග්කලාරාම් රාජවරමහාවිහාරයේ නියෝජ්‍ය විහාරාධිපතිවරයා, මහාචුලාලොංකෝර්න්රාජවිද්‍යාලය විශ්වවිද්‍යාලයේ ත්‍රිපිටක අධ්‍යයන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හිමියන් ඇතුළු තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් පිරිසක් සහභාගී වූහ.හමුවේදී ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින ශතවර්ෂ ගණනාවක බෞද්ධ සම්බන්ධතා, ආගමික හා සංස්කෘතික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර පවතින මිත්‍රත්වය වර්ධනය කිරීම පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදු කෙරිණි.

සාකච්ඡාව අවසානයේදී තායිලන්ත මහා සංඝ නායක හිමිවරුන් විසින් ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර පවතින දීර්ඝකාලීන බෞද්ධ හා සංස්කෘතික සබඳතා සංකේතවත් කරමින් විශේෂ සමරු තිළිණ හා සිහිවටන අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගන්වන ලදී. එම සමරු තිළිණ දෙරටේ පොදු බෞද්ධ උරුමය, සංස්කෘතික වටිනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය මැනවින් පිළිබිඹු කරන සංකේතයන් ලෙස පිරිනැමිණි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කාන්තා සහභාගීත්වය සීමා කරන බාධක බිඳ දමා, ඔවුන්ගේ හැකියාවන් හඳුනාගැනිම, ඇගයීම සහ සවිබල ගැන්වීම සඳහා CCWE මඟින් ලබා දෙන දායකත්වය ප්‍රශංසනීයයි – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2026 ජූලි 17 වන දින කොළඹදී පැවති ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලය (Ceylon Chamber of Women Entrepreneurs - CCWE) සංවිධානය කරන CCWE Fashion Week & International Summit 2026 උළෙලේ සමාරම්භක අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය.

“Threads of Inclusion – Woven from Every Walk of Life” යන තේමාව යටතේ 2026 ජූලි 16 සිට 19 දක්වා පැවැත්වෙන CCWE Fashion Week & International Summit 2026 මෙම ජාත්‍යන්තර සමුළුව සහ විලාසිතා දැක්ම, විලාසිතා ක්ෂේත්‍රය තුළ කාන්තා සහභාගීත්වය, කාන්තා සවිබල ගැන්වීම, ව්‍යවසායකත්වය සහ සමාජ පරිවර්තනය සඳහා වේදිකාවක් සහ කතිකාවතක් නිර්මාණය කිරීම අරමුණු කර ගෙන සංවිධානය කර ඇත.

දකුණු ආසියාව පුරා සිටින කාන්තා ව්‍යවසායකයින්, විලාසිතා නිර්මාණ ශිල්පීන්, නිර්මාණකරුවන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් මෙම අවස්ථාවට සහභාගී වන අතර මෙම සමුළුව හරහා නවෝත්පාදනය, නායකත්වය සහ කලාපීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම කාන්තාවන් සවිබල ගන්වන ව්‍යාපාර වැඩිදියුණු කිරීම, නව වෙළෙඳපොළ වෙත ප්‍රවේශ අවස්ථා වැඩි කිරීම සහ තිරසාර ආර්ථික සංවර්ධනය සඳහා කාන්තාවන්ගේ දායකත්වය ශක්තිමත් කිරීමට අවස්ථාව සලසා දෙයි.

උත්සව අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය, විලාසිතා යනු කාන්තාවන්ගේ විවිධත්වය සහ ඔවුන් අනන්‍යතාව නියෝජනය කරන ප්‍රබල ප්‍රකාශන මාධ්‍යයක් වන බවත්, එමෙන්ම, කාන්තාවන් මත සමාජය විසින් පනවනු ලබන සීමා කිරීම් සහ දැඩි සමාජ අපේක්ෂාවන් ද මෙම විලාසිතා තුළින් පිළිබිඹු වන බැවින්, එය සමාජ සංවාදයට සහ සමාජ පරිවර්තනයට වැදගත් අවකාශයක් නිර්මාණය කරන බව සඳහන් කළා ය.

CCWE Fashion Week & International Summit වැනි වැඩසටහන් මගින් සම්ප්‍රදායික සීමා අභියෝගයට ලක් කරමින්, කාන්තාවන්ගේ සහභාගීත්වයට දිගු කලක් තිස්සේ බාධාවක් වූ සීමා බිඳ දමා, කාන්තාවන්ගේ හැකියාවන් හඳුනාගැනීමට, ඇගයීම සහ සවිබල ගැන්වීමට අවකාශක් නිර්මාණය කිරීමේ වැදගත්කම ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී අවධාරණය කළාය.

කාන්තා සවිබල ගැන්වීම තුළින් ආර්ථිකය ශක්තිමත් කිරීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ බොහෝ ක්ෂුද්‍ර හා කුඩා කර්මාන්ත අංශයේ ප්‍රධාන බලවේගය වන්නේ ද කාන්තාවන් බව සඳහන් කළා ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා කාන්තා ව්‍යවසායක මණ්ඩලයේ සභාපති ආචාර්ය අයන්ති ගුරුසිංහ සහ ව්‍යාවසායක මණ්ඩලයේ සාමාජිකාවන්, දකුණු ආසියාව පුරා සිටින කාන්තා ව්‍යවසායකයින්, විලාසිතා නිර්මාණ ශිල්පීන්, වෘත්තිකයන් සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය