දේශීය අපනයනකරුවන් ශක්තිමත් කරමින් වෙළඳ සැපයුම්, රේගු ක්‍රියාවලිය, ආයෝජන අනුමත කිරීම කාර්යක්ෂම කිරීමටත්, අපනයන පහසුකම් වැඩිදියුණු කිරීමටත් රජය කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය, අපනයන සංවර්ධන මණ්ඩලය සංවිධානය කළ 27 වන ජනාධිපති අපනයන සම්මාන 2024/25 උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.
2024/2025 මූල්‍ය වර්ෂයේ ශ්‍රී ලංකාවේ හොඳම අපනයනකරුවන් ඇගයීම සඳහා පැවැත් වූ මෙම උළෙලේදී සමස්ත සම්මාන 15ක් සහ නිෂ්පාදන හා සේවා ආංශික සම්මාන 92ක් ඇතුළු සම්මාන 107ක් පිරිනැමිණි. අයදුම්කරුවන්ගේ කාර්ය සාධනය සහ ජාතික ආර්ථිකයට අදාළ අංශවල අපනයන දායකත්වය මත සුදුසුකම් ලත් අංශ සඳහා කුසලතා සම්මාන පිරිනැමීම ද සිදු විය. අපනයන වෙළඳපල විවිධාංගීකරණය, රැකියා උත්පාදනය, අපනයන ආදායමෙහි වර්ධනය , අපනයන ආදායම් ආපසු රටතුලට ගෙන්වා ගැනීම, පාරිසරික තිරසාරභාවය සහ ආයතනික සමාජ වගකීම, අගය එකතු කිරීම ඇතුළු නිර්ණායක කිහිපයක් මත පදනම් ව සම්මාන පිරිනැමීම සඳහා සුදුස්සන් තෝරාගෙන තිබේ.
අපනයන ක්ෂේත්රයේ ඉහළ කාර්යය සාධනයක් පෙන්නුම් කළ ආයතන සඳහාවසරේ විශිෂ්ඨතම ජනාධිපති අපනයන සම්මාන ප්රදානය කිරීම අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහිදී සිදු කෙරිණ.
මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.
අපනයන කරුවන් සඳහා වන ජනාධිපති සම්මාන උළෙල, ප්‍රතිපත්ති හෝ පාලනය මත පමණක් නොව, නිෂ්පාදනය කිරීමට, වටිනාකමක් නිර්මාණය කිරීමට සහ ජාත්‍යන්තරව තරඟ කිරීමට ඇති හැකියාව මත ශ්‍රී ලංකාවේ ප්‍රගතිය රඳා පවතින බව සිහිපත් කරනවා.
පසුගිය වසරේ අපි අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒ හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළ, වෙළඳපොළ සැපයුම් දාම වෙනස් වුණා. ආර්ථික අවිනිශ්චිතතාව ඇති වුණා. ස්වභාවික ආපදා වලට ලක් වුණා. . ඒත් සමඟ අපනයනකරුවන් බොහෝ දෙනෙකුට වෙනස් වු තත්වයන් නුව වෙනස් වීමට, නිෂ්පාදන ක්‍රියාවලීන් නැවත සකස් කිරීමට, ගනුදෙනුකරුවන් විවිධාංගීකරණය කිරීමට සහ තරඟකාරීව වෙළඳපොළ තුළ රැඳී සිටීමට ඩිජිටල්තාක්ෂණය වෙත යොමු වෙන්න සිදු වුණා.
දිට්වා සුළි කුණාටුවේ බලපෑම නිසාත් අපනයන අංශයේ කර්මාන්ත කිහිපයකට බලපෑම් ඇති කළා. ආපදාවට පත් කලාපවල නිෂ්පාදන ස්ථාන, ගබඩා පහසුකම් සහ ප්‍රවාහන මාර්ග හානි සිදු වුණා. නිෂ්පාදන දාමයන් සහ බෙදාහැරීමේ කාලසටහන් වලට බාධා ඇති වුණා.
මෙවැනි දුෂ්කර තත්වයන් යටතේ ජාත්‍යන්තරව අපනයන අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන විට සමහර අපනයනකරුවන් සැලකිය යුතු පසුබෑමකට ලක්ව තිබෙනවා.
හදිසි ආපදාව නිසා අපනයනකරුවන්ට සිදු වූ හානිය තක්සේරු කිරීමටත්, මෙහෙයුම් යථා තත්ත්වයට පත් කිරීමටත් යළි නැගීසිටීමටත් රජය සහය ලබා දෙන්න කටයුතු කරනවා.
ස්වභාවික ආපදාවන්ට ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ යළි එවැනි තත්ත්වයන් ඇතිවීමේ අවදානම අවම වන පරිදි හානියටපත් ප්‍රදේශ නැවත ගොඩනැගීම වෙනුවෙන් රජය කටයුතු කරනවා.
මේ වනවිට ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ නව පරිවර්තනයක් සිදු වෙමින් තිබෙනවා. වසර ගණනාවක් පුරා පැවති අස්ථාවරත්වය, ප්රතිපත්තිවල නොගැලපීම සහ පරිපාලන අකාර්යක්ෂමතාවන් නිසා රට ආපස්සට ගියා. මේ නිසා ආයෝජකයින්ගේ විශ්වාසය දුර්වල වුණා වගේම ව්‍යාපාරවලට ඉදිරි සැලසුම් සකස් කිරීම දුෂ්කර වුණා.
නමුත් වත්මන් රජය ස්ථාවරත්වය, විනිවිදභාවය සහ වගකිවයුතු පාලනය මත කටයුතු කරනවා. මෙය කෙටි කාලීන ප්‍රවේශයක් නොවේ. එය රට අවිනිශ්චිත තත්ත්වයට නැවත නොවැටෙන දිගුකාලීන ක්‍රියාවලියක්
රජය ඒ වෙනුවෙන් ශක්තිමත් මූල්‍ය කළමනාකරණය, පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති, පැහැදිලි සහ සරල රෙගුලාසි, දූෂණ විරෝධී පියවර, ප්‍රධාන ආයතන හරහා සිදු කරණ නව ප්‍රතිසංස්කරණ, ව්‍යාපාරවලට ඉදිරිය සැලසුම් කළ හැකි, ආයෝජකයින්ට විශ්වාසයක් ඇතිවන සහ අනවශ්‍ය බාධා අවම වන, පෞද්ගලික අංශයේත් සංවර්ධනයට මඟ පාදන ක්‍රියාමාර්ග ගනිමින් තිබෙනවා.
ජාතික වියදම් පවත්වා ගැනීම සඳහා අපි බොහෝ කාලයක් ජාත්‍යන්තර ණය මත දැඩි විශ්වාසය තැබුවා. නමුත් ස්ථිර අනාගතයකට ඒ ක්‍රමවේදය වැරදි මාර්ගයක්.
අපගේ ප්‍රගතිය රඳා පවතින්නේ වෙළඳාම, නවෝත්පාදනය සහ ගෝලීය මැදිහත්වීම තුළින් අපට උපයා ගැනීමට ඇති හැකියාව මත යි.
ශ්‍රී ලාංකික විශේෂඥතාව සහ නිර්මාණශීලිත්වය ලෝකයට ගෙන යාමට ඔබට ඇති හැකියාව මුළු ජාතියටම ශක්තියක්. ඒ සදහා අවශ්‍ය සහය ලබා දෙන්න රජය සූදානම්.
ප්රතිපත්තිවල නොගැලපීම, මෙහෙයුම් පිරිවැය වැඩි කරන ප්‍රමාදයන්, තරඟකාරී මූල්‍යකරණයට ඇති සීමිත ප්‍රවේශය, යටිතල පහසුකම් සහ තාක්ෂණයේ අඩුපාඩු, වෙළඳ පහසුකම් සැපයීමේ අඩුපාඩු, වෙළඳපල ප්‍රවේශය පුළුල් කිරීමේ මන්දගාමී ප්‍රගතිය යන කරුණු ඔබට බලපා ඇති බව අපි දන්නවා. රජය මෙම ගැටළු සෘජුවම ආමන්ත්‍රණය කරන බව මම කියන්න කැමතියි.
කාර්යක්ෂම, විනිවිද පෙනෙන සහ පුරෝකථනය කළ හැකි පද්ධති ගොඩනැගීම සිදු කිරීමත්, වෙළඳ සැපයුම්, රේගු ක්‍රියාවලීන්, ආයෝජන අනුමත කිරීම් සහ අපනයන පහසුකම් වැඩිදියුණු කිරීම මෙන්ම, දේශිය ව්‍යාපාර සහ ගෝලීය වෙළඳපොළ අතර පරතරය අවම කිරීම සඳහා රජයේ අවධානය යොමුව ඇති බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන කුමාර ජයකොඩි, රාමලිංගම් චන්ද්‍රසේකරන්, සුනිල් කුමාර ගමගේ, නියෝජ්‍ය අමාත්‍යවරුන් වන චතුරංග අබේසිංහ, එරංග වීරරත්න, අරුණ් හේමචන්ද්‍ර, නිශාන්ත ජයවීර, මුදිත හංසක විජයමුණි, මහ බැංකු අධිපති, නන්දලාල් වීරසිංහ, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් තිලකා ජයසුන්දර, අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ යන මහත්ම මහත්මීන්, තානාපතිවරුන්, විදේශීය නියෝජිතයින්, අපනයනකරුවන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය