අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ගුරු විදුහල්පති ස්ථාන මාරු තුලනය කිරීම් කඩිනම් කරන්න. - අධ්‍යාපන උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

උතුරු මැද පලාතේ ගුරු විදුහල්පති ගැටලුව ඉදිරි මාස 3 තුළ විසඳන්න

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සිදුකිරීමේදී දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම වෙනුවෙන් ගුරු විදුහල්පති ස්ථාන මාරු නිසි පරිදි සිදු විය යුතු බවත්, පළාත් සහ මධ්‍යම රජය නිසි පරිදි සම්බන්ධිකරණය පවත්වා ගත යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

2026 සිට ක්‍රියාත්මක කිරීමට නියමිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් පළාත්, කලාප හා කොට්ඨාස මට්ටමින් අධ්‍යාපන හා පරිපාලන බලධාරීන් දැනුවත් කිරීම වෙනුවෙන් ආරම්භ කළ දැනුවත් කිරීමෙි සාකච්ඡා මාලාවේ පළමු වැඩසටහන අමතමින් අද (12) උතුරුමැද පළාත් සභාවේ දී අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය තුළින් සිදුකරන විෂය මාලා සංශෝධනය, ඇගයීම් සහ තක්සේරුකරණ ක්‍රියාවලිය, යටිතල පහසුකම් සංවර්ධනය කිරීම, ගුරු විදුහල්පති සහ අධ්‍යාපන පරිපාලන පුරප්පාඩු අවම කිරීම, පලාත් සභා සහ මධ්‍යම රජය අතර නිසි සම්බන්ධිකරණය සිදු කිරීම, පළාත් සභා මට්ටමින් පවතින ගැටලු අවබෝධ කරගනිමින් ඊට කඩිනම් විසදුම් ලබා දීම පිලිබඳව මෙහිදී සාකච්ඡා කෙරිණ.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් විය යුතුයි කියලා අපි සියලු දෙනාම පිලිගන්නවා, ඒ වෙනුවෙන් මේ ප්‍රතිසංස්කරණය සිදුකළ යුතුයි. විශේෂයෙන් දැනට ඉන්න ගුරුවරුන් පුහුණු කරන්න අවශ්‍යයි, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍යයි, පරිපාලන ව්‍යුහය ශක්තිමත් කරන්න අවශ්‍යයි, ඩිජිටල්කරණය සිදු කිරීමත් අවශ්‍ය වෙනවා.

ප්‍රධාන ම කාරණය මේ ප්‍රතිසංස්කරණය දිහා තනි තනිව බලන්න එපා, සමස්ථ ක්‍රියාවලියේ ම, පද්ධතියේ ම ප්‍රතිසංස්කරණයක් මේ සිදු කරන්නේ. මේ රට හැමදාම දියුණු වෙමින් තියන රටක් කියලා විතරක් මදි, ඒ ක්‍රමය වෙනස් කරන්න ඕන. ඒක කරන්න වෙන්නේ අපිටම තමයි. මොකක් හෝ හේතුවකට මේ තත්වය වෙනස් කරන්න අපිට සිද්ධවෙලා තිබෙනවා. ඒ වෙනුවෙන් ගුරුවරුන් විතරක් නෙමෙයි පරිපාලන ⁣ක්ෂේත්‍රය, දෙමාපියන් ඇතුළු සියලු දෙනා මැදිහත් වෙන්න අවශ්‍යයි. මේ ප්‍රතිසංස්කරණය ගැන නිවැරදිව දැනුවත් වෙන්න අවශ්‍යයි.

දරුවන් පාසලෙන් එළියට එනවිට විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපන හෝ වෘත්තීය අධ්‍යාපනය තුළින් ඉදිරියට යන්න මාර්ගයක් නිර්මාණය කිරීමයි මේ සිදු කරන්නේ. රට ඉදිරියට ගන්න නම් අධ්‍යාපන පරිවර්තනය අනිවාර්යයෙන් සිදු කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ ක්‍රියාවලියේදී රාජ්‍ය සේවයට අදාල ස්ථාන මාරු නිසි පරිදි සිදු කරන්න වෙනවා. ගුරු විදුහල්පතිවරුන් ස්ථාන මරු කිරීම් නිසි පරිදි තුලනය කරන්න වෙනවා.

පළාත් වශයෙන් ගුරු විදුහල්පති ගැටලු විසදන්න අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග පළාත් සභාව හරහා සිදු කරන්න. ඒ වෙනුවෙන් අමාත්‍යංශය හරහා සිදුවිය යුතු චක්‍රලේඛ හා නීතිමය සංශෝධන සිදු කරන්න අපි සූදානම්. ජාතික පාසල්, පළාත් පාසල් කියලා බෙදන්න යන්න එපා. සියලු පාසල් අපේ, අපේ දරුවන් ඉන්නේ.

දැනට පාසල් තුළ සිටින දරුවන්ට අපි වග කියන්න ඕනේ, ඒ වෙනුවෙන් පාසල් වල තත්වය නිවැරදි කරගන්නයි අපිට අවශ්‍යය. ගැටලු විසඳන්න අපි එකඟතාවකට ඇවිල්ලා වැඩ කරමු.

ආණ්ඩුවක් ලෙස අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා අපි විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සඳහන් කළා අධ්‍යාපනය වෙනුවෙන් මානව සම්පත දියුණු කරන්න, යටිතල පහසුකම් සංවර්ධනය කරන්න අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබා දෙන්නම් කියලා.

අපිට තියෙන්නේ මේ ගැටලු ටික විසඳගෙන නව අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීමයි. පළමු වසර අපිට දුෂ්කර වෙයි නමුත් වසර තුන හතරක් යන විට පහසුවෙන් සිදු කරන්න පුලුවන් වෙයි.

අපිට මේ සාකච්ඡා වැදගත් වෙන්නේ පළාත් මට්ටමෙන් මේ ක්‍රියාවලිය සිදු කිරීමේදී පවතින ගැටලු නිරාකරණය කරගන්නයි. අපේ දරුවන් වෙනුවෙන් මේ පරිවර්තනයට ඔබේ සහය ලබා දෙන්න.

විශේෂයෙන් උතුරු මැද පලාතේ තියන ගුරු විදුහල්පති ගැටලුව ඉදිරි මාස තුන තුළ විසඳන්න කටයුතු කරන ලෙසද අග්‍රාමාත්‍යතුමිය නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

වෙළඳ, වාණිජ හා පාරිභෝගික සේවා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා,

උතුරු මැද පළාතේ අධ්‍යාපන ගැටලු රාශියක් තිබෙනවා. විශේෂයෙන් මෙතෙක් කලක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු නිසි පරිදි පත්කර පත්වීම් ලබා දීලා නැහැ. විදුහල්පතිවරු නිසිපරිදි පත්කරලා නැහැ. ඒ සියල්ල විසදන්න අවශ්‍යයි. අධ්‍යාපන අමාත්‍යංශය අවශ්‍ය කටයුතු සිදු කරනවා වගේම පළාත් මට්ටමින් අධ්‍යාපනයේ තිබෙන ගැටලු නිරාකරණය කරන්න කටයුතු කරන්න. උතුරු මැද පළාතේ සමහර විදුහල්වල විදුහල්පතිවරු නැහැ කියනවා. නමුත් අතිරික්ත ශ්‍රේණිධාරී විදුහල්පතිවරු 46ක් සිටිනවා. ළමයි 16කට එක් ගුරුවරුවරයෙක් ඉන්නවා නමුත් පාසල්වලින් කියනවා ගුරුවරු නැහැ කියලා මේ තත්වය කඩිනමින් වෙනස් විය යුතුයි. නිවැරදිව ස්ථානමාරුවීම් සිදු කරලා. සම්මුඛ පරීක්ෂණයක් කරලා විධිමත් ලෙස පත්වීම් නොලැබූ නිලධාරීන්ට නිසි පරිදි පත්වීම් ලබා දෙන්න කටයුතු කරන ලෙසද වෙළඳ, වාණිජ හා පාරිභෝගික සේවා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී භාග්‍ය ශ්‍රි හේරත්, නිමල් පලිහේන, උතුරුමැද පළාත් ආණ්ඩුකාර වසන්ත ජිනදාස, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම් ජේ.එම්.ආර්.පී. ජයසිංහ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ එම්.එම්. ඩබ්. සමරකෝන් යන මහත්වරුන්, අධ්‍යාපන අමාත්‍යංශය, විභාග දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ජාතික අධ්‍යාපන ආයතනය, උතුරුමැද පළාත් සභාව, පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ශ්‍රී සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරේ.

ශ්‍රි සෝභිත නාහිමිගම නිවාස ව්‍යාපෘතිය ප්‍රතිලාභී අයිතියට පැවරීම ජුලි 12 දින අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව, ඇල්පත්ගම දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.

මෙහිදී නිවාස ව්‍යාපෘතියට අදාල නිවාස 115ක් ජනතාවට ප්‍රදානය කිරීම සිදු කල අතර මෙම ව්‍යාපෘතිය අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි ගුණානුස්මරණ පදනම, වත්මන් රජයේ මැදිහත් වීමෙන් සහ ඉන්දියානු රජයේ ආධාර ඇතිව සිදු කර ඇත.

එහිදී සමරු ඵලකය විවෘත කල අග්‍රාමාත්‍යතුමිය නිවාසලාභීන් තිදෙනෙකු සදහා සංකේතාත්මකව නිවාසවල යතුරු භාර දෙන ලදී. එමෙන්ම අග්‍රාමාත්‍යතුමිය අතින් විහාර භූමිය තුළ පැලයක්ද රෝපණය කළාය.

මෙහිදී උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යවරිය,

"පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් ජීවත්ව සිටින කාලයේ මෙම ගම්මානය වෙනුවෙන් විශේෂ කැපකිරීමක් සිදුකළා. උන්වහන්සේගේ අපවත් වීමෙන් පසුව පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමි අනුස්මරණ පදනම ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ රජයන් සමග සාකච්ඡා කරල මේ ගම්මානයේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කරන්න ගත්ත උත්සාහය අපි අගය කරනවා.

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත ස්වාමීන් වහන්සේව මට කුඩා කාලයේ ඉඳන්ම සමීපව ඇසුරු කරන්න අවස්ථාවක් ලැබුණා. මම බුද්ධ ධර්මය ගැන ඉගෙන ගත්තේ අපේ සෝභිත හාමුදුරුවන්ගෙන්. අසාධාරණයට, අයුක්තියට එරෙහිව නැගී සිටින්න ඕනේ සටන් කරන්න ඕනි කියලා මම ඉගෙන ගත්තේ උන්වහන්සේගෙන්.

භෞතිකව ආර්ථිකය, දියුණු කරනවා වගේම දරුවන්ගේ අනාගතය හදන වැඩ පිළිවෙලක අපි මේ වන විට නිරත වෙලා ඉන්නවා. ඒ අනුව අපි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ඔවුන්ව මේ රටේ ඊළඟ නායකත්වයට සුදුසු විදිහට විශිෂ්ට අධ්‍යාපනයක් ලබා දෙනවා." යැයි අග්‍රාමාත්‍යවරියය පැවසීය.

ශ්‍රි සෝභිත විහාරාධිපති ඇලපත්ගම රේවත හිමි,  

"එදා සෝභිත හාමුදුරුවෝ තමාගේ විහාරයට ලැබුන සීනි,තේ කොළ පැකට් එක ගෙනත් දීලා තමා මේ ගම් පෝෂණය කරේ. උන්වහන්සේ ඒ තරම්ම ආදර්ශමත් හිමිනමක්.

2017 වර්ෂයේ මේ ව්‍යාපෘතිය ආරම්භ කරන විට මේ ගමට දේශපාලනඥයෝ ආවා. ඔවුන්ට ඕනෙ විදිහට වැඩ කරන්න ලැබුණේ නැති නිසා ඔවුන් මේ ව්‍යාපෘතිය නොසලකා හැරියා. ඔවුන්ට අවශ්‍ය විදිහට ගස් කපන්න, සත්තු මරන්න වැලි ගොඩ දාන්න, වංචා දූෂණ සිදු කරන්න අපි ඉඩ දුන්නේ නෑ.

2017 මම ගියා එක්තරා ඇමතිවරයෙක් හමුවෙන්න, අපේ මේ ගමට එන බස් රථයට කාලසටහනක් දීලා ඒ අනුව බස් රථය ධාවනය කරන්න කියලා ඉල්ලීමක් කරන්න. නමුත් ඒ අවස්ථාවේදී මගේ ලිපිය මගේ මූණට දමල ගැහුවා. එහෙමයි පහුගිය ආණ්ඩු වලින් මේ දුප්පත් මිනිස්සුන්ට සැලකුවේ.

මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා 2025 වසරේ මැයි මාසෙ වෙනකොට මට මේ ව්‍යාපෘතිය අවසන් කරල දෙන්න කියලා. කිව්වා වගේම එතුමා ඒක කරලා අග්‍රාමාත්‍යතුමියට භාර දුන්නා ඉදිරි වැඩ කටයුතු කරගෙන යන්න කියලා. අපේ නිවාස ඇමතිතුමා අනුර කරුණාතිලක මැතිතුමා මේ ගමේ හැම ගෙදරක් ගෙදරක් ගානෙ ගිහිං බැලුවා. සියලු නිලධාරීන්ට දැනුම් දුන්නා හාමුදුරුවෝ ඉල්ලන දවසටම මේ ව්‍යාපෘතිය නිම කරලා දෙන්න කියලා. ඒ වගේ පවතින රජය අපිට විශාල සහයෝගයක් ලබා දුන්න මේ කටයුත්ත සාර්ථකව සිදු කරන්න."

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා හා සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් දැක්වූ අදහස්,

"මගහැරලා, අත්හැරලා තිබූ මෙවැනි ගම්මාන වලට රෝහල, වැව, අධ්‍යාපනය කියන්නේ විශේෂයෙන්ම ලබා දියයුතු දේවල්. ඒවා ලබා දීම අපේ රජයේ වගකීමක්.

නිෂ්පාදන සමුපකාර ක්‍රමවේදය යටතේ ගම්වල සිදු කරන නිෂ්පාදන වෙළඳ පොළට රැගෙන යාමේ වැඩපිළිවෙළක් අපට තියෙනවා."

නාගරික සංවර්ධන,ඉදිකිරීම් හා නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා උත්සවයට සහභාගී වෙමින් දැක්වූ අදහස්,

"ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති යටතේ සුවපහසු සහ සෞඛ්‍යමත් නිවසක් සියලු දෙනාටම ලබා දීමට අපි කටයුතු කරමින් ඉන්නවා. මේ වසරේ නව නිවාස ඉදිකිරීමට අපි විශාල මුදලක් වැය කරනවා.

අපි මේ ගම්මානය නිරීක්ෂණය කරන්න පැමිණි වෙලාවේ අපි දැක්ක ජනතාව විඳින දුක. ඔවුන්ගේ ජීවිත සමෘද්ධිමත් කිරීමට අපේ රජය කැපවී කටයුතු කරනවා."

ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙම අවස්ථාවට සහභාගී වෙමින් දැක්වූ අදහස්,

"සැවොම එක්ව එකට ගොඩනැගෙමු යන තේමා පාඨය ඔස්සේ ඉන්දියාව ගොඩනැගෙමින් පවතින මොහොතක පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන පරිවර්තනීය මාවතකට ලංකාවත් අවතීර්ණ වෙලා තියෙනවා.එය දෙරටේ සහෝදරත්වය පිළිබිඹු කරන හොඳම නිදසුනක්.

බුදු දහමෙන් අප ලද පන්නරය දෙරටේ බැඳීම ශක්තිමත් කිරීමට ඉවහල් වෙනවා මෙන්ම ආර්ථික සහනයක් ලබාදීම සඳහා මෙම ඉන්දියානු සහ ශ්‍රී ලංකා රජය එක්ව සිදුකළ ව්‍යාපෘතිය බුදු දහමේ එන කරුණා ගුණය පිළිබිඹු කරනවා."

මෙම අවස්ථාවට තන්තිරිමලේ රජමහා විහාරාධිපති පූජ්‍ය තන්තිරිමලේ චන්ද්‍රරතන ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වැඩම කර සිටියහ.

නිවාස සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී.සරත්,හිටපු කතානායක කරු ජයසූරිය අනුරාධපුර දිස්ත්‍රික් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සේන නානායක්කාර , මාදුළුවාවේ සෝභිත හිමි පදනමේ සභාපති රවී ජයවර්ධන මහත්වරුන්, නිවාස ලාභීන් හා ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගේට්ස් පදනම හා අගමැතිනිය අතර හමුවක්

ඇමරිකානු ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ඇතුළු සාමාජිකයන් පිරිසක් සහ අග්‍රාමාත්‍යවරිය අතර විශේෂ හමුවක් ජුලි 11 වැනි දා පාර්ලිමේන්තුවේ දී පැවැතිවිණි.

මෙම හමුවේදී ගේට්ස් පදනමේ ගෝලීය සංවර්ධන සභාපති ආචාර්ය  ක්‍රිස් එලායස් මහතා සිය පළමු ශ්‍රී ලංකා සංචාරය මෙය  බවත්, මෙම විශේෂ හමුව සඳහා  පාර්ලිමේන්තුව වෙත ආරාධනා  කිරීම පිළිබඳව තමන් සතුටට පත් වන බවත් කීවේය. 

එමෙන්ම ශ්‍රී ලංකාව සමඟ සහයෝගීව කටයුතු කිරීමට ගේට්ස් පදනම ඉතා කැමැත්තෙන් පසුවන බව පැවසූ ආචාර්ය ක්‍රිස් එලායස්, මෙරට දරුවන්ගේ සහ කාන්තාවන්ගේ පෝෂණ අවශ්‍යතා ඉහළ නැංවීම, කෘෂිකර්මාන්තය නගා සිටුවීමට නව ඩිජිටල් මෙවලම් භාවිතය ආදිය සම්බන්ධයෙන් ගේට්ස් පදනමේ සහයෝගය ලබා දීමේ  හැකියාව පිළිබඳව ද කරුණු අනාවරණය කළේය. 

එහි දී අග්‍රාමාත්‍යවරිය ගේට්ස් පදනම විසින් ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවල පෝෂණ අවශ්‍යතා වැඩිදියුණු කිරීම වෙනුවෙනුත්, මාතෘ හා ළමා පෝෂණය ප්‍රවර්ධනය කරමින්  මන්දපෝෂණයෙන් පෙළෙන ජනතාව ඉන් මුදවාගැනීම වෙනුවෙනුත් සුවිශේෂී අවධානයක් යොමු කරමින් සිදුකරන මෙහෙය  විශේෂ ඇගයීමට ලක් කළ අතර, ආසියාතික රටවල ඩිජිටල් තාක්ෂණික සංවර්ධනය උදෙසා ද පදනම මඟින් ලබා දෙන සහයෝගය පිළිබඳව ද සාකච්ඡා කළේ ය.

එමෙන්ම මෙරට පාසල් පද්ධතිය තුළ දරුවන්ගේ පෝෂණ අවශ්‍යතා පූරණය වෙනුවෙන් පාසල් තුළ දරුවන්ට දිවා ආහාරය ලබා දීමේ ක්‍රියාවලිය ඇතුළු රජය විසින් ගෙන යන වැඩසටහන් පිළිබඳව ගේට්ස් පදනම දැනුම්වත් කළ අග්‍රාමාත්‍යවරිය, මෙරට දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සපුරාලීම වෙනුවෙන් ගේට්ස් පදනම වෙතින්  ලබා දිය හැකි උපරිම සහයෝගය බලාපොරොත්තු වන බව ද ප්‍රකශ කළා ය. 

අධ්‍යාපනයේ නව ඩිජිටල් පරිවර්තනයක් වෙනුවෙන් ඉගැන්වීම, ඉගෙනීම, තක්සේරු කිරීම සහ අධ්‍යාපන පරිපාලනය සඳහා ඩිජිටල් තාක්ෂණය ඒකාබද්ධ කිරීම වෙනුවෙන් සහ මෙරට අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීමේ ක්‍රමෝපාංග සම්බන්ධයෙන් කටයුතු කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් ගොඩනගා ඇති ඩිජිටල් අධ්‍යාපන  කාර්යසාධක බළකායේ ක්‍රියාකාරිත්වය  පිළිබඳව අග්‍රාමාත්‍යවරිය විසින් ගේට්ස් පදනමේ සමාජිකයන් දැනුම්වත් කරනු ලැබීය.

එමෙන්ම  ඩිජිටල් අධ්‍යාපන කාර්යසාධක බළකාය වෙනුවෙන් මෙන්ම 2026 වසරේ සිට ඇරැඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන්  ද ගේට්ස් පදනමේ දායකත්වය සහ සහයෝගය ලබා දීමේ වැදගත්ගම ද අග්‍රාමාත්‍යවරිය විසින්  මෙහිදී පෙන්වා දෙනු ලදී. 

එහි දී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ කාර්යසාධක බළකාය වෙනුවෙන් සහයෝගය  ලබා ගත හැකි පාර්ශ්වකරුවන්ගේ දායකත්වය ලබා දීමට ගේට්ස් පදනමේ සාමාජිකයන් විසින් අග්‍රාමාත්‍යවරිය වෙත පොරොන්දු විය.

මෙම විශේෂ හමුවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් ද ගේට්ස් පදනමේ ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා පිළිබඳ කලාපීය නියෝජිත ආචාර්ය ජමාල් ඛාන් , ගේට්ස් පදනමේ අධ්‍යක්ෂ සහ වැඩසටහන් උපදේශක අර්චනා ව්‍යාස් ඇතුළු ගේට්ස් පදනමේ සාමාජික මහත්ම මහත්මීන් ද සම්බන්ධ වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

යෝජිත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ අගමැතිනිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කරයි...

2026 වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත, නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ පළමු වැඩසටහන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් ජුලි 11 වෙනිදා පාර්ලිමේන්තුවේ දී පැවැත්විණි.

මෙහිදී නව ප්‍රතිසංස්කරණ ගෙන ඒමේ ඉලක්ක සහ අරමුණු, ප්‍රතිසංස්කරණ සඳහා වූ මාර්ගෝපදේශන මූලධර්ම, නව ප්‍රතිසංස්කරණවලට අනුව අධ්‍යාපනයේ ප්‍රධාන කුලුනු , විෂය මාලා ප්‍රතිසංස්කරණය, ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන සහ ගුරු පුහුණුව යන මූලික කාරණා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කරන ලදී.

අධ්‍යාපන අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසම මගින් මෙම නව අධ්‍යපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වන ආකාරය සහ අධීක්ෂණය වන ආකාරය සම්බන්ධව මෙහිදී පැහැදිලි කිරීම් සිදු කරන ලදී.

එමෙන්ම 21 වන සියවසේ සහ ඉන් ඔබ්බට ඇතිවිය හැකි අභියෝගවලට මුහුණදීමට සමත් පුරවැසියෙකු නිර්මාණය කිරීම වෙනුවෙන් මූලික අඩිතාලම දැමීම සහ එම නව පුරවැසියා රටේ තිරසර ජාතික සංවර්ධනය සහ සාමය පිළිබඳ ක්‍රියාවලියට දායක කර ගැනීම මෙම නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයන්හි ප්‍රධාන අරමුණ ලෙස සාකච්ඡා කරන ලදී.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මූලිකව පැහැදිලි කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් එම ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔවුන්ගේ අදහස් සහ නව යෝජනා ඉදිරිපත් කරන ලදී. එහිදී විශේෂ අවශ්‍යතා සහ ආබාධ සහිත දරුවන් වෙත මෙම අධ්‍යාපන පරිවර්තනය ඇති කිරීමේ වැදගත්කම සහ අවශ්‍යතාවයන් පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කෙරිණි.

මෙම සාකච්ඡාවට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව, ජාතික අධ්‍යාපන කොමිසමේ උප සභාපති තිලක් ධර්මරත්න යන මහත්වරුන් ඇතුළුව අධ්‍යාපන අමාත්‍යශය, ජාතික අධ්‍යාපන ආයතනය සහ ජාතික අධ්‍යාපන කොමිසමේ නිලධාරීන් සම්බන්ධ වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

නව යොවුන් දැරියන් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත්, විසඳිය නොහැක්කක් නොවේ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

දකුණු ආසියාවේ තරුණ කාන්තාවන් සහ ළමුන්ගේ රක්තහීනතාවය අවම කිරීම සඳහා වන ජාත්‍යන්තර සමුළුවක් "පෝෂණීය දකුණු ආසියාව" යන මැයෙන් ජූලි 9 දින සිට 11 දින දක්වා කොළඹ සිනමන් ලේක්සයිඩ් හි පැවැත්වෙන අතර, ජූලි 9 වැනිදා එහි සමාරම්භක දිනයේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහභාගීවූවාය.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,

කළාපීය වශයෙන් අතිශය වැදගත් මෙවැනි සමුළුවකට මට ආරාධනා කිරීම ගැන පළමුකොට මෙහි සංවිධායක මණ්ඩලයට මාගේ ස්තූතිය පුදකරන්න කැමැතියි. මේ සමුළුවේ අපගේ අරමුණ “කිසිදු නව යොවුන් දැරියක් හෝ කාන්තාවක, වළක්වා ගත හැකි රක්තහීනතාවයෙන් පෙළෙන්නේ නැති දකුණු ආසියාවක් නිර්මාණය කර ගැනීම සහ ඒ වෙනුවෙන් කැපවීම” යි. මෙම අරමුණ ඉටුකර ගන්න නම්, සෑම දැරියකටම පෝෂ්‍යදායී ආහාර, සෞඛ්‍ය අධ්‍යාපනය සහ ගුණාත්මක රැකවරණයකට අවස්ථාව සලසා දියයුතු වෙනවා. ඒ වගේම, කාන්තාවන්ට ඔවුන්ගේ පූර්ණ විභවය අවබෝධ කර ගැනීමට හැකිවෙන, ඒ සඳහා ඔවුන්ට දිරි දෙන පරිසරයක් නිර්මාණය කළ යුතු වෙනවා.

ඒ අරමුණ රජයකට පමණක් තනිවම ඉටුකරගන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසාම තමයි අපගේ ඉහත අරමුණට ආශීර්වාද කරන, ශක්තියක් වන, සමාජයේ සෑම අංශයකින්ම අලුත් කැපවීමක් සහ ප්‍රායෝගික ක්‍රියාවක් සඳහා සූදානම් සන්ධිස්ථානයක් හැටියට මෙම සමුළුව නිර්මාණය වී තිබෙන්නේ.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරිය,

නව යොවුන් දැරියන් සහ කාන්තාවන් අතර දක්නට ලැබෙන රක්තහීනතා ගැටලුව විසඳීමට දුෂ්කර නමුත් විසඳිය නොහැකි දෙයක් නොවේ. අලුත් කැපවීමකින්, කලාපීය සහයෝගීතාවයකින් සහ සාමූහික ක්‍රියාවකින්, අපට දකුණු ආසියාවේ අනාගත පරම්පරාවන් පෝෂණය කළ හැකි වන අතර ම, මන්දපෝෂණ චක්‍රය බිඳ දමා සෞඛ්‍ය සම්පන්න, වඩාත් සාධාරණ සමාජයක් ගොඩනැගිය හැකිය යන්න මගෙත්, අපගේ රජයෙත් අපේක්ෂාව සහ විශ්වාසයයි. ඒ වෙනුවෙන් රජයක් හැටිය අපි උපරිමයෙන් කැපවෙන්න අදිටන් කරගෙන සිටින බව මම මෙහිදී මතක් කරන්න කැමැතියි. අපගේ පාසල් දරුවන් ඉලක්ක කරගත් පෝෂණ වැඩ සටහනෙත් එක් අපේක්ෂාවක් වෙන්නෙ ඒ දරුවන්ට නිසි පෝෂණය ලබා දීමෙන් ඔවුන් පෝෂණ ඌණතාවයට ගොදුරුවීම වළක්වා ගැනීමයි.

මෙම සමුළුවෙන් මතුවන හරවත් සාකච්ඡා, වටිනා අදහස් හුවමාරුකරගැනීම් වගේම ප්‍රායෝගික කැපවීම් දෙස මම දැඩි වුවමනාවකින් සහ අපේක්ෂා සහගතව බලා සිටින බවත් කියන්න කැමැතියි.

කළාපයක් වශයෙන් එක්ව, මෙහි කාන්තාවන්ගෙන් සහ ගැහැණු ළමුන් අතර පවතින රක්තහීනතාවය අඩු කිරීමට සහ තුරන් කිරීමට කලාපීය ප්‍රමුඛතාවය සහ ඒ සඳහා වන මේ හවුල්කාරිත්වය සාර්ථක කරගන්න කැපවෙන බවට අපි ප්‍රතිඥා දෙමු. එක්සත්ව, අපගේ කාන්තාවන් සහ ගැහැණු දරුවන් හැකි අයුරින් පෝෂණය කරමින් එතනින් ඇතිකරගන්නා ආරම්භයෙන් මුළු දකුණු ආසියාව පෝෂණය කරමු යැයි මේ සමුළුවට යෝජනා කරන්න කැමැතියි.

අතිශය වැදගත් මෙම සමුළුව පැවැත්වෙන අපගේ සුන්දර දිවයිනේ උණුසුම් ආගන්තුක සත්කාරය සහ අද්විතීය චමත්කාරය අත් විඳිමින්ම, ඔබට වෘත්තීය වශයෙන් තෘප්තිමත් සහ පෞද්ගලිකව අමතක නොවන සුන්දර කාලයක් බවට ඔබ මෙහි රැඳී සටින කාලය පත්වේවායි, ප්‍රාර්ථනා කරන්නත් මෙය අවස්ථාවක් කරගන්න කැමැතියි, යනුවෙන් අග්‍රාමාත්‍යතුමිය ප්‍රකාශ කළාය.

මෙම සමුළුවට සහභාගී වූ අග්‍රමාත්‍යතුමිය සංවිධායක මඬුල්ල වෙනුවෙන් Rini Simon Khanna විසින් පිළිගත් අතර, Md. Golam Sarwar (සාර්ක් සංවිධානය), Sanjay Wijesekera (යුනිසෙෆ් සංවිධානය) ඇතුළු කලාපීය ආරාධිතයන්, ක්‍රියාකාරී සාමජිකයින් ද එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සියලුම පුරවැසියන්ට තම මව් භාෂාවෙන් සේවා ලබා ගැනීමට අවස්ථාව තිබිය යුතුයි... - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

භාෂාව බෙදුම් රේඛාවක් ඇතිකරන මාධ්‍යක් වෙනුවට, විවිධත්වයෙන් යුතු සියලුදෙනා එකතුකරන පොදු අවකාශයක් ගොඩනගන මාධ්‍යක් කරගන්නට අපි සියලුදෙනා උත්සාහ කරමු...

" පොහොසත් රටක් ලස්සන ජීවිතයක් " ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව සියලු පුරවැසියන්ට අවශ්‍ය සේවාවන් තම තමන්ගේ මව් භාෂාවන්ගෙන් සහ සංඥා භාෂාවෙන් ලබා ගැනීමට හැකි වන පරිදි රටේ ජාතික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

ජූලි 07 වෙනි දා ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ, "පුනරුදයේ පෙරමග" රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උළෙල හා එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා ය.

" බස වඩමු - හද දිනමු " යන තේමාව මුල් කරගනිමින් ජුලි 01 වැනි දා යෙදී තිබූ රාජ්‍ය භාෂා දිනයේ සිට දින හතක් තිස්සේ රාජ්‍ය භාෂා සතිය ක්‍රියාත්මක වූ අතර, එහි සමාප්ති උළෙල අග්‍රාමාත්‍යවරියගේ සහ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර අමාත්‍යවරයාගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අග්‍රාමාත්‍යතුමිය,

රාජ්‍ය භාෂා සතිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්ති පිළිබඳව අවධානය යොමුකරන හා එය පිළිගැනීමට ලක්කරන සතියක් පමණක් නොවෙයි, මෙය භාෂාවක අනන්‍යතාවය, ගෞරවය සහ සියලු ජනතාව එකට එක්කරන සාමකාමී සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් භාෂාවට ඉටු කළ හැකි තීරණාත්මක කාර්යභාරය වෙත අවධානය යොමු වුණ සතියක්.

උසාවිය, පොලීසිය, අධ්‍යාපන, රාජ්‍ය ආයතන සහ රාජ්‍ය පරිපාලන ආදී අත්‍යවශ්‍ය ස්ථානවල තමන්ගේ භාෂාවෙන් කටයුතු කරගැනීමට අවස්ථාව නැති බව යම් ජනවාර්ගයකට හැඟෙනවා නම්, එය හුදෙක් සේවා සැපයීම පළිබඳ ප්‍රශ්නයක්ම නොවෙයි. එවැනි අවස්ථාවල ඒ ජනතාවට තමන් මේ රටට අයත් නොවන, පිටස්තරයින් ය යන හැඟීම නිතැතින්ම ඇතිවෙන්න පුළුවන්. එ නිසාම භාෂා භාවිතයේ දී සියලු ජන කොටස් වෙත සමාන අයිතියක් සහ ගරුත්වයක් හිමිවීම තහවුරු කළ යුතුයි.

මේ නිසා, සිංහල සහ දෙමළ සිසුන්ට එකිනෙකාගේ භාෂාවන් ඉගෙන ගතහැකි පාසලක්, රෝගියකුට තමන්ගේ රෝග ලක්ෂණ තමන්ට වඩාත්ම දැනෙන හැඟෙන භාෂාවෙන් විස්තර කළ හැකි සහ ගෞරවයෙන් සැලකූම් ලැබිය හැකි රෝහලක්, පුරවැසියාට වැටහනෙ භාෂාවෙන් යුක්තිය පසිඳලන අධිකරණ පද්ධතියක් ඇති කළ යුතු වෙනවා.

මේවා සුපිරි පහසුකම් නොවෙයි, සංහිඳියාවෙන් යුතු සමාජයක ප්‍රායෝගිකව තිබිය යුතු සාමාන්‍ය තත්ත්වයන්.

2026 වසරේ සිට ඇරැඹෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ මෙරට සෑම භාෂාවකම වැදගත්කම දරුවන්ට වඩාත් දැනෙන විදිහට වගේම, භාෂාව හුදෙක් විෂයකට එහා ගිය වැදගත්කමකින් ඉගැන්වීමේ ක්‍රමවේද ඇතුළත් කරලා තියෙන්නෙ ඒ නිසාමයි. යැයි ද අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළා ය.

මෙහි දී අදහස් ප්‍රකාශ කළ අධිකරණ සහ ජාතික ඒකබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර,

අපට බෙදාගන්න එක හා සමාන අතීතයක් නොතිබුණත්, අපට එකතුවෙලා හැඩගස්වාගන්න අනාගතයක් තියෙනවා. මේ රාජ්‍ය භාෂා දිනයේ දී සියලුදෙනාටම එකඟ විය හැකි අව්‍යාජ සංහිඳියාවක් සහ සජීවී ඒකබද්ධතාවයක් පවතින ශ්‍රී ලංකාවක් ගොඩනැගීමට අපි කැපවෙමු. යැයි පැවසීය.

රාජ්‍ය භාෂා සතියේ සමාප්ති උළෙලේ දී රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මගින් පාසල් මට්ටමින් පැවැත්වූ ආදර්ශ පාඨ නිර්මාණ තරගාවලියේ ජයග්‍රාහකයින්ටත්, රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව මගින් පැවැත් වූ රාජ්‍ය භාෂා ඇගයීම් පරීක්ෂණය සමත්වූවන්ටත් ත්‍යාග හා සහතිකපත් ප්‍රදානය අග්‍රාමාත්‍යවරිය අතින් සිදුවිය.

මෙම සමාප්ති උළෙලට ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහකොමසාරිස්තුමා, බංගලාදේශ මහකොමසාරිස්තුමා, ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර්, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතිඥ අයේශා ජිනසේන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය සහ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්, පාසල් දුවාදරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය