අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

​2026-2030 මිනිස් ජාවාරම මැඩලීමේ සහ වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම එළිදක්වයි.

​2026-2030 කාලසීමාව සඳහා වන මිනිස් ජාවාරම නිරීක්ෂණය කිරීම සහ වැළැක්වීමේ ජාතික උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම නිල වශයෙන් දියත් කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ජනවාරි 28) කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී සහභාගී වූවාය.

මෙම උත්සවය ආරක්ෂක අමාත්‍යාංශය, ජාතික මිනිස් ජාවාරම් විරෝධී කාර්ය සාධක බලකාය (NAHTTF) සහ සංක්‍රමණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (IOM) ඒකාබද්ධව සංවිධානය කර තිබිණි.

​ආරක්ෂක අමාත්‍යාංශයේ නායකත්වය සහ IOM හි තාක්ෂණික සහාය ඇතිව සකස් කරන ලද මෙම පස් අවුරුදු සැලැස්මෙහි ප්‍රධාන අරමුණ වන්නේ, ​මිනිස් ජාවාරම වැළැක්වීම, වින්දිතයන් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට සහාය වීම, ​නීතිය ක්‍රියාත්මක කිරීම සහ වගවීම සහතික කිරීම සඳහා ඒකාබද්ධ ජාතික රාමුවක් ස්ථාපිත කිරීමයි.

​මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, මිනිස් ජාවාරම මැඩලීමේ ජාතික ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට රජය උපරිමයෙන් කැපවී සිටින බව අවධාරණය කළාය.

ජාත්‍යන්තරව පිළිගත් වැළැක්වීම (Prevention), ආරක්ෂාව (Protection), නඩු පැවරීම (Prosecution) සහ හවුල්කාරිත්වය (Partnership) යන ප්‍රධාන කුළුණු හතර පදනම් කරගනිමින් මෙම සැලැස්ම සකස් කර තිබීම කාලෝචිත බව ද සඳහන් කළාය.

​අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළාය:

​"ශ්‍රී ලංකාවේ මිනිස් ජාවාරම්වලින් දිවි ගලවා ගත් අයගේ ආරක්ෂාව මෙන්ම ඔවුන්ගේ දිගුකාලීන යහපත සැලසෙන පරිපූර්ණ, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට සංවේදී ප්‍රවේශයක් අවශ්‍යයි. මීට සුරක්ෂිත නවාතැන්, වෛද්‍ය සහ මනෝවිද්‍යාත්මක සහාය පමණක් නොව, විශේෂයෙන් ප්‍රචණ්ඩත්වයට මුහුණ දුන් කාන්තාවන් සහ ගැහැණු ළමයින් වෙනුවෙන් නීති සහාය, ආර්ථික බලගැන්වීම සහ කුසලතා සංවර්ධනය ද ඇතුළත් විය යුතුයි."

​මිනිස් ජාවාරම යනු හුදු අපරාධයකට වඩා බහු-ආංශික මැදිහත්වීමක් අවශ්‍ය වන ව්‍යුහාත්මක හා සමාජීය අභියෝගයක් බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, සියලුම රජයේ ආයතන සිය දෛනික කටයුතුවලදී ජාවාරම් විරෝධී ප්‍රමුඛතා ඇතුළත් කරගනිමින් වෘත්තීය වගවීම සහතික කළ යුතු බව ද පැවසුවාය.

​මෙම අවස්ථාවට නීතිපති පාරින්ද රණසිංහ මහතා, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් සහ NAHTTF සභාපති එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ IOM ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ (Kristin Parco) මහත්මිය ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්, එක්සත් ජාතීන්ගේ ආයතන, සිවිල් සංවිධාන සහ රජයේ ආයතන 23ක් නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

​ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ පුරුදුවල කොටසක් විය යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුරුදු පාසල් විෂය නිර්දේශයට පමණක් සීමා නොවී, එය දරුවාගේ ආකල්ප සහ චර්යාවන්හි කොටසක් බවට පත්විය යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළාය.

​අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ අද (28) කොළඹ ගාලු මුවදොර හෝටලයේදී පැවති "ආහාර අංශයේ චක්‍රීය ආර්ථික ව්‍යාපෘතිය (2024-2027)" යටතේ, දේශීය චක්‍රීය ආර්ථිකයක් ගොඩනැගීම සහ ශක්තිමත් කිරීම සඳහා වන අධ්‍යාපනය පිළිබඳ ජාතික වැඩමුළුව අමතමිනි.

​යුරෝපීය සංගමයේ (European Union) මූල්‍ය දායකත්වයෙන්, එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ Global Gateway වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන මෙම වැඩමුළුවේ ප්‍රධාන අරමුණු වූයේ, ​පාසල් අධ්‍යාපනයට චක්‍රීය ආර්ථික සංකල්ප ඇතුළත් කිරීමේ අභියෝග සහ අවස්ථා හඳුනා ගැනීම, ​ප්‍රතිපත්ති සම්පාදකයින්, යෞවන හා නිපුණතා සංවර්ධන අංශ සහ විධිමත් අධ්‍යාපන පාර්ශවකරුවන් හරහා ප්‍රායෝගික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීම, ​2027 වසර දක්වා මෙරට ආහාර ක්ෂේත්‍රය තුළ තිරසාර චක්‍රීය ආර්ථික ක්‍රමවේද ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය අධ්‍යාපනික පදනම සැකසීමයි.

​වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේ ද පැවසුවාය:

​"අධ්‍යාපනය යනු හුදෙක් විභාග සමත් වී රැකියාවක් ලබා ගැනීම පමණක් නොවෙයි. සැබෑ අධ්‍යාපනය යනු පුද්ගලයා තුළ සමාජය සහ පරිසරය කෙරෙහි වගකීමක් මෙන්ම බැඳීමක් ඇති කිරීමයි. වර්තමානය වන විට අපට වඩාත් වැදගත් වන්නේ සම්පත් නැවත නැවත භාවිතයට ගන්නා වූ ’චක්‍රීය ආර්ථික’ (Circular Economy) සංකල්පයයි.

​මෙම සංකල්පය අපේ පැරැන්නන්ට අමුතු දෙයක් නොවෙයි. මගේ මතකයට එන්නේ මගේ ආච්චි අම්මා. ඇය ආහාර අපතේ යාම අවම කිරීමට දැක්වූයේ පුදුම දක්ෂතාවයක්. අද අප ඉවත ලන පැෂන් ෆෘට් ලෙලිවලින් එදා ඇය රසවත් ජෑම් සහ චට්නි සෑදුවා. කිරි බෝතල්වල ලෝහ පියන් පවා ඉවත නොදමා ඒවායින් නිවස හැඩ කරන විවිධ නිර්මාණ කළා. ’කිසිවක් ඉවත නොදැමීම’ ඔවුන්ගේ ජීවන දර්ශනයයි.

​නමුත් අද කාන්තාව දැඩි කාර්යබහුලත්වයකට මුහුණ දී සිටිනවා. රැකියාව සහ දරුවන්ගේ කටයුතු අතරතුර, කාලය නොමැතිකම නිසා ශීතකරණය තුළ එළවළු හෝ ආහාර ස්වල්පයක් අපතේ යාම අද සාමාන්‍ය දෙයක් වී තිබෙනවා. මෙය හුදෙක් කාන්තාවගේ පමණක් වගකීමක් නොවිය යුතුයි; නිවසක් තුළ මේ වගකීම් සහ ශ්‍රමය සාමූහිකව බෙදාගත යුතුයි."

​ආහාර බෙදාගැනීමේදී තමන්ට අවශ්‍ය ප්‍රමාණය පමණක් ලබා ගැනීම, තමන්ගේ පිඟාන තමන්ම පිරිසිදු කරගැනීම සහ සම්පත් සුරැකීමට පෙළඹීම වැනි දෑ හුදෙක් පාඩම් නොව ජීවන රටාවන් විය යුතු බවත්, ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය ලෙස පූර්ණ සහයෝගය ලබා දෙන බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය.

​මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ යුරෝපා සංගම් දූත පිරිසේ තානාපතිනි කාර්මන් මොරෙනෝ (H.E. Carmen Moreno), එම සංගමයේ සහයෝගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ (Dr. Johann Hesse), FAO නියෝජිත විම්ලේන්ද්‍ර ශරන් (Vimlendra Sharan) යන මහත්ම මහත්මීන් ඇතුළු ජාතික අධ්‍යාපන ආයතනය (NIE) සහ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන රැසක නියෝජිතයෝ පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ගෝලීය ආර්ථික වේදිකාවේ ශ්‍රී ලංකාවේ නව පුනරුදය සනිටුහන් කරමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඩාවෝස් සංචාරය නිමා කරයි: ජාත්‍යන්තර විශ්වාසය සහ සහයෝගීතාවයේ නව මාවතක් විවර වෙයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස්-ක්ලෝස්ටර්ස් (Davos-Klosters) හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) 56 වන වාර්ෂික රැස්වීමට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාවේ අනාගත දිශානතිය සහ නව රජයේ ප්‍රතිපත්තිමය ස්ථාවරත්වය ලෝකය හමුවේ අභිමානවත්ව සනිටුහන් කරමින් සිය සිව්දින සාර්ථක නිල සංචාරය නිමා කර ජනවාරි 23 දිවයිනට පැමිණියාය.

කම්කරු අමාත්‍ය සහ මුදල් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු දූත පිරිස සහභාගී වූ මෙම සංචාරය, හුදෙක් රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් මාලාවකට එහා ගිය, ශ්‍රී ලංකාව කෙරෙහි ගෝලීය විශ්වාසය නැවත දිනා දුන් සුවිශේෂී සන්ධිස්ථානයක් විය.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මෙනෙවිය සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා මහතා සමඟ පවත්වනු ලැබූ සාකච්ඡා අතිශය තීරණාත්මක විය. ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය, ආර්ථික ස්ථාවරත්වය සහ විනිවිදභාවයෙන් යුතු මූල්‍ය පාලනය පිළිබඳව එහිදී කරුණු ඉදිරිපත් කළ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන සඳහා එම ආයතනවල අඛණ්ඩ සහයෝගය තහවුරු කර ගැනීමට සමත් වූවාය.

රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ක්ෂේත්‍රයේදී, යුරෝපා සංගමයේ (EU) ජාත්‍යන්තර හවුල්කාරිත්වය පිළිබඳ කොමසාරිස් Jozef Síkela මහතා සහ හදිසි අවස්ථා කළමනාකරණය පිළිබඳ කොමසාරිස් Hadja Lahbib මහත්මිය හමු වූ අග්‍රාමාත්‍යවරිය, ශ්‍රී ලංකාවට බලපෑ "දිට්වා" සුළි කුණාටුවෙන් පසු සහන සැලසීමට යුරෝපා සංගමය දැක්වූ දායකත්වය අගය කළාය. එහිදී ආපදා කළමනාකරණය සහ රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය සඳහා යුරෝපා සංගමයේ දීර්ඝකාලීන සහයෝගය තහවුරු කරගත්තාය.

එසේම එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ඇලෙක්සැන්ඩර් ඩි කෘෘ මහතා සමඟ පැවැති හමුවේදී, නව රජයට ලැබුණු ජනවරමට අනුව යහපාලනය සහ ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩපිළිවෙළක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු විය.

අග්‍රාමාත්‍යවරිය ලෝක ආර්ථික සමුළුවේ ප්‍රධාන දේශකයෙකු ලෙස සහභාගී වූ "Jobs Crisis in Emerging Markets" සහ "Reskilling Revolution" යන සැසිවාරයන්හිදී ඉදිරිපත් කළ කරුණු ජාත්‍යන්තර අවධානයට ලක් විය.

තාක්ෂණික දියුණුව සහ මානව හැඩගැසීම අතර පවතින ’කාල පරතරය’ (Time lag) මගහරවා ගැනීමට ’ඉගෙන ගන්නා සමාජයක්’ (Learning Society) ගොඩනැගීමේ අවශ්‍යතාවය අග්‍රාමාත්‍යවරිය එහිදී තර්කානුකූලව පැහැදිලි කළාය.

ශ්‍රී ලංකාව තුළ තරුණ තරුණියන් 50,000ක් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන පූර්ණ අරමුදල් සහිත පුහුණු වැඩසටහන් සහ වෘත්තීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව ලෝක අවධානය දිනා ගත්තාය. විශේෂයෙන්ම කෘතිම බුද්ධිය (AI) සහ ඩිජිටල් පරිවර්තනය හමුවේ පරම්පරා අතර පරතරය නොවැඩෙන ලෙස "ඉගෙන ගන්නා සමාජයක්" (Learning Society) ගොඩනැගීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය විසින් අවධාරණය කළාය.

ගෝලීය කාන්තා නායකත්වය පිළිබඳ "World Woman Davos Agenda 2026" සමුළුවේදී අග්‍රාමාත්‍යවරිය කළ "වෙනස්වන ලෝකයට නායකත්වය දෙන කාන්තාවන්" යන දේශනය සුවිශේෂී විය. නායකත්වය යනු හුදෙක් පවතින ව්‍යුහයන්හි අසුන් ගැනීම නොව, එම ව්‍යුහයන්ම ප්‍රතිව්‍යුහගත කිරීම (Restructuring the table) බවත්, විශේෂයෙන්ම කාන්තාවන් සිදු කරන වැටුප් නොලබන රැකබලා ගැනීමේ සේවය (Care Work) ආර්ථිකයේ ප්‍රධාන කොටසක් ලෙස පිළිගත යුතු බවත් අවධාරණය කළාය. ශ්‍රී ලංකාවේ වත්මන් පාර්ලිමේන්තුවට කාන්තාවන් 20 දෙනෙකු තේරී පත්වීම හරහා ලැබූ ප්‍රගතිය සියල්ල ඇතුළත් පාලනයක් (Inclusive Governance) සඳහා වන රජයේ කැපවීම පිළිඹිබු කරන්නක් බවත් පෙන්වා දුන්නාය.

ව්‍යාපාරික සහ ආයෝජන ක්ෂේත්‍රයේදී ලොව ප්‍රමුඛතම සමාගමක් වන MAERSK හි සභාපති රොබට් යූග්ලා මහතා සහ Menzies ගුවන් සේවා සමාගමේ සභාපති හසන් එල් හවුරි මහතා සමඟ ශ්‍රී ලංකාවේ වරාය, සැපයුම් දාම සහ ගුවන් සේවා ක්ෂේත්‍රයේ ආයෝජන අවස්ථා පිළිබඳව සාකච්ඡා කිරීමට හැකි වූවා.

එසේම ස්විට්සර්ලන්තයේ Hamilton Medical සහ Variosystems යන අධි තාක්ෂණික සමාගම්වල නිරීක්ෂණ චාරිකාවන්ට එක් වූ අග්‍රාමාත්‍යවරිය, ස්විට්සර්ලන්තයේ ද්විත්ව වෘත්තීය පුහුණු (Dual Vocational Training) ආකෘතිය ශ්‍රී ලංකාවට ගැලපෙන පරිදි හඳුන්වා දීම පිළිබඳව ද අවධානය යොමු කළාය.

කලාපීය සහයෝගීතාවය ශක්තිමත් කරමින් සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා හමුවී අධ්‍යාපන සහ කුසලතා සංවර්ධන සහයෝගීතාවය පිළිබඳව සාකච්ඡා කළ අතර, බංග්ලාදේශ ප්‍රධාන උපදේශකවරයාගේ විශේෂ නියෝජිත ලුට්ෆේ සිද්දික් මහතා සමඟ ද ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තාය.

සංචාරක ක්ෂේත්‍රය පිළිබඳව යුරෝ නිව්ස් (Euronews Hub) හි පැවැති සංවාදයකදී සංචාරක ව්‍යාපාරය "මෘදු බලය" (Soft Power) සහ රාජ්‍ය තාන්ත්‍රික ප්‍රාග්ධනයක් ලෙස භාවිතා කිරීමේ වැදගත්කම අවධාරණය කළාය.

සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍යවරිය ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික සහ වෘත්තීය ප්‍රජාව මෙන්ම ස්විට්සර්ලන්ත ව්‍යාපාරික නියෝජිතයින් ද හමු වූවාය. එහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනය සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සහ විදේශ ආයෝජකයින්ට ලබා දිය හැකි ප්‍රායෝගික දායකත්වය සහ සහයෝගීතාවය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.

අග්‍රාමාත්‍යවරියගේ මෙම ඓතිහාසික ඩාවෝස් මැදිහත්වීම හරහා ශ්‍රී ලංකාව යනු හුදෙක් ආධාර ලබන රටක් නොව, ලෝකයේ නව ප්‍රවණතා හඳුනාගත්, ප්‍රතිපත්තිමය ස්ථාවරත්වයක් සහිත සහ මානව ගරුත්වය කේන්ද්‍ර කරගත් ප්‍රගතිශීලී රාජ්‍යයක් බව ලෝකය හමුවේ තහවුරු කිරීමට හැකි විය.

මෙම සංචාරය හරහා දිනාගත් ජාත්‍යන්තර ගෞරවය සහ විශ්වාසය ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන මාවත වඩාත් ආලෝකවත් කිරීමට හේතු වනු ඇත.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ලෝක ආර්ථික සමුළුවට සහභාගී වූ අග්‍රාමාත්‍යවරිය සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික හමුවීම් රැසකට පසු දිවයිනට පැමිණෙයි.

ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැති 2026 ලෝක ආර්ථික සමුළුවේ (World Economic Forum) වාර්ෂික හමුවට සහභාගී වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු දූත පිරිස සිව් දිනක සාර්ථක නිල සංචාරයකින් අනතුරුව අද (23) පෙරවරුවේ දිවයිනට පැමිණියහ.

පසුගිය ජනවාරි 19 වනදා සිට 22 වනදා දක්වා පැවැති මෙම සමුළුව අතරතුර, අග්‍රාමාත්‍යවරිය ලෝකයේ ප්‍රමුඛ පෙළේ රාජ්‍ය නායකයින්, ජාත්‍යන්තර මූල්‍ය ආයතන ප්‍රධානීන් සහ ව්‍යාපාරික නායකයින් රැසක් හමු වී ශ්‍රී ලංකාවේ ඉදිරි ආර්ථික මාවත ශක්තිමත් කර ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වූවාය. මෙම සංචාරය සඳහා කම්කරු අමාත්‍ය සහ මුදල් හා සැලසුම් නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ඇතුළු ඉහළ පෙළේ දූත පිරිසක් එක්ව සිටියහ.

මෙම සංචාරයේ විශේෂත්වයක් ලෙස අග්‍රාමාත්‍යවරිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා සහ ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසාටෝ කන්ඩා මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වමින් මෙරට මූල්‍ය ස්ථාවරත්වය තහවුරු කිරීමට අවශ්‍ය සහයෝගය පිළිබඳව අදහස් හුවමාරු කර ගත්තාය. එසේම, සිංගප්පූරු ජනාධිපති තර්මන් ෂන්මුගරත්නම් මහතා, යුරෝපීය කොමිසමේ සභාපතිනී උර්සුලා වොන් ඩර් ලේන් මෙනෙවිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) පරිපාලක ඇලෙක්සැන්ඩර් ඩි ක්‍රෝ මහතා සමඟ පැවැති හමුවීම් හරහා ජාත්‍යන්තර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමටත් ශ්‍රී ලංකාව කෙරෙහි ඇති ගෝලීය විශ්වාසය තහවුරු කිරීමටත් හැකි විය.

ගෝලීය වේදිකාව තුළ ශ්‍රී ලංකාවේ ප්‍රතිපත්තිමය ස්ථාවරය පැහැදිලි කරමින් අග්‍රාමාත්‍යවරිය ’World Women Davos Agenda 2026’ හමුවේ විශේෂ දේශනයක් පැවැත්වූ අතර, නැගී එන වෙළෙඳපොළවල රැකියා අර්බුදය සහ ගෝලීය කුසලතා සංවර්ධනය පිළිබඳ වූ ඉහළ පෙළේ කමිටු සාකච්ඡා (Stakeholder Dialogues) සඳහා ද සිය දායකත්වය ලබා දුන්නාය. මීට අමතරව, ගෝලීය සංචාරක සංසදයේ (GTF) ඉහළ පෙළේ සංවාදයකට එක්වෙමින් ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයේ අනාගත දැක්ම ප්‍රවර්ධනය කිරීමට ද අග්‍රාමාත්‍යවරිය පියවර ගත්තාය.

ආයෝජන අවස්ථා පුළුල් කිරීමේ අරමුණින් AP Moller-Maersk වැනි ජාත්‍යන්තර සමාගම්වල ප්‍රධානීන් සහ ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව සමඟ සාකච්ඡා පැවැත්වූ අග්‍රාමාත්‍යවරිය, ස්විට්සර්ලන්තයේ වෘත්තීය පුහුණු ආයතන කිහිපයක නිරීක්ෂණ චාරිකාවකට ද එක් වූවාය.

ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින් හමු වූ අග්‍රාමාත්‍යවරිය මෙරට සංවර්ධනය සඳහා ඔවුන්ගේ දායකත්වය ලබා ගැනීම පිළිබඳව ද අවධානය යොමු කළාය. මෙම සාර්ථක රාජ්‍ය තාන්ත්‍රික මෙහෙවර මගින් ශ්‍රී ලංකාවේ අනාගත සංවර්ධන වැඩපිළිවෙළ උදෙසා ජාත්‍යන්තර සහයෝගීතාවයේ නව පිටුවක් පෙරළීමට අග්‍රාමාත්‍යවරිය ප්‍රමුඛ දූත පිරිස සමත් වී තිබේ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරිය Davos හි නිල සංචාරයට සමගාමීව ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව සහ ස්විට්සර්ලන්තයේ සිටින ශ්‍රී ලංකා ව්‍යාපාරික ප්‍රජාව මුණ ගැසෙයි.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය Davos හි පැවති ලෝක ආර්ථික සංසදයට සමගාමීව ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් මෙන්ම ස්විට්සර්ලන්තයේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යාපාරික නියෝජිතයින් සහ වෘත්තිකයන් සමඟ සාකච්ඡා පැවැත්වුවා ය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩ නැගීමට සහ දිගුකාලීන සංවර්ධනයට සහාය වීම සඳහා හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම, විශ්වාසය සහ සහයෝගීතාවය ගොඩනැගීම සඳහා ප්‍රායෝගික මාර්ග ගවේෂණය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික සහ වෘත්තීය නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවලදී, ව්‍යාපාරික සම්බන්ධතා වර්ධනය කිරීම, ආයෝජන අවස්ථා සඳහා පහසුකම් සැලසීම, වෙළඳපොළ ප්‍රවේශය සක්‍රීය කිරීම, ව්‍යවසායකයින්ට මග පෙන්වීම සහ ජාත්‍යන්තර ව්‍යාපාරික ජාල සමඟ ශ්‍රී ලංකාවේ සම්බන්ධතාවය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් ඉටු කරන වැදගත් කාර්යභාරය අග්‍රාමාත්‍යවරිය අවධාරනය කළා ය.

ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාවේ සාමාජිකයින් සමඟ පැවති හමුවේදී, අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දිශානතිය, ප්‍රතිසංස්කරණ ප්‍රමුඛතා සහ ආයෝජනය ක්ෂේත්‍ර පිළිබඳව අවධාරණය කළා ය. ආයෝජක විශ්වාසය නැවත ගොඩනැගීම සඳහා ආර්ථික ස්ථාවරත්වය, අනාගතය පුරෝකථනය කළ හැකි ප්‍රතිපත්ති රාමු සහ පාලන ප්‍රතිසංස්කරණ කෙරෙහි රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.

සේවා අංශ ප්‍රවර්ධනය, ප්‍රාග්ධන වෙළඳපොළ, මූල්‍ය තාක්ෂණය සහ අනෙකුත් අංශයන්හි සහයෝගීතාවය සඳහා ඇති අවස්ථා පිළිබඳ මෙහිදී අවධානය යොමු වූ අතර, ආයෝජකයින්ට අවස්ථාව ලබා දීම, ක්ෂේත්‍ර හවුල්කාරිත්වය ශක්තිමත් කිරීම සහ දිගුකාලීන සහයෝගීතාවය ඇතුළු සම්බන්ධතා හරහා ප්‍රතිඵල ලබා ගැනීම කෙරෙහි මෙම සාකච්ඡාවේ දී අවධානය යොමු විය.

ප්‍රතිසංස්කරණ, ස්ථාවරත්වය සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වය මගින් මෙහෙයවනු ලබන තිරසාර ආර්ථිකයක් සඳහා ශ්‍රී ලංකාව කැපවී සිටින බව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය , ස්විට්සර්ලන්ත ව්‍යාපාරික ප්‍රජාව සහ ස්විට්සර්ලන්තයේ ශ්‍රී ලාංකික ව්‍යාපාරික කොටස්කරුවන් සමඟ කටයුතු කිරීමට සූදානම් බව පැවසුවා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ, එය ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කාන්තාවන්ට විශ්වාසයෙන් යුතුව නායකත්වය ලබා දිය හැකි පරිසරයන් නිර්මාණය කිරීමට නම් ආයතනික සහ බලය බෙදී යන ව්‍යුහයන්හි පරිවර්තනයක් සිදු කළ යුතුයි.

ස්විට්සර්ලන්තයේ Davos-Klosters හි පැවැත්වෙන ලෝක ආර්ථික සංසදයේ 56 වන වාර්ෂික රැස්වීමට සමගාමීව ලෝක කාන්තා මන්දිරයේදී පැවැත්වූ World Woman Davos Agenda 2026 සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජනවාරි 21 වන දින සහභාගී වූවා ය.

"වෙනස්වන ලෝකයට නායකත්වය දෙන කාන්තාවන් (Women Leading the Changing Global Order)" යන තේමාව යටතේ සිය දේශනය සිදු කළ අග්‍රාමාත්‍යවරිය, ලොව පුරා කාන්තාවන් දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන් නියෝජනය කරමින් සිටින නමුත්, කාන්තාවන් වැටුප් නොලබමින් සිදු කරන රැකබලා ගැනීමේ කටයුතු, අවිධිමත් ශ්‍රම දායකත්වය සහ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය තුළ ඔවුන් ලබා දෙන දායකත්වයන් තවමත් සමාජය හඳුනා ගෙන නොමැති බව පවසා සිටියා ය.

තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

දේශපාලන දෘෂ්ටි කෝණයෙන් බලන විට, තීරණ ගැනීමේදී කාන්තාවන් බැහැර කිරීම අහඹු සිදුවීමක් නොවේ; එය කලක් තිස්සේ පවත්වා ගෙන යන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත ගොඩනගා ගත් බල ධූරාවලියක ප්‍රතිඵලයක්. නායකත්වය ලබා දෙන කාන්තාවන්ට, විශේෂයෙන් දේශපාලන ක්ෂේත්‍රයේ නියැලී සිටින කාන්තාවන්, හිරිහැර, අපහාස සහ ආන්තිකකරණය නිසා එල්ල වන ප්‍රහාර නිසා බොහෝ විට නායකත්වයෙන් ඉවත් වීමට හෝ ඉන් වැළකී සිටීමට කටයුතු කරනවා.

මෙම බාධකවලින් කාන්තාවන් ආරක්ෂා කිරීම කියන්නේ හුදෙක් ආරක්ෂාව පිළිබද දෙයක් නොවේ. එය, කාන්තාවන්ට සිය ස්වාධීනත්වය, අධිකාරිය සහ විශ්වාසය සමඟ නායකත්වය ක්‍රියාත්මක කළ හැකි පරිසරයන් නිර්මාණය කිරීමේදී ආයතනික සහ බල ව්‍යුහයන්හි පරිවර්තනයක් කිරීම හරහා සිදු විය යුතු දෙයක්.

දේශපාලන කැපවීම එහි ජනතාවගේ ඔරොත්තු දීමේ හැකියාව සමඟ සමපාත වූ විට කළ හැකි දේ ශ්‍රී ලංකාව පෙන්නුම් කරලා තිබෙනවා. එයට හොඳම නිදසුන ලෙස පළමු වරට, කාන්තාවන් 20 දෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත් වීමෙන් අපගේ වත්මන් රජය යටතේ දේශපාලන නියෝජනයේ ඓතිහාසික ප්‍රගතියක් ලබලා තිබෙනවා.

එයින් පිළිබිඹු වන්නේ ඒ දැක්ම ඉදිරි දර්ශනයකට පමණක් සීමා වී නොමැති බවයි. සියල්ල ඇතුළත් පාලනයක් කරා නව රජයේ කැපවීම එයින් පිළිබිඹු වෙනවා.

නායකත්වය යනු පවතින අසුන්වලට සීමා වීම පමණක් නොව, පවත්නා පද්ධතින් ප්‍රතිව්‍යුහගත කිරීම බව අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය. ස්ත්‍රීවාදී, අන්තර් නායකත්වය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම අග්‍රාමාත්‍යවරිය නැවත තහවුරු කළ අතර, කාන්තාවන් සහ ආන්තිකකරණයට ලක් වූ ප්‍රජාවන් සහභාගිවන්නන් පමණක් නොවන බවත්, අනාගත ලෝකය හැඩගස්වන ප්‍රතිපත්තිවල ප්‍රධාන නිර්මාණකරුවන් බව පවසා සිටියා ය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය