අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

අග්‍රාමාත්‍යතුමියගේ මැයි දින පණිවුඩය

ශ්‍රී ලාංකේය කම්කරු ඉතිහාසය යනු දශක ගණනාවක් පුරා අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් ලේ, කඳුළ සහ දහඩිය හෙළූ අභිමානවත් අරගලයක කතාවකි.

1893 මුද්‍රණ ශිල්පීන්ගේ වැඩවර්ජනයේ සිට මෙරට වැඩකරන ජනතාව සංවිධානාත්මක බලවේගයක් ලෙස නැගී සිටි අතර, ඒ.ඊ. ගුණසිංහගේ නායකත්වයෙන් ඇරඹි වෘත්තීය සමිති ව්‍යාපාරය සහ සමසමාජ පක්ෂයේ ආරම්භයත් සමඟ කම්කරු හඬ දේශපාලනමය වශයෙන් සවිමත් විය. 1923 දුම්රිය වැඩවර්ජනය සහ 1947 රාජ්‍ය සේවා වැඩවර්ජනය වැනි තීරණාත්මක සන්ධිස්ථාන මගින් තහවුරු කළේ, මෙරට ආර්ථික හා සමාජීය පෙරළියක “නියමුවා” වැඩකරන ජනතාව බවයි. එදා මෙදා තුර වතු ක්ෂේත්‍රයේ, වරාය, දුම්රිය ඇතුළු සමස්ත රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයන් දැක්වූ දායකත්වය අද අප භුක්ති විඳින බොහෝ වෘත්තීය අයිතිවාසිකම්වල පදනම බව ගෞරවයෙන් සිහිපත් කරමි.

1886 වසරේ චිකාගෝ නුවරදී පැය අටක වැඩ මුරයක් වෙනුවෙන් කළ අරගලයේදී දිවි පිදූ වීරෝදාර කම්කරු ජනතාව ඇතුළු ලොව පුරා විසිරී සිටින සමස්ත වැඩකරන ජනතාවට උපහාර පුද කරමින්, මෙවරත් ජාත්‍යන්තර කම්කරු දිනය අපි අභිමානයෙන් යුතුව සමරන්නෙමු. මෙවර මැයි දිනය සුවිශේෂී වන්නේ එය ශ්‍රී ලාංකේය සමස්ත වැඩකරන ප්‍රජාවට ගෞරවයක් පිණිස මහජන බලයෙන් ගොඩනැගුණු රජයක් යටතේ සැමරීම හේතුවෙනි.

ශ්‍රමය සඳහා ලැබිය යුතු නිසි ගෞරවය ලබා දීම සහ සියලු වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අප රජයේ මූලික ප්‍රතිපත්තිමය කැපවීමකි. ඒ අනුව, පවතින සේවාවන් පුළුල් කරමින් සහ වැඩකරන ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා නව වැඩසටහන් ක්‍රියාත්මක කරමින්, සාධාරණ සහ සුරක්ෂිත සේවා පරිසරයක් නිර්මාණය කිරීමට අපි කැපවී සිටිමු.

සියලුම පුරවැසියන් සඳහා සාධාරණ සහ සමාන ප්‍රවේශයන් තහවුරු කිරීම රජයේ මූලික අරමුණකි. ඒ අනුව, සෑම කෙනෙකුටම ගෞරවනීය වෘත්තීය ජීවිතයක් ගත කළ හැකි පරිසරයක් නිර්මාණය කිරීම අපගේ වගකීමයි. වැටුප් රහිත ශ්‍රමය හඳුනාගන්නා ජාතික සමාජ ආරක්ෂණ පද්ධතියක් ස්ථාපිත කිරීම සහ එවැනි ශ්‍රමිකයින් සඳහා සමාජ ආරක්ෂණය සහතික කිරීම අප රජයේ ප්‍රමුඛතම කාර්යයන් අතර වේ.

සියලු ශ්‍රමයන් අගය කරන, අයිතිවාසිකම් සුරක්ෂිත වූ සහ සමානත්වය රජයන රටක් ගොඩනැගීම සඳහා එකමුතුව පෙරට යාමේ වැදගත්කම මෙම මැයි දිනයේදී අප යළිත් තහවුරු කළ යුතුය. සියලු වැඩකරන ජනතාවගේ ශක්තිය හා කැපවීම තුළින්, අප සැමගේ පොදු දැක්ම වන “පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්” යන ඉලක්කය ඉතා ඉක්මනින් සපුරා ගැනීමට හැකි වේවායි ප්‍රාර්ථනය කරමි.

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

රටක ස්වෛරීත්වය හා ජාතික ආරක්ෂාව තහවුරු කිරීමේදී ආහාර සුරක්ෂිතතාව ඉතා වැදගත් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වත්මන් ලෝකයේ මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ කෘෂිකර්මාන්තය මත අභියෝගාත්මක තත්වයක් ඇතිව තිබෙන බවත්, රටක ආහාර සුරක්ෂිතතාව රටේ ස්ථාවරත්වය හා ස්වෛරීත්වය මෙන්ම ජාතික ආරක්ෂාව කෙරෙහි බලපාන වැදගත් අංශයක් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කෘෂිකර්ම සංවර්ධනය සදහා වූ ජාත්‍යන්තර අරමුදල (IFAD) සහ ශ්‍රි ලංකා රජය විසින් ප්‍රතිපාදන ලබාදෙන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහනේ ග්‍රාමීය තරුණ තරුණියන් කෘෂි ව්‍යාපාර සදහා සවිබලගැන්වීම අරමුණු කරගනිමින් "සැප්" ජාතික තරුණ කෘෂි - ව්‍යාපාරික ප්‍රදර්ශනය හා B2B සම්බන්ධතා සම්මේලනය අමතමින් අග්‍රාමාත්‍යතුමිය බත්තරමුල්ල වෝටර්ස් එජ් හිදී අද (28) පෙරවරුවේ මේ බව පැවසීය.

මෙම අවස්ථාවට සහභාගි වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

රටේ විවිධ බාධක මධ්‍යයේ වුවද මෙම උත්සවය සංවිධානය කිරීම අගය කරනවා.

ඔබ සියලු දෙනා රටේ කෘෂිකර්ම ක්ෂේත්‍රයට ⁣වගේම රටේ ආර්ථිකයට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා.ඔබ වැනි දක්ෂ කෘෂි ව්‍යවසායකයින් දක්නට ලැබීම ආඩම්බරයක්.

රටක ජාතික ආරක්ෂාවටත්, කෘෂිකර්මාන්තය මූලික කරගත් ආහාර සුරක්ෂිතතාව බලපානවා.වගේම “Grow and sell” වැනි සංකල්ප ඔස්සේ නිෂ්පාදන ආර්ථිකය සවිබලගැන්වීම සිදුවෙනවා.

කොවිඩ් අර්බුද සමය තුළ වුවත් වත්මන් මැද පෙරදිග යුධ අර්බුද හමුවේ වුවත් රටවල ආහාර සුරක්ෂිතතාව නොමැති නම් රටේ ආර්ථිකය අභියෝගයට ලක්වනවා. විශේෂයෙන් නායකයින්ගේ සුලු තීරණයක් මගින් වුවද සැපයුම් දාමය අවහිර වීම සිදු විය හැකියි.

ඒ වගේම දේශගුණික විපර්යාස තුලිනුත් කෘෂිකර්මයට බලපෑම් ඇතිවනවා. දේශගුණය හා පාරිසරික තත්ව පුරෝකථනය අපහසු වන විට කෘෂිකර්මය අභියෝගයට ලක්වෙනවා.එවන් පසුබිමක රටේ ආර්ථිකය කෙරෙහි කෘෂි ව්‍යවසායක ඔබගේ කාර්යභාරය හුදු මුදල් ඉපයීමක් නොවන අතරම රටේ ආහාර සුරක්ෂිතතාව ඔස්සේ රටේ ජාතික ආරක්ෂාවටද කරන මැදිහත් වීමක්.ඔබේ දක්ෂතා ප්‍රදර්ශනය හුදෙක් ඔබට පමණක් නොව රටේ ජනතාවට ද ඉතා වැදගත්.

IFAD,SAPP වැනි ආයතන ලබා දුන් මෙම දායකත්වය වෙනුවෙන් ස්තුතිවන්ත වන බවත්, නිර්මාණශීලී තරුණ ප්‍රජාවට සුබ පැතුම් එක් කරන බවත් අග්‍රාමාත්‍ය තුමිය ප්‍රකාශ කළාය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම,පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය K.D.ලාල් කාන්ත, කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ,කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් D.P.වික්‍රමසිංහ, එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලතීෂා ප්‍රියන්ති,SAPP(Smallholder Agribusiness Partnership Programme) අධ්‍යක්ෂ සුනිමල් චන්ද්‍රසිරි ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යවරිය ඓතිහාසික කතරගම පුදබිම වැඳපුදා ගනියි...

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අප්‍රේල් 26 වැනි දා ඓතිහාසික කතරගම පුදබිම වැඳපුදා ගැනීම සඳහා සහභාගි විය.

ප්‍රථමයෙන් අග්‍රාමාත්‍යවරිය ඓතිහාසික කතරගම කිරිවෙහෙර රජමහා විහාරයේ විහාරාධිපති, රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක, පූජ්‍ය කොබවක ධම්මින්ද නායක ස්වාමීන් වහන්සේ මුණගැසී ආශිර්වාද ලබා ගත් අතර අනතුරුව ඓතිහාසික කිරිවෙහෙර අභියස ආගමිකවතාවත්වල නිරත විය.

ඉන් අනතුරුව ඓතිහාසික විෂ්ණු කතරගම මහා දේවාලයේ සන්ධ්‍යා පූජාව සඳහා සහභාගි වූ අග්‍රාමාත්‍යවරිය කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති පූජ්‍ය කපුගම සරණතිස්ස නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය වෙතින් ආශිර්වාද ලබාගත්තා ය.

මෙම අවස්ථාවට වෙළඳ වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම් ජයවර්ධන , මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් විජේවීර, හොරණ වාසනා බේකර්ස් ව්‍යාපාරයේ අධිපති දයානන්ද බෝඹුවල , කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපති එච්. එම්. හේරත්, රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ආරච්චිගේ තිළිණ මධුසංඛ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍ය කාර්යාලයේ “සුහදත්වයේ අවුරුදු හමුව” අගමැතිනියගේ ප්‍රධානත්වයෙන්

අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුභ සාධක සංගමය මගින් සංවිධානය කළ "සුහදත්වයේ අවුරුදු හමුව" අප්‍රේල් 25 වන දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

සියළු දෙනාට අර්බුධ නැති සාමකාමී සභ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරනවා. සේවාවට කැපවෙමින් ලබා දෙන සහය, කැපවීම අගයකරනවා. ජනතාව වෙනුවෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් විය යුතු සේවාව තව තවත් සිදු කරන්නට ශක්තිය, ධෙර්යය ප්‍රාර්ථනා කරන බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

ජනක්‍රීඩා, සෞන්දර්යය අංග රැසකින් සමන්විත වූ අග්‍රාමාත්‍ය කාර්යාලයේ සුභ සාධක සංගමය මගින් සංවිධානය කළ “සුහදත්වයේ අවුරුදු හමුව” දවස පුරා පැවැත්විණි.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා ඇතුළු අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරුන්, නිලධාරීන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

උසස් අධ්‍යාපනය වෙනුවෙන් ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය 2027 වසරේ 6 ශ්‍රේණියට ආරම්භ කරන බවත්, පිරිවෙන් අධ්‍යාපනය සංවර්ධනය කරන්න අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බවත්, එමෙන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අප්‍රේල් 24 වන දින නුවර දළදා මාලිගාව අසලින් ආරම්භ කළ සාම පාගමනේ සමාරම්භයෙන් අනතුරුව ශ්‍යාමෝපාලී මහා නිකායේ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රි සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක ස්වාමින්වහන්සේ බැහැදුටු අවස්ථාවේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ පැවසීය.

අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,

ජාත්‍යන්තරයේ අවධානය යොමු වූ සාම පාගමන ශ්‍රි ලංකාවේ පැවැත්වීම රටක් ලෙස අපිට සතුටක්. ඒ වගේම ලෝක සාමය අපි හැමෝගේම ප්‍රාර්ථනාවක් ඒ නිසා මේ අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම ගැන සතුටුයි.

මෙහිදි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දුන් අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීවාය.

සිදුවී තිබෙන මුදල් වංචාව පිළිබඳ රජය අවශ්‍ය නීතිමය කටයුතු සිදු කරමින් යනවා. ඒ සම්බන්ධයෙන් මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තරවත් විමර්ශන සඳහා සහය දෙන බව දන්වා තිබෙනවා. විශේෂයෙන් ඕස්ට්‍රේලියාවේ රජය විමර්ශන කටයුතු සඳහාසහය දෙන බව ඕස්ට්‍රේලියානු මහකොමසාරිස්තුමා ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී රටකට විපක්ෂයක් අවශ්‍යයි, ඒත් විපක්ෂයකින් ජනතාව බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන කාරණය විපක්ෂය තවම අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා තාමත් තර්කයක් නැති කරුණු ඉදිරිපත් කරමින් රජය අපහසුතාවයට පත් කරන්න කටයුතු කරමින් යනවා. මැති ඇමතිවරුන්ට පදනම් විරහිත චෝදනා කරනවා. මටත් විශ්වාසභංගයක් ගේනවා කිව්වා මාත් බලාගෙන ඉන්නවා මටත් කරුණු ඉදිරිපත් කරන්න අවස්ථාවක් එනකම්.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු අපි දිගටම සිදු කරමින් යනවා. උසස් අධ්‍යාපනය සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් තරන්නත් කටයුතු කරමින් තිබෙනවා. ඒවගේම වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධයෙන් කමිටුවක් පත් කර ඉදිරි කටයුතු සිදු කරන්නත් කටයුතු කර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් “Walk For Peace” සාම පාගමනේ තෙවන දිනය අගමැතිනියගේ සහභාගීත්වයෙන් ඇරඹෙයි

ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිට වොෂින්ටනය දක්වා ප්‍රාන්ත 10ක් පසු කරමින්  දින 110ක් පුරා සාමය වෙනුවෙන් පා ගමනට නායකත්වය දුන් පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය මෙරටට වැඩමකර , දඹුල්ලේ සිට කොළඹ ගංඟාරාම විහාරය දක්වා ඇරඹි පාගමනේ තෙවන දිනය උභය විහාරික මහා සංඝරත්නයේ සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගීත්වයෙන් අද (24) පෙරවරුවේ නුවර දළදා මාළිගාව අභියසින් ආරම්භ කළේය.

තෙවන දින පාගමන ආරම්භ කිරීමට පෙර පූජ්‍ය පඤ්ඤාකර හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය දළදා වහන්සේ වැඳ පුදා ගනිමින් ආගමික වතාවත්වල නිරත විය. අනතුරුව දළදා මාළිගයේ පත්තිරිප්පුව අභියස විශේෂ පීඨිකාවත් මත මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කරමින් ආශිර්වාද සිදු කළහ.

දළදා මාළිගය අසලින් ඇරඹි තෙවන දින සාම පාගමන මාවනැල්ල බෙලිගම්මන විද්‍යාවර්ධන පිරිවෙන් පොත්ගුල් විහාරයෙන් අවසන් වන අතර අප්‍රේල් 28 වන දින සාම පාගමනේ නිමාව සනිටුහන් කිරීමට නියමිතයි.

උභය විහාරික මහා සංඝරත්නය, මධ්‍යම පළාත් ආණ්ඩුකාර එස්.බී. අබේකෝන්, දියවඩන නිලමේ නිලංග දෑළ බණ්ඩාර යන මහත්වරුන් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය