මෙවර අයවැයෙන් සියළු ක්ෂේත්‍ර ආවරණය කර තිබෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය
රජය කෙටි කාලීන පුද්ගලික න්‍යාය පත්‍ර මත හෝ පුද්ගලික අවශ්‍යතා මත වැඩ කරන්නේ නැහැ.
රටේ බහුපක්ෂ ක්‍රමයට තර්ජනයක් ඇති කර තිබෙන්නේ විපක්ෂය විසින්
මෙවර අයවැයෙන් රටේ සියළු ක්ෂේත්‍ර ආවරණය කර තිබෙන බවත්, රජය කෙටි කාලීනව, පුද්ගලික න්‍යාය පත්‍රයක් මත හෝ පුද්ගලික අවශ්‍යතා මත වැඩ නොකරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2026 වසර සඳහා ඉදිරිපත් කළ විසර්ජන පනත පිළිබඳ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය නොවැම්බර් 08 දින පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.
ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ, පක්ෂ විපක්ෂ කියන ඒ බෙදීම් රේඛාව පොඩ්ඩකට අත ඇරලා හරියට අහගෙන හිටියා නම්, එම කතාව තුළත්, ඉදිරිපත් කළ අයවැය තුළත් අපි සියලු දෙනාට දැක ගන්න, ඉගෙන ගන්න බොහෝ කරුණු කාරණා තිබුණා.
එහි අන්තර්ගතය තුළ වගේම ඒ කරුණු, ඒ යෝජනා, ඒ සංඛ්‍යා ලේඛන සියල්ලම පිටිපස්සේ ඉතාමත්ම වැදගත් කතාවක් තියෙනවා. මම යෝජනා කරන්නේ සියලු දෙනාම ඒ කතාව හොඳින් තේරුම් ගන්න උත්සාහ කරන්න කියලා.
සැලසුම්කරණය හරියට සිද්ධ වෙනකොට ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කිරීම විතරක් නෙවෙයි, නීති හරියට ක්‍රියාත්මක වෙනකොට ඉලක්ක සහගතව නායකත්වයක් දීලා දේශපාලන විනයක් ඇතුව ආණ්ඩුකරණයක් කිරීමෙන් ප්‍රතිඵල ගන්නෙ කොහොමද, රටක් දියුණු වෙන්නේ කොහොමද, කියන එක ගැන ඉතාමත්ම හොඳ කතාවක් අයවැය කතාවේත්, අයවැය තුළත් තිබුණා. අන්න ඒක තමා මේ වෙලාවේ වැදගත්.
ආණ්ඩුවේ මේ දෙවැනි අයවැය යි. අපි පළමුව අයවැය ඉදිරිපත් කළේ 2025 අප්‍රේල් මාසේ. ඒත් ඊට කලින් ආණ්ඩුව භාර ගන්නකොට රට තිබුණ තත්වයත්, ජාත්‍යන්තර තත්වයත්, අපේ රටේ ජනතාව ඒ මොහොතේ දක්වපු අදහසුත්, මේකෙන් ගොඩ එන්න අපිට මොන වගේ කාලයක් යයිද කියන අවිනිශ්චිතබවත් එදා තිබුණා. කඩා වැටුණු බලාපොරොත්තු තිබුණ මොහොතකයි මේ රජය බලයට පත් වුණේ.
වැටුණු රටක් බාරගත්ත මේ ආණ්ඩුව අප්‍රේල් මාසෙ තමයි පළවෙනි අයවැය ඉදිරිපත් කළේ. ඊයේ ඉදිරිපත් වෙච්ච සංඛ්‍යා ලේඛන ඉදිරිපත් වෙන්නේ අප්‍රේල් සිට සැප්තැම්බර් මාස දක්වායි. ඒ අයවැය මාස නමයකටයි ඉදිරිපත් වුණේ. සම්පූර්ණ වියදම අපිට පෙන්නුම් කරන්න වෙන්නේ දෙසැම්බර් මාසය වනවිටයි.
රට ස්ථාවර කිරීමේ සැලැස්ම තුළ මූල්‍ය විනයක් ඇතුව රට පාලනය කිරීමේ සහ ආණ්ඩුකරණයේ සාර්ථකභාවය තමයි අපිට ජනාධිපතිතුමා පෙන්නුම් කළේ. ඒක අපි අගය කළ යුතුයි. පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ඒක පිළිඅරගෙන තමයි ඉදිරියට මේ පිළිබඳ කතා කරන්න පුළුවන් වෙන්නේ. තියෙන අඩුපාඩු කතා කරලා පෙන්නුම් කරන්න පුළුවන් වෙන්නේ.
මේ වෙනකොටත් මාස හයක අයවැය තුළ අපි සියයට පනහටත් වැඩි ප්‍රගතියක් පෙන්නුම් කරලා තියෙනවා. පොදුවේ ගත්තොත් රජය බලාපොරොත්තු වෙනවා මේ ඉදිරි මාස දෙක තුළ දෙසැම්බර් 31 වැනි දා වෙනකොට ඒ වියදම ඊටත් වඩා වැඩි වෙයි කියලා. ව්‍යාපෘති ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තේ සැප්තැම්බර් මාසේ, ඒ නිසා මම හිතන්නේ මේක ඒ කෝණයෙනුත් බලනවා නම් අපිට වඩාත් නිවැරදි පින්තූරයක් ලබා ගන්න පුළුවන්.
හැබැයි වැටිලා තිබුණ රටක් තමයි අපි මේ මට්ටමට ගන්නේ. අද අපිට විපක්ෂයත් කියනවා භාණ්ඩාගාර ඉතිරිලා ගිහිල්ලා කියලා. රජය මූල්‍ය විනයක් පවත්වාගෙන යනවා. මේ සියල්ලම සිද්ධ වුණේ අහම්බයක් හැටියට නෙවෙයි. මේවා දැක්මක් සහිත නායකත්වයක ප්‍රතිඵල. මම හිතන්නේ මේ වෙලාවේ අපි ඉගෙන ගත යුතු සහ අගය කළ යුතු පාඩම එයයි.
අපිට මෙතන සතුටු වෙන්න තවත් කාරණයක් තියනවා. අපි රජය භාර ගන්නකොට වෙන ආණ්ඩු වගේ අපේ මිනිස්සුන්ගෙන් ආයතන පුරවගත්තේ නෑ. මාරු කළේ නෑ. ඒකට සමහර වෙලාවට අපේ පාක්ෂිකයන් පවා අපිට දොස් කිව්වා. අපිට පෙන්නන්නත් ඕන උනා හරි නායකත්වයක් තුළ හරි දැක්මක් තුළ සැලසුම් සහගතව වැඩ කරගෙන යන්න මේ රාජ්‍ය සේවය, එකම නිලධාරීන් එකම ඔලු ගෙඩි ටිකට වුණත් පුළුවන්කමක් තියෙනවා කියලා. වෙනස් වෙන්න ඕන තැන් තියෙනවා. මීට වඩා කාර්යක්ෂම වෙන්න ඕනද? ඔව්. මීට වඩා හොඳින් වැඩ කරන්න ඕනෙද? ඔව්.
රාජ්‍ය සේවයට අපි විශාල සහන ලබා දුන්නේත්, ජනවාරි සිට දෙවැනි වාරිකය දෙන්නෙත්, ඒ වගේම රාජ්‍ය සේවය තුළ ලැබිය යුතු අනිත් වරප්‍රසාද දීමනා වැඩි කරන්නේත් වඩා හොදින් කාර්යක්ෂමව වැඩ කරන්න. මේ සදහා මේ අයවැය තුළ මුදල් වෙන්කරලා තියෙන්නේ.
අපිට අවශ්‍යයි රාජ්‍ය සේවය කාර්යක්ෂම ජනතාවාදී සහ වඩා සැලසුම් සහගතව, ඉලක්ක සහගතව වැඩ කරන සේවයක් බවට පත් කරන්න. මේක ක්‍රියාවලියක් 2025 ජනවාරි වලට වඩා අද අපිට දියුණුවක් පේනවා. අපිට විශ්වාසයි 2026 වෙනකොට ඊටත් වඩා වර්ධනයක්, ඊටත් වඩා දියුණුවක්, ඊටත් වඩා වෙනස්ම සැලසුම් සහගත සංවර්ධන ක්‍රියාවලියක් දකින්න ලැබෙයි කියලා. පුද්ගලික හෝ පටු දේශපාලන අරමුණු වෙනුවන් නෙමෙයි, කණ්ඩායමක් හැටියට සාමූහිකයක් හැටියට රටට අවශ්‍ය දියුණුව ලබා ගැනීම සඳහා සැලසුම් සහගත යන ගමනක් කියන එක මේ වෙලා තියෙන වෙනස, මේ වෙමින් පවතින පරිවර්තනය තළින් තේරුම් ගන්න පුළුවන් . අපි රට බාරගත්තේ කොතනින්ද කියන එක අමතක කරලා අපිට මේක හරියට තේරුම් ගන්න බෑ.
රටට අවශ්‍ය දියුණුව ලබා ගැනීම සඳහා සැලසුම් සහගතව යන ගමනක් කියන එක මේ වෙලාවේ ආණ්ඩුව විතරක් නෙවෙයි රජයේ නිලධාරින් මෙන්ම ජනතාවත් තේරුම් ගනිමින් යන නිසා තමයි අපිට මේ ප්‍රතිඵල පෙන්නන්නේ. මේක ක්‍රියාවලියක්. මම හිතන්නේ වෙන ආණ්ඩු වැඩ භාර ගත්තම පෙන්නන වැඩයි, අපේ ආණ්ඩුවේ වැඩයි නිකන් සරලව සංසන්දනය කරලා මේ වෙලා තියෙන වෙනස, මේ වෙමින් පවතින පරිවර්තනය තේරුම් ගන්න බෑ. අපි යන ගමන වෙනස්. ඒකත් අපි පැහැදිලිවම කියන්න ඕනේ.
අපි මේක කෙටි කාලීනව පුද්ගලික න්‍යාය පත්‍රයක් මත පුද්ගලික අවශ්‍යතා මත අමාත්‍යංශයෙන් අමාත්‍යාංශයට එක එක ඇමතිවරයාගේ ඊගෝ එක වර්ධනය කරගන්න හෝ දේශපාලන හෝ පුද්ගලික අරමුණු එක්ක නෙවෙයි වැඩකරන්නේ. මේ අපි කණ්ඩායම් හැඟීමක් එක්ක හදාගත්ත සැලැස්මක්. රටක් ගැන හිතලා හදාගත්ත සැලැස්මක්. ඒ අනුවයි අපි වැඩ කරන්නේ. අපේ එකසිය පනස් නව දෙනාම ඒක තේරුම් අරගෙන ඉන්නේ. අපිට පැවරුණ කොටසක් තියෙනවා. අපි ඒ වගකීම ඉෂ්ට කළාම තමයි මුළු සැලැස්ම අපිට සාර්ථක වෙන්නේ කියන එක ගැන අපි තර්කයක් නෑ. ඒ අනුව තමයි අපි වැඩකරගෙන යන්නේ
මට හිතෙනවා අපේ ප්‍රතිපත්තිය අපිට වඩා විපක්ෂය පාඩම් කරලා තියෙනවා කියලා. ඒකෙ තියෙන පිටු, අංක, ඡේද දක්වා කටපාඩම් කරගෙන ඉන්නේ. මම ඉතාමත්ම ආදරෙන් මතක් කරන්නේ ඒක අපේ අවුරුදු පහක සැලැස්ම. අපිට මේ රට ගැන දීර්ඝකාලීන දැක්මක් තියෙනවා.
වසර පහකට පස්සේ මැතිවරණයක් එනවා එදාට අපි මැතිවරණ වේදිකාවල අපේ ප්‍රගතිය ගැන තර්ක කරමු.
අද විපක්ෂයෙන් චෝදනාවක් කරනවා ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ කියලා. බහුපක්ෂ ක්‍රමය අනතුරේ කියලා. මම කැමතියි විපක්ෂයෙන් අහන්න කොහේද ප්‍රජාතන්ත්‍රවාදය අනතුරට ලක්වෙලා තියෙන්නේ කියලා. අපි මේ පාර්ලිමේන්තුවට තිබිය යුතු මූල්‍ය වගකීම පිළිබඳ සම්පූර්ණ බලය දීලා ක්‍රියාත්මක වෙන්නේ. අපි නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රජාතන්ත්‍ර විරෝධයද? නීතියක් ක්‍රියාත්මක කිරීමේදී තරාතිරම බලන්නැතුව නීතිය ක්‍රියාත්මක කිරීම ප්‍රජාත්‍රන්ත විරෝධීද?
දැන් ඔබතුමාලා පක්ෂ ගණනාවක ඉඳලා එකතුවෙලා තිබෙනවා. පක්ෂ ගනනාවක් එක පක්ෂයක් උනාම බහු පක්ෂ ක්‍රමය අනතුරේ තමයි. එහෙම බැලුවම බහු පක්ෂ ක්‍රමය ඇත්තටම අනතුරේ දාලා තියෙන්නේ විපක්ෂය විසින්. තමන්ගේ පක්ෂ ආරක්ෂා කරගන්න, තමන්ගේ පක්ෂ ගොඩනගා ගන්න, තමන්ගේ පක්ෂ ජනතාවට දැනෙන විදියට ජනතාව නියෝජනය කරන විදියට ගොඩනගන්න අපොහොසත් වීම තුළින් අද රටේ බහු පක්ෂ ක්‍රමයට අනතුරක් තියෙනවා නම් ඒ අනතුර එල්ල වෙලා තියෙන්නේ විපක්ෂයෙන්.
බහු පක්ෂ ක්‍රමය නැති කරන්න රජයට කිසිම වුවමනාවක් නෑ, අපිට ඒක කරන්න වෙලාවකුත් නෑ. අපි බලයට පත් වුණේ විපක්ෂය වෙනුවෙන් නෙමෙයි. මේ රටේ ජනතාව වෙනුවෙන් මේ රට හදන්නත් මේ රටේ ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්නත්. අපි ඒක අරමුණු කරගෙන ගමනක් යනකොට දේශපාලනය වෙනස් වෙනවා. ජනතාව දේශපාලනයෙන් බලාපොරොත්තු වෙන දේ වෙනස් වෙනවා. ඒක තමයි ඇත්තටම මෙතන සිද්ධ වෙමින් තියෙන ලොකුම පරිවර්තනය. රටේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති වෙලා තියෙනවා. ජනතාව නැවත වතාවක් ඒ පැරණි ක්‍රමයට යන්නේ නැහැ. අන්න ඒ අලුත් වෙන දේශපාලන සංස්කෘතිය හරියට තේරුම් අරගෙන ඔබේ පක්ෂ ඒ වෙනස් වෙන දේට අනුගත නොවී පරණ එකේ එල්ලිලා ඉන්න තාක් ඔබට මේක තේරුම් ගන්න බැහැ.
විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි මේ අයවැය තුළ අපි අත්හැරපු, නොසලකා හැරපු කිසිම ක්ෂේත්‍රයක්, කිසිම සමාජ කණ්ඩායමක් නෑ. ඉතාමත්ම පිළිවෙලට එකින් එක මේ රටේ තියෙන ප්‍රශ්න හරියට හඳුනාගෙන රැකවරණය අවශ්‍ය ජන කණ්ඩායම් හරියට හඳුනාගෙන අවුරුද්දක් තුළ ඒ වෙනුවෙන් කළ හැකි දේ සහ දීර්ඝ කාලීනව පෙළ ගස්වමින් ව්‍යුහාත්මක ප්‍රශ්න විසඳීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනත් සිතමින් වසරක් තුළ අපි කරන්න පුළුවන් දේ ඉතාමත්ම පැහැදිලිව ඉතාමත්ම තර්කානුකූළව සැලසුම් සහගතව ඉදිරිපත් කරලා තියෙනවා. කිසිම කරුණක් අත ඇරලා ගිහිල්ලා තියෙනවා කියලා කියන්න බෑ.
රට ස්ථාවර වුණයින් පස්සේ ඊළඟ පියවර හැටියට රටේ වර්ධනය ලබාගන්නේ කොහොමද, අර පිරී ඉතිරිලා ගිහිල්ලා තියෙන භාණ්ඩාගාරයේ මුදල් හරියට කළමනාකරණය කරමින් ජනතාවට ඒකෙ ප්‍රතිලාභ ලබාදෙන්නේ කොහොමද වගේම, නැවත ආර්ථික අර්බුධයක් එන එක වළක්වන්නේ කොහොමද යන මේ සියල්ල ගැන හිතමින් මෙම අය වැය සකස් කර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය





