අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ජීවන තත්ත්වයන් නංවාලීම පිණිසත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විදේශ දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදේශීය සංවර්ධන සහයෝගීතා ආයතන හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍රණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

දරුවන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීමට අවශ්‍ය කටයුතු රජයක් ලෙස ඉටු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ලෝකය දෙස නිර්මාණශීලීව සහ විවේචනාත්මකව බලන්නට පුළුවන් දක්ෂ දරුවන් පිරිසක් අප සතුව සිටින බවත්, ඔවුන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ ජුලි 04 දින පැවති අරුමැසිය ප්‍රදර්ශනය විවෘත කිරීම සහ තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

විද්‍යාලොක විද්‍යාලයේ දරුවන්ගේ නවෝත්පාදන සහ කුසලතා ඇතුළත් ප්‍රදර්ශනය විවෘත කළ අග්‍රාමාත්‍යතුමිය ඔවුන්ගේ දක්ශතා ඇගයීමට ලක් කළාය. අනතුරුව විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීම ද සිදු කෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපේ රටේ පළමු අගමැතිනිය අධ්‍යාපනය ලැබූ බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන මේ සුවිශේෂී උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.

මම මේ විද්‍යාලයේ දූ දරුවන්ගේ අපූර්ව නිර්මාණ සහ නව නිපැයුම් ඇතුළත් ප්‍රදර්ශනය නැරඹුවා. එහිදී මා දැක්කා හුදෙක් පෙළපොතට පමණක් සීමා නොවී, ලෝකය දෙස නිර්මාණශීලීව සහ විවේචනාත්මකව බලන්නට පුළුවන් දක්ෂ දරුවන් පිරිසක් අප සතුව සිටිනවා කියලා.

කටපාඩම් කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදී, ප්‍රායෝගික සහ කුසලතා පූර්ණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙමින් සිටිනවා. මේ යටතේ, එළඹෙන 2027 වසර තුළ ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන සියලුම මූලික සූදානම් වීම් මේ වන විටත් ඉතාමත් සැලසුම් සහගතව අප අවසන් කරමින් පවතිනවා.

පාසලෙන් ලෝකයට යන සෑම දරුවෙකුටම තමන් සතු සහජ දක්ෂතාවලට ගැළපෙන, වෘත්තීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය සහ තාක්ෂණික පුහුණුවක් ලබාදීම අපේ අනිවාර්ය ඉලක්කයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේම, වෘත්තීය අධ්‍යාපනයත් එක හා සමාන ගෞරවයක් සහ වටිනාකමක් සහිත ක්ෂේත්‍රයක් බවට අප පරිවර්තනය කරනවා.

අවසාන වශයෙන් මේ ප්‍රදර්ශනය සංවිධානය කළ බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත්, මේ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වූ ආදරණීය දූ දරුවන්ට සහ මව්පියන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ, බලංගොඩ නගාරාධිපතිතුමන් සහ නාගරික මන්ත්‍රීවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක, විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, දුදරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ ක්‍රමය සංවිධානයේ (Colombo Plan) 75 වැනි සංවත්සරය සැමරේ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට කොළඹ ක්‍රමය සංවිධානයෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුයි

කොළඹ ක්‍රමය සංවිධානය (Colombo Plan) 75 වැනි සංවත්සර සැමරුම් උත්සවය ජූලි 03 දින කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය,

ආසියාවේ බොහෝ රටවල් නිදහස කරා යන ගමනේදී නැවත ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනයේ දැවැන්ත අභියෝගවලට මුහුණ දී සිටි වකවානුවක, එනම් මීට වසර 75 කට පෙරයි මෙම ආයතනය බිහි වූණේ.

මෙම ආයතනය අප රටේ ​“කොළඹ” නමින් හැඳින්වීම සහ ඒ වෙනුවෙන් සත්කාරකත්වය සැපයීමට ලැබීම රටක් වශයෙන් මහත් ගෞරවයක්.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, තිරසාර ප්‍රවාහන පද්ධති සහ ශක්තිමත් සැපයුම් ජාලයන් ගොඩනැඟීමට උත්සාහ කරන වර්තමාන වටපිටාව තුළ, කොළඹ ක්‍රමය යටතේ මෙරට බලශක්ති, කෘෂිකර්මාන්ත, වාරිමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල සිදුකළ මුල්කාලීන ආයෝජන තවමත් ශ්‍රී ලංකාවේ සංවර්ධන පදනමේ වැදගත් කොටසක් ලෙස පවතිනවා.

විශේෂයෙන්ම, තාරුණ්‍යය, මහජන සෞඛ්‍යය සහ සමාජ ස්ථාවරත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා කොළඹ ක්‍රමයේ ​“මත්ද්‍රව්‍ය උපදේශන වැඩසටහන” ඉටුකරන මෙහෙවර අගය කළයුතුයි. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය මෙම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙනවා. ඒ සඳහා කොළඹ ක්‍රමය ලබාදෙන සහයෝගය අගය කරන්න අවශ්‍යයි.

වර්තමාන ලෝකය තාක්ෂණික වෙනස්කම්, දේශගුණික අභියෝග සහ භූ-දේශපාලනික බලපෑම් හේතුවෙන් 1951 වසරට වඩා බෙහෙවින් වෙනස් සහ සංකීර්ණ වී තිබෙනවා. එහිදී කොළඹ ක්‍රමය වැනි කලාපීය සංවිධානවල කාර්යභාරය වර්තමානයට ගැලපෙන පරිදි වඩාත් පුළුල් හා නම්‍යශීලී විය යුතුයි. එසේම, අධ්‍යාපන සහ මානව ප්‍රාග්ධන සංවර්ධන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ නව පරපුර අතර ජාත්‍යන්තර සහයෝගීතාවයේ අගය පිළිබඳව සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවයද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.

පසුගිය වසර හතරක කාලය තුළ කොළඹ ක්‍රමය සංවිධානයේ මහලේකම්වරයා ලෙස සුවිශේෂී සේවාවක් ඉටුකර සමුගත් ආචාර්ය බෙන්ජමින් පී. රෙයස් මහතා වෙත විශේෂ උපහාර පිරිනැමීමක් සිදු කළ අතර කොළඹ ක්‍රමයේ නව මහලේකම්වරිය ලෙස වැඩභාර ගත් එච්.ඊ. චුලමී චාර්ට්සුවන් (H.E. Chulamee Chartsuwan) මහත්මිය ද මෙහිදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව 75 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් සහ ​“Colombo Plan 75 Years – 75 Stories” නමැති විශේෂ ග්‍රන්ථය නිල වශයෙන් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි සහ කොළඹ ක්‍රමය සංවිධානයඒ කවුන්සිල සභාපතිනි ට්‍රින් ති ටෑම් ( Trinh Thi Tam) මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සිය ධූර කාලය අවසන් කරන ස්විට්සර්ලන්ත තානාපතිවරිය අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි.

සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, ආචාර්ය සිරි වෝල්ට් (H.E. Dr. Siri Walt) මහත්මිය 2026 ජූලි 03 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූවාය.

තානාපතිනිය පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඇයගේ ධුර කාලය තුළ ලබාදුන් දායකත්වය අගය කළාය.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව, විශේෂයෙන් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැලපෙන සහ තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කරන වෘත්තීය පුහුණු වැඩසටහන් දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතා මත පදනම් වූ වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රම බලකායේ කුසලතා ඉහළ නැංවීම, රැකියා අවස්ථා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදිය හැකි බව තානාපතිනිය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙපාර්ශ්වීය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර ප්‍රථම ලේකම් Justine Boillat, සංක්‍රමණ කටයුතු භාර ප්‍රථම ලේකම් Andrea Kienast, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

​ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුලි 03 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

​2024 අංක 37 දරන කාන්තා සබලගැන්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී දූත පිරිස විසින් අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කරන ලද අතර කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ ඉදිරියට ගෙනයෑම මෙන්ම කාන්තාවන් සබලගැන්වීමේ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනය මෙම ජාතික කාන්තා කොමිෂන් සභාව බව ද නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

​මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කොමිෂන් සභාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර ශ්‍රී ලංකාව තුළ කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සබලගැන්වීම වෙනුවෙන් කොමිෂන් සභාව පෙනී සිටීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළාය.

​මෙම අවස්ථාව සඳහා කොමිෂන් සභාවේ සභාපතිනී ග්‍රේස් ආසිරිවාදම්, කොමසාරිස්වරුන් වන ජයන්ති කුරුඋතුම්පාල, ජනහා සෙල්වරාස්, ආචාර්ය පද්මා ගුණරත්න, එම්.යූ. ගයානි සහ විධායක අධ්‍යක්ෂිකා කේ.ඩී.ආර්. ඔල්ගා යන මහත්මියන් එක්ව සිටියහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් මඟින් ගෙවීම් පහසුකම අරඹයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

විනිවිදභාවයෙන් යුතුව ජනතාවට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම රජයේ අරමුණයි

“ඩිජිටල්කරණය” තුළින් මහජන සේවාවන් වඩාත් කාර්යක්ෂම, විනිවිදභාවයකින් යුක්ත හා පහසු ආකාරයෙන් ලබාදීමේ ජාතික වැඩපිළිවෙල ශක්තිමත් කරමින්, රාජ්‍ය ආයතන වෙත බැංකු කාඩ්පත් මගින් (POS යන්ත්‍ර හරහා) මුදල් ගෙවීමේ නව පහසුකම හඳුන්වාදීමේ සමාරම්භක උත්සවය අද (ජූලි 02) තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ඒ අනුව තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිම් මහලේ පිහිටි රෙජිස්ට්‍රාර් අංශයේ සහ 4 වන මහලේ පිහිටි වාහන ආදායම් බලපත්‍ර අංශයේ POS යන්ත්‍ර විවෘත කර සංකේතාත්මකව උප්පැන්න සහතික සහ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අග්‍රාමාත්‍යතුමියගේ සහභාගීත්වයෙන් සිදුවිය.

කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මඟපෙන්වීම යටතේ ලංකා බැංකුවේ (BOC) මූල්‍ය හා තාක්ෂණික අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් කොළඹ දිස්ත්‍රික්කය තුළ පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 ක් ආවරණය වන පරිදි මහජනතාවගෙන් ගාස්තු අයකරන අවස්ථාවන්හිදී ක්‍රෙඩිට් (Credit) සහ ඩෙබිට් (Debit) කාඩ්පත් භාවිතයෙන් ආරක්ෂිතව ගෙවීම් සිදුකිරීමට මෙමගින් අවස්ථාව සැලසේ.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

වර්තමාන ලෝකයේ වේගයෙන් සිදුවන ඩිජිටල්කරණයට අනුගත වෙමින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශය නවීකරණය කිරීම රජයේ ප්‍රධාන අරමුණයි. මෙම ක්‍රමවේදය හරහා සේවාලාභීන්ට මුදල් රැගෙන පැමිණීමේ අවදානම මඟහැරෙනවා, ඉතා කෙටි කාලයකින් තමන්ට අවශ්‍ය සේවාවන් කාර්යක්ෂමව ලබාගැනීමට හැකියාවත් මේ මගින් ලැබෙන බවද පැවසුවාය.

අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයන්හි ඇරඹෙන නව POS ගෙවීම් ක්‍රමවේදය හරහා ජනතාවට මුදල් නෝට්ටු ළඟ තබාගෙන යාමකින් තොරව බැංකු කාඩ්පත් මගින් සෘජුවම ගෙවීම් සිදුකිරීමේ හැකියාව,ගනුදෙනු ඉතා ඉක්මනින් නිමකළ හැකි බැවින්, ජනතාවට සේවාවන් ලබාගැනීමට ගතවන කාලය අවම වීම, විශාල මුදල් ප්‍රමාණයක් අත තබා ගැනීමට අවශ්‍ය නොවන බැවින් මූල්‍ය වංචා හා මුදල් අස්ථානගත වීමේ අවදානම අවම වීම,

නවීන තාක්ෂණය භාවිතයෙන් ගෙවීම් සිදුකිරීම හරහා රටේ සමස්ත ඩිජිටල් ආර්ථික සංවර්ධනයට දායක වීම, සියලුම ගනුදෙනු විගණනයට ලක්කිරීම පහසු වන අතර, රජයේ ආදායම් නිවැරදිව වාර්තාගත වීම යන ප්‍රතිලාභ හිමි වේ. අද දින සිටම කොළඹ දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් මෙම බැංකු කාඩ්පත් මගින් ගෙවීම් සිදුකිරීමේ සේවාව මහජනතාව සඳහා විවෘතවන අතර මෙමඟින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය තුළ මූල්‍ය පාලනය වඩාත් විනිවිද පෙනෙන සුළු සහ ජනතා හිතකාමී පරිසරයක් කරා පරිවර්තනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු ගරු සභාපති ලක්ෂ්මන් නිපුණආරච්චි මැතිතුමා, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝකබණ්ඩාර මහතා, බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කේ.පී. ප්‍රදීප් යසපාලන මහතා කොළඹ දිස්ත්‍රීක් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක කුමාර මහතා ඇතුළු රෙජිස්ට්‍රාර් ජනරාල් සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ඇතුළු දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සෑම පුරවැසියෙකුගේම භාෂා අයිතියට ගරු කරන, සමානාත්මතාව ආරක්ෂා කරන, විවිධත්වය ශක්තියක් බවට පත් කරන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට අපි කැපවෙනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සෑම පුරවැසියෙකුගේම භාෂා අයිතියට ගරු කරන, සමානාත්මතාව ආරක්ෂා කරන සහ විවිධත්වය ශක්තියක් බවට පත් කරන ශ්‍රී ලංකාවක් ගොඩනැඟීමට රජය කැපවීමෙන් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

රාජ්‍ය භාෂා සතියට සමගාමීව පැවැත්වුණු අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ සමාප්ති උත්සවය අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළා ය.

​ජූලි මස 01 වැනි දින සිට 05 වැනි දින දක්වා පැවැත්වෙන රාජ්‍ය භාෂා සතියේ ’පාසල් දිනයට’ සමගාමීව, රාජ්‍ය භාෂා කොමිෂන් සභාව මඟින් සංවිධානය කරනු ලැබූ අන්තර් පාඨශාලීය විවාද තරගාවලියේ සමාප්ති උත්සවය අද (ජූලි 02) කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ලෝටස් ශාලාවේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාරගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

​මෙම උත්සවයේ දී ​“රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය හා එහි භාවිතය තුළින් ජාතික සංහිඳියාව ගොඩනඟමු” යන තේමාව යටතේ සිංහල හා දෙමළ භාෂාවලින් පැවැති විවාද තරගාවලියේ ජයග්‍රාහී පාසල් කණ්ඩායම් වෙත අග්‍රාමාත්‍යවරිය විසින් සම්මාන හා සහතිකපත් ප්‍රදානය කරන ලදී.

පාසල් සිසුන් අතර ද්විභාෂා භාවිතය තිරසාරව පවත්වා ගැනීම උදෙසා රාජ්‍ය භාෂා කොමිෂන් සභාව විසින් සකස් කරන ලද සංකල්ප පත්‍රිකාවක් ද මෙහිදී අග්‍රාමාත්‍යතුමිය වෙත පිළිගන්වනු ලැබීය.

​උත්සව සභාව ඇමතූ අග්‍රාමාත්‍යතුමිය මෙසේ ද පැවසුවා ය.

​“රාජ්‍ය භාෂා සතිය යනු හුදෙක් භාෂාවන් සමරන සතියක් නොවෙයි. ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම තමන්ගේ භාෂාවෙන් රාජ්‍ය සේවාවන් ලබාගැනීමේ අයිතිය යළිත් තහවුරු කරන සතියක්. ඒ අයිතිය සුරක්ෂිත කිරීම, ශක්තිමත් කිරීම සහ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් අපගේ වගකීම නැවත සිහිපත් කරන අවස්ථාවක්.

​ඒ වගේම රාජ්‍ය භාෂා කොමිෂන් සභාව ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සිදු කරමින්, භාෂා අයිතිවාසිකම් වඩාත් ඵලදායී ලෙස ක්‍රියාත්මක කළ හැකි ආයතනික පද්ධතියක් ගොඩනඟා ගැනීමට අපි කටයුතු කරමින් සිටිනවා. එමඟින් සෑම පුරවැසියෙකුටම සිංහල හෝ දෙමළ භාෂාවෙන් රාජ්‍ය සේවාවන් ලබාගැනීමේ ව්‍යවස්ථාපිත අයිතිය තවදුරටත් තහවුරු වෙනවා.

​අපි ගොඩනඟන්න උත්සාහ කරන්නේ එක් භාෂාවක් අනෙක් භාෂාවට වඩා උසස් යැයි සලකන රටක් නොවෙයි. සෑම භාෂාවකටම සමාන ගෞරවයක් හිමිවන, සෑම පුරවැසියෙකුටම සමාන අයිතියක් සහිත, සාධාරණ සහ සංවේදී රාජ්‍යයක්.”

​මෙහිදී පාසල් දරුවන් අමතමින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවන් මෙන්ම සංඥා භාෂාව ද ඉගෙනීමේ වැදගත්කම අවධාරණය කළ අග්‍රාමාත්‍යතුමිය, “ඔබේ මව් භාෂාව ඔබේ අභිමානය ලෙසත්, අනෙකුත් භාෂාවන් ඔබේ මිත්‍රත්වයේ පාලම ලෙසත් වැළඳගන්න. ඔබ ඉගෙන ගන්නා සෑම නව වචනයක්ම, මිනිසුන් අතර අවබෝධය, විශ්වාසය සහ සංහිඳියාව ශක්තිමත් කරන පියවරක් බව කිසිදා අමතක කරන්න එපා" යනුවෙන් ප්‍රකාශ කළා ය.

උත්සව සභාව ඇමතූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පෙන්වා දුන්නේ, දශක ගණනාවක් පුරා මෙරට පැවති ජනවාර්ගික ගැටුම් දෙස බැලීමේදී විවිධත්වය මර්දනය කිරීමෙන් නොව, එය ගෞරවයෙන් පිළිගැනීමෙන් පමණක් තිරසාර සාමය ගොඩනැඟිය හැකි බව තහවුරු වන බවයි. තමන්ගේ භාෂාව, ආගම, ජනවාර්ගිකත්වය හෝ සංස්කෘතිය කුමක් වුව ද සෑම පුරවැසියෙකුටම සමාන ගෞරවය සහ සමාන අයිතිවාසිකම් හිමිවන රටක් ගොඩනැඟීම අපේ දරුවන් වෙත දායාද කළ යුතු වැදගත්ම ජාතික උරුමය බව ද අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

ජාතික සමඟිය ගොඩනැඟීමට නම් සියලු දෙනා එක් භාෂාවක් කතා කිරීම නොව, එකිනෙකාගේ භාෂාවන්ට සහ සංස්කෘතීන්ට ගෞරව කිරීම අත්‍යවශ්‍ය බව පැවසූ අමාත්‍යවරයා, රට තුළ සාමය තහවුරු වන්නේ බලයෙන් හෝ වෛරයෙන් නොව එකිනෙකා කෙරෙහි දක්වන ගෞරවය හා ශිෂ්ටසම්පන්න මනුෂ්‍යත්වය මත බව ද සඳහන් කළේ ය.

​මෙම අවස්ථාවට රාජ්‍ය භාෂා කොමිෂන් සභාවේ සභාපති ජ්‍යේෂ්ඨ නීතිඥ නිමල් ආර්. රණවක මහතා ඇතුළු කොමිෂන් සභා සාමාජිකයන් වන ජ්‍යේෂ්ඨ මහාචාර්ය සඳගෝමි කෝපරහේවා, මහාචාර්ය එස්. ජේ. යෝගරාජා, ආචාර්ය සී. ඩී. එච්. එම්. ප්‍රේමරත්න, රාජ්‍ය භාෂා කොමසාරිස් ජෙනරාල් තිලක් නන්ද හෙට්ටිආරච්චි යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්, ආරාධිත අමුත්තන්, ගුරු භවතුන් සහ පාසල් දරු දැරියන් පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය