අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

කෘත්‍රිම බුද්ධියට (AI) සරලව අනුගත වීම පමණක් නොව, ප්‍රතිපත්ති, ආචාරධර්ම සහ සියලුදෙනා ඇතුළත් පාලන ක්‍රමවේදයන් මඟින් එහි අනාගතය හැඩගැස්වීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතුයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

කෘත්‍රිම බුද්ධියට (AI) සරලව අනුගත වීම පමණක් නොව, ප්‍රතිපත්ති, ආචාරධර්ම සහ සියලුදෙනා ඇතුළත් පාලන ක්‍රමවේදයන් මඟින් එහි අනාගතය හැඩගැස්වීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය 2026 මැයි 8 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ සෙනෙට් ශාලාවේදී පැවති රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා AI ප්‍රතිපත්ති රාමුව දියත් කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වෙමින් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු එක්සත් ජනපද තානාපති කාර්යාලය සමඟ එක්ව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් මෙහෙයවන ලද රාජ්‍ය විශ්වවිද්‍යාල සඳහා AI ප්‍රතිපත්ති රාමුව දියත් කිරීමේ මෙම වැඩසටහන මඟින්, ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ කෘත්‍රිම බුද්ධිය සදාචාරාත්මක ලෙස සහ වගකීමකින් යුතුව යොදා ගැනීම සඳහා පුහුණු කිරීමට ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇත.

මෙම අවස්ථාවට සමගාමීව ප්‍රතිපත්ති සම්පාදකයින් සහ AI විශේෂඥයින් එක්ව AI ප්‍රතිපත්ති රාමුව පිළිබඳව සහ එය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කරන ලදී. මෙම වැඩසටහනෙහි පිළිගැනීමේ කතාව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා විසින් සිදු කරන ලද අතර, UGC හි උප සභාපති මහාචාර්ය කේ. එල්. වසන්ත කුමාර මහතා යෝජිත ක්‍රියාත්මක කිරීමේ සැලසුම් ඉදිරිපත් කළේය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, වේගයෙන් වෙනස්වන තාක්ෂණය, විශේෂයෙන්ම කෘතිම බුද්ධිය තුළ අවස්ථා මෙන්ම අවදානම ද අන්තර්ගත වන බව අවධාරණය කළා ය. “අපි වර්තමානයේ කටයුතු කරමින් සිටින්නේ ඉතා වේගයකින් වෙනස්වන තාක්‍ෂණයක් සමගයි. ඒ නිසා එහි නිසි භාවිතය සඳහා ප්‍රතිපත්ති මෙන්ම පාලනය සහ ක්‍රියාත්මක කිරීම සඳහා ශක්තිමත් පද්ධති තිබීම අත්‍යවශ්‍යයි,” යනුවෙන් අග්‍රාමාත්‍යවරිය සඳහන් කළා ය.

විශ්වවිද්‍යාල යනු දැනුම ලබා දෙන, දැනුම බෙදා හරින, සොයාගැනීම්වලට අභියෝග කරමින් නව දැනුම සොයා යන අවකාශයක් වන බැවින් උසස් අධ්‍යාපනයට කෙරෙහි AI හේතුවෙන් ඇති වී ඇති බලපෑම අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය. AI බලපෑම හේතුවෙන් සමාජ විද්‍යාව සහ මානව ශාස්ත්‍රවේදය වැනි ක්ෂේත්‍රයන් අභියෝගවලට ලක් වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය, මෙම ප්‍රතිපත්ති රාමුව විනය මූලික කරගත් ප්‍රතිපත්ති රාමුවක් ලෙස සකස් කළ යුතු බව අවධාරණය කළාය.

ප්‍රතිපත්ති පුළුල් ලෙස සලකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳ අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, AI මඟින් අධ්‍යාපන පද්ධතිය තුළ පවතින අසමානතාවයන් තවදුරටත් වර්ධනය නොවීමට වගබලාගත යුතු බව අවධාරණය කළාය. මෙම AI ප්‍රතිපත්ති රාමුව හරහා ආබාධ සහිත සිසුන්ට සහාය වීම සහ භාෂා සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලු ආමන්ත්‍රණය කිරීම සඳහා තාක්ෂණය භාවිත කිරීම ඇතුළුව, ප්‍රතිපත්ති රාමුවෙහි පවතින දුර්වලතා මඟ හරවා ගනිමින් වඩාත් ඇතුළත් ඉගෙනුම් පරිසරයන් නිර්මාණය කිරීම සඳහා යොදා ගත යුතු බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් පෙන්වා දුන්නාය.

අධ්‍යයන කාර්ය මණ්ඩලය හා සිසුන් අතර සන්නිවේදනය සහ ක්‍රියාකාරකම් දිරිමත් කිරීම සඳහා මෙම AI ප්‍රතිපත්ති රාමුව ක්‍රියාත්මක කිරීමේදී උපදේශාත්මක ප්‍රවේශයක අවශ්‍යතාවය ද අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නා ය. නිවැරදි භාවිතය අධ්‍යයන ප්‍රජාව අතර පවතින සංවාද සහ ප්‍රතිචාර දැක්වීම් මත රඳා පවතින බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සඳහන් කළාය.

පර්යේෂණ සඳහා අවස්ථා ශක්තිමත් කිරීම සහ ගෝලීය තාක්ෂණික වෙනස්වීම්වලට ප්‍රතිචාර දැක්වීමේදී ශ්‍රී ලංකාව ක්‍රියාශීලීව ලෙස ප්‍රතිචාර දක්වන බව සහතික කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කළ අතර කෘතිම බුද්ධියේ ප්‍රතිලාභ ඵලදායී ලෙස යොදා ගැනීම සඳහා දේශීය මට්ටමින් විශේෂඥතා දැනුම ලබා දීම සහ නැගී එන ප්‍රවණතාවලට අවස්ථා ලබා දීම වැදගත් වන බව අවධාරණය කළාය.

AI ප්‍රතිපත්ති රාමුව හඳුන්වා දීම හරහා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කෘතිම බුද්ධිය සඳහා ව්‍යුහගත ප්‍රවේශයක අවශ්‍යතාවය පිළිබඳ පිළිබිඹු කරන අතර, වගකීම, සමානාත්මතාවය සහ දිගුකාලීන සමාජ බලපෑම සමඟ නවෝත්පාදනය තුලනය කිරීම කෙරෙහි අවධානය යොමු කරයි.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඩිජිටල් අධ්‍යාපනය සාර්ථක වීමට යටිතල පහසුකම් මෙන්ම ගුණාත්මක අන්තර්ගතය සහ ගුරු පුහුණුව අත්‍යවශ්‍යයි. – අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

මෙරට අධ්‍යාපන පද්ධතිය ඩිජිටල්කරණය කිරීමේදී අවශ්‍ය යටිතල පහසුකම් සම්පූර්ණ කිරීමට සමගාමීව, ඉගැන්වීම් අන්තර්ගතයන් (Content) සංවර්ධනය කිරීම සහ ගුරුවරුන් නිසි ලෙස පුහුණු කිරීම අත්‍යවශ්‍ය සාධක බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අවධාරණය කළාය.

ඩිජිටල් කාර්ය සාධක බලකායේ මෙහෙයවීම මත ​ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයන් සහ මෙරට මෘදුකාංග ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් පිරිසක් සමඟ මැයි 08 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.

​ස්මාර්ට් පන්තිකාමර තුළ යූටියුබ් (YouTube) වීඩියෝ ප්‍රදර්ශනය කිරීමට පමණක් සීමා නොවී, විෂය නිර්දේශයට අදාළ ගුණාත්මක ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය මෙහිදී පෙන්වා දුන්නාය. විවිධ පෞද්ගලික වේදිකා ඔස්සේ අන්තර්ගතයන් ඉදිරිපත් කරනවා වෙනුවට, සියලුම අධ්‍යාපනික ද්‍රව්‍ය ’ඊ-තක්සලාව’ වැනි රජයේ නිල පද්ධතියක් හරහා ප්‍රමිතියකින් යුතුව ලබාදීමේ වැදගත්කම ද ඇය වැඩිදුරටත් පැහැදිලි කළාය.

​විශේෂයෙන්ම ගුරුවරුන් පුහුණු කරන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 20 මූලික කරගනිමින් ඩිජිටල් පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළාය. වසරකට පුහුණුව ලබන ගුරු සිසුන් 6,000ක් පමණ තාක්ෂණයට හුරු කිරීම හරහා පාසල් පද්ධතිය තුළ සැබෑ ගුණාත්මක වෙනසක් ඇති කළ හැකි බව ද එහි දී පැවසීය.

​තෝරාගත් පාසල් 100ක් සඳහා සුහුරු පන්තිකාමර (Smart Classrooms) ඉදි කිරීමට කටයුතු කරන බවත්, එහි පළමු අදියර යටතේ පාසල් 50ක් සඳහා පහසුකම් ලබා දෙන අතර, ඉතිරි පාසල් 50 සඳහා ඉදිරියේදී එම පහසුකම් සපයන බවත් මෙහිදී අනාවරණය විය. මීට අමතරව ඩිජිටල් ඉගෙනුම් වේදිකාවන් නොමිලේ රජයට ලබාදීමටත්, කෘත්‍රිම බුද්ධිය (AI) වැනි නවීන තාක්ෂණය යොදාගනිමින් අධ්‍යාපන අන්තර්ගතයන් නිර්මාණය කිරීමට සහාය වීමටත් තමන් සූදානම් බව සාකච්ඡාවට එක්වූ ජාත්‍යන්තර රොටරි සමාජයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ.

​මෙම ව්‍යාපෘති දිගුකාලීනව පවත්වාගෙන යාම සඳහා රජය සහ පෞද්ගලික අංශය අතර විධිමත් ගිවිසුම්ගත ක්‍රමවේදයක් පැවතීමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. විශේෂයෙන් පාසල්වල විදුලි පිරිවැය සහ අන්තර්ජාල සම්බන්ධතා ගාස්තු වැනි ප්‍රායෝගික ගැටලු කළමනාකරණය කරමින් මෙම ක්‍රියාවලිය ක්‍රමානුකූලව සිදු කිරීම පිළිබඳව දෙපාර්ශ්වය දීර්ඝව සාකච්ඡා කළහ.

​අධ්‍යාපන පද්ධතියේ ඩිජිටල් පරිවර්තනය සඳහා වූ පස් අවුරුදු සැලැස්ම ඉදිරියේදී අවසන් කරන බවත්, එම සැලැස්ම තුළ හඳුනාගෙන ඇති ප්‍රමුඛතා අනුව සිය දායකත්වය ලබාදෙන ලෙසත් අග්‍රාමාත්‍යවරිය රොටරි නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටියාය.

​මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් ඒ.බී.එම්. අෂ්රෆ් යන මහත්වරුන් ඇතුළු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන, අමාත්‍යාංශවල නිලධාරීන්, ඩිජිටල් කාර්ය සාධක බලකායේ නියෝජිතයන් සහ Creative Software හා Cambio Software Engineering ආයතනවල නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම් ජනාධිපති පාර්ලිමේන්තුව අමතයි

දෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (07) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහ ලේකම් ටෝ ලම් (To Lam) මහතා ඇතුළු දූත පිරිස බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු මැති ඇමතිවරුන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

අනතුරුව අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී නිල රාජ්‍ය පිළිගැනීමේ උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර පසුව දෙරට අතර ගිවිසුම් අත්සන් කිරීම ද සිදු කෙරිණි.

පසුව මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සඳහා පැමිණි වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහ ලේකම් ටෝ ලම් (To Lam) මහතාව, රාජ්‍ය නායකයෙකුට පිරිනමන සියලු ගෞරවාචාර සහිතව කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න විසින් පිළිගැනීමෙන් අනතුරුව පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිස පාර්ලිමේන්තුව ඇමතීම ආරම්භ විය. මෙලෙස විදෙස් රාජ්‍ය නායකයෙකු මෙරට පාර්ලිමේන්තුව ඇමතීම සිදු වූයේ වසර 11කට පසුවය.

පාර්ලිමේන්තුව ඇමතූ වියට්නාම් ජනාධිපති ටෝ ලම් මහතා,

​භූගෝලීය වශයෙන් වියට්නාමය සහ ශ්‍රී ලංකාව ඈතින් පිහිටා තිබුණද, අපගේ ඉතිහාසය, සංස්කෘතිය සහ සංවර්ධන අභිලාෂයන් අපව සමීප කර තිබෙනවා. ජාතීන් දෙකම දිගුකාලීන සම්ප්‍රදායක් සහ පොහොසත් අනන්‍යතාවයක් දරන අතර කරුණාව, ඉවසීම සහ සහජීවනය අගය කරනවා. බුද්ධාගම සහ පෙරදිග සංස්කෘතික වටිනාකම් එක් එක් ජාතීන් තුළ සාමය, මනුෂ්‍යත්වය සහ ප්‍රජා හැඟීම පෝෂණය කිරීමට උපකාරී වී තිබෙනවා.

​1970 ජූලි 21 දින රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇති කර ගත් දා සිට, වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතාව අර්ධ ශතවර්ෂයකට වඩා වැඩි කාලයක් පුරා වර්ධනය වුණා. පසුගිය වසරේ අපි රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 55 වැනි සංවත්සරය සැමරුවා. අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාගේ වියට්නාමයේ සංචාරයේදී හෝ චි මිං නගරයේ පැවති ජාත්‍යන්තර වෙසක් දින සැමරුමටත් සහභාගී වුණා.

​මෙම සිදුවීම්වලින් පෙන්නුම් කරන්නේ දෙරට අතර සබඳතාවය ගොඩනැගී ඇත්තේ හුදු රාජ්‍ය තාන්ත්‍රික ලියකියවිලි මත පමණක් නොව, අපේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය අවබෝධය, විශ්වාසය සහ අවංකභාවය මත බවයි.

​අද දින, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව හමුවේ, වියට්නාමයේ සංවර්ධන ගමන, විශේෂයෙන්ම පසුගිය වසර හතළිහක ’ඩෝයි මොයි​’ (Doi Moi) ප්‍රතිසංස්කරණ ගැන කතා කිරීමට මම කැමතියි.

​වසර හතළිහකට පෙර, 1986 දී ​’ඩෝයි මොයි​’ (නවෝදය) ආරම්භ කරන විට, වියට්නාමය අනේකවිධ දුෂ්කරතාවන්ට මුහුණ දී සිටියා. රට යුද්ධයෙන් පීඩාවට පත්ව, යටිතල පහසුකම් විනාශ වී, ආර්ථිකය අඩාල වී ජනතාව දැඩි දරිද්‍රතාවයෙන් පසුවුණේ. වියට්නාමය ’ඩෝයි මොයි’ තෝරා ගත්තේ එවැනි පසුබිමකයි.

​’ඩෝයි මොයි​’ කියන්නේ මූලික වශයෙන් නව චින්තනයක්. අපේ රට දියුණු කිරීමට නම්, අපි සත්‍යයට මුහුණ දිය යුතු බවත්, පවතින යථාර්ථය ඇගයීමට ලක් කළ යුතු බවත්, තවදුරටත් නොගැලපෙන ආයතන වෙනස් කළ යුතු බවත් අපි තේරුම් ගත්තා.

​මධ්‍යගතව සැලසුම් කරන ලද ආර්ථිකයක සිට, වියට්නාමය ක්‍රමයෙන් සමාජවාදී නැඹුරුවක් සහිත වෙළඳපල ආර්ථිකයක් ගොඩනැගුවා. එහිදී රාජ්‍යය මඟ පෙන්වන්නෙකු ලෙස කටයුතු කරන අතරම තරඟකාරිත්වය, නවෝත්පාදනය සහ ජාත්‍යන්තර ඒකාබද්ධතාවය දිරිමත් කළා.

කෘෂිකාර්මික අංශයේදී, වියට්නාමය ගොවීන් සවිබල ගන්වා ආහාර සුරක්ෂිතතාව සහතික කළ අතර, ආහාර හිඟයෙන් පෙළුණු රටක සිට ලොව ප්‍රමුඛතම කෘෂිකාර්මික අපනයනකරුවෙකු දක්වා වර්ධනය කළා. කාර්මික හා සේවා අංශවලදී ආයෝජන සඳහා දොරටු විවෘත කළා, ගෝලීය වටිනාකම් දාමයන්ට සම්බන්ධ වුණා.

​අද වන විට වියට්නාමය ලෝකයේ විශාලතම ආර්ථිකයන් 32 අතරට පැමිණ තිබෙනවා. 2025 වසරේ අපගේ දළ දේශීය නිෂ්පාදිතය (GDP) ඇමරිකානු ඩොලර් බිලියන 514 ක් වූ අතර ඒක පුද්ගල ආදායම ඩොලර් 5,000 ඉක්මවා ගියා. වියට්නාමය ලොව ඉහළම වෙළඳ ආර්ථිකයන් 15 අතර සිටින අතර නිදහස් වෙළඳ ගිවිසුම් 20කට වඩා වැඩි ප්‍රමාණයක සාමාජිකයෙක්.

​වියට්නාමයේ අත්දැකීම් ඇසුරින් අප උගත් පාඩම් කිහිපයක් අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවලට ද ප්‍රයෝජනවත් විය හැකියි.

ලෝකය සමඟ ඒකාබද්ධ වන අතරම තමන්ගේම අභ්‍යන්තර ශක්තිය ගොඩනැගීම අත්‍යවශ්‍ය යි. ඒවගේම සංවර්ධනය සඳහා ස්ථාවර, විනිවිද පෙනෙන සහ සාධාරණ නීතිමය පදනමක් අවශ්‍යයි . පාර්ලිමේන්තුව මෙහිදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා. සංවර්ධනය යනු හුදු GDP වර්ධනය පමණක් නෙමෙයි. එය ජනතාවට වඩා හොඳ ජීවිතයක්, අධ්‍යාපනයක් සහ රැකියා අවස්ථා ලබා දීමයි. ඒ වගේම ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය සංවර්ධනය ස්ථාවරත්වය සඳහා අත්‍යවශ්‍ය යි.

​වියට්නාමය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ​’පුළුල් හවුල්කාරිත්වයක්​’ දක්වා ඉහළ නැංවීමට දෙරට එකඟ වී ඇති බව මම සතුටින් ප්‍රකාශ කරනවා. මෙය දෙරට අතර සහයෝගීතාවයේ නව පරිච්ඡේදයක් වනු ඇති.

මෙම රාමුව යටතේ ​දේශපාලන සහ පාර්ලිමේන්තු සහයෝගීතාව ශක්තිමත් කිරීම, ආර්ථික, වෙළඳ සහ ආයෝජන ක්ෂේත්‍රවල විශාල වෙනස්කම් ඇති කිරීම (දෙරට අතර වෙළඳ ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියනය දක්වා වැඩිකිරීම), ​කෘෂිකර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව සහ ග්‍රාමීය සංවර්ධනය සඳහා සහයෝගීතාව වේගවත් කිරීම, ​ඩිජිටල් පරිවර්තනය, AI සහ හරිත වර්ධනය වැනි නව ක්ෂේත්‍ර දියුණු කිරීම., ​අධ්‍යාපනික, සංස්කෘතික, සංචාරක සහ ජනතාව අතර සබඳතා වර්ධනය කිරීම (විශේෂයෙන් බුද්ධාගම සහ උරුමයන් ආශ්‍රිත සංචාරක ව්‍යාපාරය), ​කලාපීය සහ ජාත්‍යන්තර වේදිකාවල සමීපව කටයුතු කිරීම. යන සහයෝගීතාවයන් යෝජනා කරනවා. ​අවසාන වශයෙන්, ශ්‍රී ලංකාවේ වෙසෙන වියට්නාම ප්‍රජාව කෙරෙහි දිගින් දිගටම අවධානය යොමු කරන ලෙස ශ්‍රි ලංකා රජයෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටින බවද වියට්නාම් ජනාධිපති ටෝ ලම් මහතා පැවසුවේය.

අනතුරුව පාර්ලිමේන්තුව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ශ්‍රි ලංකාව සහ වියට්නාම රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 55වන සංවත්සරය සැමරීම වෙනුවෙන් කළ ආරාධනය පිළිගෙන මෙම රාජ්‍ය සංචාරයේ නිරතවීම පිලිබඳ අපි ඔබතුමාට කෘතඥතාව පළ කරනවා.

ජනාධිපති ධූරයට සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලෙස නැවත පත්වීමෙන් පසු කළාපය තුළ සිදුකරන පළමු විදේශ සංචාරය මෙය වීම විශේෂත්වයක්. වියට්නාම්, ශ්‍රි ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ වී දශක 5කට අධික වුවත් අපගේ සබඳතාව සියවස් ගණනාවක් ඈතට දිවයනවා. ශ්‍රි ලාංකික බෞද්ධ භික්ෂුන් වහන්සෙලා, වෙළඳුන් සහ සංචාරකයින් වියට්නාමය සහ නැගෙනහිර ආසියානු කලාපයේ රටවල් සමඟ සබඳතා ගොඩනැගුවා. දෙරට අතර මුල් කාලින සබඳතා අපගේ ඓතිහාසික සබඳතා වල පදනමයි. කාලයත් සමගමේ සබඳතාව අන්‍යොන්‍ය විශ්වාසය සහ ගෞරවය මත පදනම්ව මල්පල දරා තිබෙනවා.

අසීරු කාලපරිච්ඡෙදයන් වලදි දෙරට අතර සහෝගීතාවයෙන් කටයුතු කර තිබෙනවා. දැඩි භාහිර පීඩනයක් මධ්‍යයේ ශ්‍රි ලංකාව, වියට්නාමය සමඟ රාජ්‍යතාන්ත්‍රික සබඳතා ඇති කරගත්තා. ඊට ප්‍රතිචාර ලෙස වියට්නාමය ජාත්‍යනතරය තුළ නිරන්තරව ශ්‍රි ලංකාවට සහයෝගය ලබා දී තිබෙනවා. දෙරට අතර පවතින සමීප හුවමාරු මගින් දෙරටේ සහයෝගීතාව මනාව පිළිබිඹු වෙනවා. පසුගිය දශක කිහිපය තුළ වියට්නාමය අත්කරගත් විශිෂ්ඨ ප්‍රගතිය හේතුවෙන් අප කළාපයේ වඩාත් ගතික හා ශක්තිමත් ආර්ථිකයක් සහිත රටක් බවට වියට්නාමය පත්ව තිබෙනවා. මෙම සංචාරය ශ්‍රි ලංකාව ඇතුළු තිරසාර සහ සහභාගීත්ව ආර්ථික වර්ධනයක් කරා ගමන් කරන රටවලට ආදර්ශයක්. ඩිජිටල් පරිවර්ථනය ඉහළ ගුනාත්මක වර්ධනය සහ හරිත සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරමින් සංවර්ධනය සඳහා අප දක්වන ප්‍රවේශය අපි උනන්දුවෙන් සිදු කරනවා. එයට අදාල ප්‍රාග්ධනය, මානව සම්පත් සංවර්ධනය සහ හරිත වර්ධනය සඳහා වියට්නාමය ආයෝජනය කර තිබෙනවා. එය අපගේ සංවර්ධන ගමනට ඉතාම සමීපයි. වියට්නාමය කෘෂිකාර්මික ආර්ථිකයේ සිට නවීන ආර්ථිකය දක්වා පැමිණිමේදී ඔබ සතු අත්දැකීම් ප්‍රශංසනීය බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට සියලුම ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, තානාපතිවරුන් සහ අනෙකුත් සම්භාවනීය අමුත්තන් පැමිණ සිටියේය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට අනුකූලව උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද පුළුල් වෙනස්කම් සිදු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපන ක්ෂේත්‍රවල සිදුවන නව ප්‍රතිසංස්කරණවලට අනුගත වෙමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද අදාළ වෙනස්කම් සිදු කිරීමට රජය සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (06) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී මන්ජුල සුගත් රත්නායක මහතා යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද කීවාය.

ඒ වෙනුවෙන් පත් කරන ලද විශේෂඥ කමිටුව පසුගිය මාස හයක කාලය පුරා ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම විද්වත් කමිටුවේ වාර්තාව පදනම් කර ගනිමින් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කරනවා.

2025 වසරේ අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 281,810ක් වන අතර, ඉන් 176,538ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා ඇත. විෂය ධාරා අනුව සුදුසුකම් ලැබූවන් වන්නේ ජීව විද්‍යාව 32,935ක්, භෞතික විද්‍යාව 23,012ක්, වාණිජ 39,608ක්, කලා 58,269ක්, පොදු විෂය ධාරාව 4,199ක්, ඉංජිනේරු තාක්ෂණවේදය 12,472ක් සහ ජෛව පද්ධති තාක්ෂණවේදය 6,043කි. මෙම සිසුන් අතරින් 42,937ක් විශ්ව විද්‍යාල සඳහා බඳවා ගැනීමට අපේක්ෂිතයි.

අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සුරකිමින් විශ්ව විද්‍යාල සිසුන්ගේ පහසුකම් ඉහළ නැංවීමට රජය ප්‍රමුඛතාව ලබා දෙන අතර, පෙර වසරවල ප්‍රථම උපාධි ප්‍රවේශ සංඛ්‍යාව මෙවරත් නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

2025/2026 අධ්‍යයන වර්ෂයේ සිට රුහුණ විශ්ව විද්‍යාලයට ’භූගෝලීය තොරතුරු පද්ධති’ පාඨමාලාව සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ’ඉලෙක්ට්‍රෝනික හා බුද්ධිමය පද්ධති ඉංජිනේරු විද්‍යාව’ පාඨමාලාව අලුතින් හඳුන්වා දී තිබෙනවා. මෙම නව පාඨමාලා දෙක සඳහා සිසුන් 50 බැගින් බඳවා ගැනීමට නියමිත අතර, කඩඉම් ලකුණු නිකුත් කර ලියාපදිංචි නාමලේඛන විශ්ව විද්‍යාල වෙත යැවීමට දැනටමත් පියවර ගෙන අවසන්.

පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. කාදම් මස්තාන් මහතා නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දුන් අග්‍රාමාත්‍යතුමිය,

මෙරට බොහෝ පෙරපාසල් පෞද්ගලික අංශය මඟින් පාලනය වන බැවින් ඔවුන්ට ස්ථිර පත්වීම් හෝ වැටුප් ලබා දීමට අමාත්‍යාංශයට වර්තමානයේ අවකාශයක් නැහැ. කෙසේ වුවත් පළාත් සභා යටතේ පවතින තෝරාගත් පෙරපාසල්වල ස්වෙච්ඡා ගුරුවරුන් සඳහා යම් දීමනාවක් ගෙවීමට දැනටමත් කටයුතු කරමින් පවතිනවා.

2027 වර්ෂය වන විට සමස්ත පෙරපාසල් අධ්‍යාපන ක්‍රමයම වෙනස් කරමින් ප්‍රතිසංස්කරණය කිරීමට අවශ්‍ය කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය එක්ව සිදු කරමින් සිටිනවා.

මීට අමතරව, ජාතික අධ්‍යාපන කොමිසමේ නිර්දේශ මත පෙරපාසල් අධ්‍යාපනය නියාමනය කිරීම සඳහා වන ජාතික ප්‍රතිපත්තියක් 2026 වසරේදී ස්ථාපනය කිරීමට නියමිතයි. ඒ යටතේ ගුරු මාර්ගෝපදේශ හා ආදර්ශ ක්‍රියාකාරකම් සංග්‍රහයන් සකස් කරමින් පළාත් මට්ටමින් ගුරුවරුන් පුහුණු කිරීමේ වැඩසටහන් ද සැලසුම් කර තිබෙනවා.

ස්වෙච්ඡා ගුරුවරුන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය, 2007.01.04 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණයට අනුව නියමිත ගුරු සහයකයින් 4,700 දෙනාට අමතරව කිසිදු ස්වෙච්ඡා ගුරුවරයෙකු බඳවා නොගැනීමට ගෙන ඇති තීරණය තවදුරටත් ක්‍රියාත්මක වන බව අවධාරණය කළාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයට මාලදිවයින් ජනපති සහ මෙරට අගමැතිනිය සහභාගී වෙයි

මාලදිවයින් – ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදය මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතාගේ සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සහභාගිත්වයෙන් මාර්තු 05 දින කොළඹදී පැවැත්වුණි.

මාලදිවයින ජනරජයේ ආර්ථික සංවර්ධන, ප්‍රවාහන හා වෙළඳ අමාත්‍යාංශය විසින් සංවිධානය කරනු ලබන 2026 මාලදිවයින-ශ්‍රී ලංකා ව්‍යාපාරික සංසදයට මාලදිවයින් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළ ව්‍යාපාරිකයින් සහ ආයෝජකයින් සහභාගී විය. මෙම හමුව හරහා විදේශ ආයෝජන අවස්ථා, ප්‍රතිපත්තිමය දිරිගැන්වීම් මෙන්ම දෙරටේ දිගුකාලීන ආර්ථික වර්ධනයට අවශ්‍ය සහාය ලබා දීමට අවස්ථා නිර්මාණය වනු ඇත.

පුරා 60 වසරක ශ්‍රී ලංකා – මාලදිවයින් රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ සඳහන් කළ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු මහතා දෙරට අතර ආර්ථික, නවෝත්පාදන සහ උපායමාර්ගික හවුල්කාරිත්වය ගොඩ නගා ගැනීමේ වැදගත්කම අවධාරණය කළේය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින දිගුකාලීන සහයෝගීතාවය සහ මිත්‍රත්වය පිළිබඳ ඉස්මතු කරමින් ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පවතින ඓතිහාසික සබඳතාව නූතන ආර්ථික හවුල්කාරිත්වයක් දක්වා පරිවර්තනය කිරීමට කාලය එළඹ ඇති බව සඳහන් කළා ය.

සංචාරක, වෙළඳ, ධීවර ක්ෂේත්‍රයන් සහ ඩිජිටල් ආර්ථිකය යන අංශවල සහයෝගීතාවය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ අග්‍රාමාත්‍යවරිය, මේ වනවිට මෙරට තුළ ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණයවී ඇති බව පෙන්වා දුන් අතර ශ්‍රී ලංකාව තුළ වෙළඳ සහ ව්‍යාපාර කටයුතු මෙන්ම ආයෝජන අවස්ථා සඳහා මාලදිවයින් ව්‍යාපාරිකයින් සඳහා ආරාධනා කළා ය.

මෙම අවස්ථාවට මාලදිවයින සහ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් අමාත්‍යවරුන්, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නියෝජිතයින් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

2026 පළමු ශ්‍රේණියට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකයි - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

2027 වසරේ 6 වන ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා.

2026 පළමු ශ්‍රේණියට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව ක්‍රියාත්මක කරමින් පවතින බවත්, 2027 වසරේ 6 වන ශ්‍රේණියට ද එය හඳුන්වා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් විසින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අද (05) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසීය.

2025 වර්ෂයේ උසස් පෙළ සඳහා පෙනී සිටි අයදුම්කරුවන් දෙලක්ෂ විසි එක් දහස් හාරසිය දහතුනයි. පළමු ශ්‍රේණියට ඇතුළත් වූ සිසුන්ගේ ප්‍රතිශතයක් ලෙස එය 65.29%ක්. 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා තුන්ලක්ෂ දාහත් දහස් තුන්සිය විසි හයක් පෙනී සිටියා. එය පළමු ශ්‍රේණියට ඇතුළත් වූ පිරිසෙන් ප්‍රතිශතයක් ලෙස 93.57%ක්. 2023 සාමාන්‍ය පෙළ සඳහා තුන්ලක්ෂ විසි දෙදහස් පන්සිය තිස් හතක් පෙනී සිටියා. එය පළමු ශ්‍රේණියට ඇතුළත් වූ පිරිසෙන් ප්‍රතිශතයක් ලෙස 92.08%ක්. 2024 වර්ෂයේ සාමාන්‍ය පෙළ සඳහා තුන්ලක්ෂ විසි දෙදහස් හත්සිය හතරක් පෙනී සිටියා එය පළමු ශ්‍රේණියට ඇතුළත් වූ පිරිසෙන් 95.15%ක්.

2026 පළමු ශ්‍රේණියට ආරම්භ කළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථකව කරගෙන යනවා. 2027 වසරේ 6 වන ශ්‍රේණියට නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා. ඊට අදාළ විෂය කමිටු පත් කරලා, මොඩියුල සමාලෝචනය කරලා. අවශ්‍ය වෙනස් කම් සාකච්ඡා කරලා ඒ සියල්ල දැන් අවසානයි. මේ මාසය තුළ ඒ මොඩියුල් මුද්‍රණය කරන්න කටයුතු කරනවා. ඒ වගේම ඒ සඳහා අවශ්‍ය ගුරු පුහුණුවත් ජුනි මාසයේ ආරම්භ කරනවා. ඒ සඳහා මුදල් වෙන් කර අවසන්. 2027 දෙවන ශ්‍රේණියටත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරන ආරම්භ කරනවා. ඒ සඳහා අවශ්‍ය මොඩියුල් මුද්‍රණය කරන්න ආරම්භ කර තිබෙනවා.

ඒ වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් ජාතික මෙහෙයුම් කමිටුවක් අපි පත් කර තිබෙනවා. ඒ කමිටුවේ අධීක්ෂණය යටතේ තමයි මේ සියල්ල සිදු වෙන්නේ. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිලිබඳ ගුරුවරුන් සහ දෙමාපියන් දැනුවත් කිරීමේ වැඩසටහනත් ජූලි, අගෝස්තු වනවිට ආරම්භ කරනවා. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයට බාධාවක් එල්ලවෙනවා නම් එල්ල වෙන්නේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ එපා කියන හෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අවුලකට පත්කරලා ආණ්ඩුව අපහසුතාවට පත්කරන්න අරමුණින් මැදිහත් වුණොත් පමණයි. ඒ වගේම ලෝක බැංකුවේ අධාර මේ ප්‍රතිසංස්කරණ සඳහා ලැබී නොමැති බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවා ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වත්මන් කථානායකතුමන් පිළිබඳ ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසීය.

වර්තමාන කථානායකතුමාගේ පෞද්ගලික කාර්යමණ්ඩලයේ සේවක සංඛ්‍යාව 12ක්. අනුමත සේවක සංඛ්‍යාව 20ක්. වර්තමාන කථානායකතුමා කථානායක නිල නිවස ඔහුගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිත කරන්නේ නැහැ. නිල නිවසේ කාර්යමණ්ඩලය ලෙස සේවකයින් අනුමත සංඛ්‍යා 15ක් වුවත් සේවය කරන්නේ 08 දෙනෙක්. එ නිල නිවස විශාල නිල නිවාසයක් ඒනිසා නඩත්තු කටයුතු සඳහා කාර්යමණ්ඩලයක් අවශ්‍යයි.

රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවලදී භාවිත කරන්න අවශ්‍ය වන විට කථානායක නිල නිවස භාවිත කරනවා. ජනාධිපති කාර්යාලයත්, අරලියගහ මන්දිරයත් එවැනි රාජ්‍යත්‍රාන්තික කටයුතු සඳහා භාවිත කරනවා. රාජ්‍ය පරිපාලන, පළාත්සභා සහ පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම්තුමාගේ අත්සනින් යුතු ලිපියක් මගින් කථානායක ධූරය දරණ කාලය සඳහා පමණක් කොළඹ පිහිටි රජයේ නිල නිවාසයක් කථානායකතුමා වෙත වෙන් කර තිබෙනවා. එහි කුළිය කථානායකතුමාගේ මාසික දීමනාවෙන් අඩු කරන්න කටයුතු කර තිබෙනවා. ඒ වගේම එම නිවසේ ජල බිල්පත් සහ විදුලි බිල්පත් කථානායකතුමා විසින් ගෙවනවා.

ඒ වගේම වාහන 07ක් භාවිතය සඳහා යොදවා තිබෙනවා. නමුත් කථානායකතුමා භාවිත කරන්නේ වාහන දෙකක් පමණයි. මෙතෙක් කථානායක ධූරය දැරූ කථානායකවරුන්ට අසීමිත ඉන්ධන කෝටාවක් ලබා දුන් බවත්, නමුත් වත්මන් කථානායකතුමා ඒ ප්‍රමාණය සීමා කර අමාත්‍යවරයෙක්ට ලබාදෙන ඉන්ධන ලීටර් 900ක ප්‍රමාණය පමණක් භාවිත කරන බවත් අග්‍රාමාත්‍යතුමිය පැවසීය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය