කළමනාකරණ සේවා නිලධාරි සේවයේ 447 දෙනෙක් සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ..

කළමනාකරණ සේවා විභාගය සමත් 447 දෙනෙක් සඳහා කළමනාකරණ සේවා නිලධාරි සේවයේ 3ශ්‍රේණියට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රදානත්වයෙන් අද (2023.10.10) අරලිය ගහ මන්දිරයේදී සිදුකෙරිණී.

බඳවා ගැනීමේ සමාලෝචන කමිටුවේ නිර්දේශ, අමාත්‍ය මණ්ඩල තීරණ සහ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතිය අනුව කළමනාකරන සේවා විභාගය සමත් පිරිසට මෙලෙස පත්වීම් ප්‍රදානය කෙරිණී.

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මගින් අදියර තුනක් යටතේ කළමනාකරණ සේවා නිලධාරි සේවයේ පත්වීම් ප්‍රදානය කෙරුණ අතර එහි තුන්වන අදියර යටතේ මෙම පත්වීම් ප්‍රදානය කිරීම සිදු කරනු ලැබීය.

මෙහිදී අදහස් දැක් වූ රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා -

පලවෙනි වතාවේ පත්වීම් දුන්නට පස්සෙ ඊළඟ පත්වීම් ගන්න විශාල පිරිසක් එකතු වෙලා හිටියා. එවෙලෙ යම් යම් ගැටලු තිබුණත් ඒ එකිනෙක නිරාකරණය කරලා පුරප්පාඩු හොයාගෙන විභාගයෙන් සීයට වැඩියෙන් ලකුණු ගත්ත අයට පත්වීම් දෙන්න අද පියවර ගන්නවා. එදා එක කොටසකට දෙනකොට කට්ටියක් ඇවිල්ලා කිව්වා ඔක්කොටම දෙන්න කියලා. අපි එදා පොරොන්දු වුණා ඔක්කොටම කොහොමහරි දෙනවා කියලා. ඒ පොරොන්දුව ඉටු කරන්න අද පුළුවන්කමක් ලැබිලා තියෙනවා.

රාජ්‍ය සේවකයින් හැටියට පත්වෙලා අවුරුදු දහයක් දොළහක් හෝ අවුරුදු 5 ට වැඩි අයට තමයි මේ තරඟ විභාගය ලියන්න පුළුවන්. අවුරුදු පහක දී මෙතන ඉන්න වැඩි දෙනෙක් අද ගන්න තනතුර ආවරණය කරල තියනවා.

අපේ රටේ රාජ්‍ය සේවය පිළිබඳව ජනතාවගේ ආකල්පය වෙනස් කරන්න. ජනතාව කියන්නේ ආයතනයට ගිහාම රස්තියාදු වෙනවා, පෞද්ගලික තැනකට ගියාම හොඳට වැඩේ කෙරෙනව කියලයි. රාජ්‍ය සේවයේ ලක්ෂ පහළොවකට 15 කට වැඩි පිරිසක් ඉන්නවා. රාජ්‍ය සේවයේ අඩුපාඩුව කොයි කෙනෙක් කරත් සියල්ලටමයි බනින්නෙ. දේශපාලඥයෝ වැරැද්දක් කළොත් සියලුම දේශපාලනඥයින්ට බනිනවා. ජනතාව එන්නේ ප්‍රශ්නයක් විසඳන්න. ඒ අයට සේවය කරන්න. ඒ අයගේ බදු මුදලෙන් තමයි අපි සියලු දෙනා පඩියක් ගන්නේ.‍

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා -

සියලු අභියෝග මැද රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමා ඔබ වෙනුවෙන් මේ පත්වීම් දෙන්න මුල් වුණා. අග්‍රාමාත්‍යතුමා රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කරුණු පෙන්වා බඳවා ගැනීම අත්හිටුවා තිබෙන අවස්ථාවක රජයේ වැය බරට අවම බලපෑමක් වන අයුරින් දැනටමත් රාජ්‍ය සේවයේ සිටින පිරිස කළමනාකරණ සේවා නිලධාරී සේවයට බඳවා ගැනීමට පියවර ගත්තා.

මේ කවදාවත් වඩා විශාල අභියෝගයකට පත් වූ ආර්ථිකයක්. රටේ ආර්ථික තත්ත්වය මෙම තත්ත්වයට පත් කිරීම දරන්න බැරි රාජ්‍ය සේවයේ වියදම නිසයි කියලා සමාජ මතයක් තියෙනවා. සමස්ත රාජ්‍ය ආදායමෙන් සියයට අසූවක් වැය වෙන්නේ රාජ්‍ය සේවකයන්ට වැටුප්, දීමනා සහ විශ්‍රාමිකයන්ට වැටුප් ගෙවන්නයි.

අපි විශාල ප්‍රමාණයක සම්පත් ප්‍රමාණයක් උකහා ගන්න පිරිසක්. අප එයට සාධාරණයක් ඉෂ්ඨ කරනවා ද කියන එක තමන්ම තීරණය කරන්න.

අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් ආලෝක බණ්ඩාර සහ පත්වීම් ලාභීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය