​විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ආර්ථික සමාජීය ස්වාධීනත්වය තහවුරු කිරීම රජයේ වගකීමක් ​- අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ ආර්ථික හා සමාජීය ස්වාධීනත්වය තහවුරු කිරීම රජයේ වගකීමක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

​පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් සැප්තැම්බර් 11 වන දින පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

​එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය.

​නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් බලාපොරොත්තු වන්නේ සහකම්පනය සහිත, විවිධත්වය භාරගන්නා සහ විවිධ හැකියාවන් හා තත්ත්වයන් සහිත සමාජයක් තුළ ජීවත් විය හැකි දරුවන් බිහිකිරීමයි. අන්තර්කරණ ක්‍රියාවලිය තුළ ආබාධ සහිත දරුවන් වෙනම අධ්‍යාපනය ලැබිය යුතු පිරිසක් ලෙස නොසලකන අතර සැමවිටම එම දරුවන් අනෙකුත් දරුවන් සමග අනුගත කිරීම (Integrate) සිදු කළ යුතුයි. විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අනාගතය වෙනුවෙන් රජයක් විසින් ප්‍රධාන වශයෙන් කළ යුත්තේ ඔවුන්ගේ ස්වාධීනත්වය ආර්ථිකව, සමාජීයව සෑම අතින්ම තහවුරු කරන වැඩපිළිවෙළක් රට තුළ ආරම්භ කිරීමයි.

​විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සඳහා අවශ්‍ය ඉගෙනුම් උපකරණ (Digital devices) ලබාදීමේ වැඩසටහනක් අගමැති කාර්යාලය හා එක්ව ක්‍රියාත්මක කරමින් පවතිනවා. විශේෂ අධ්‍යාපන ඒකක සහිත පාසල්වල ප්‍රවේශ පහසුකම් සකස් කිරීම හා යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනද ක්‍රියාත්මක වෙනවා. එමෙන්ම ජාතික පාසල්වල විශේෂ අධ්‍යාපන ඒකක සඳහා Digital voice recorders 75 ක්, Magnifying glass with light rechargeable 200 ක් සහ Hand-held magnifying 200 ක් ලබා දීමට කටයුතු ආරම්භ කර තිබෙනවා.

​විශේෂ අධ්‍යාපන ඒකකවල ඉගෙනීම් ඉගැන්වීම් සිදු කරන ගුරුවරුන් බඳවාගැනීම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවලින් පිටවන ගුරුවරුන්ගෙන් පමණක් සිදුකරන අතර මෙම වසර තුළ හා ඉදිරි වසර තුළ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ මගින් පිටවන ගුරුවරුන් හරහා මෙම පුරප්පාඩු සම්පූර්ණ කළ හැකියි.

​සේවයේ නියුතු ගුරුවරුන්ගේ වෘත්තීය පුහුණුව නංවාලීම සඳහා 2025 වර්ෂයේදී පුහුණු වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක කළා. ශ්‍රවණාබාධිත දරුවන්ගේ ශ්‍රවණ ප්‍රස්ථාර කියවීම සහ දෘෂ්‍යාබාධිත දරුවන්ගේ දෘශ්‍ය පරීක්ෂණ වාර්තා කියවීම පිළිබඳ ගුරු පුහුණු වැඩසටහන, අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ විශේෂ අධ්‍යාපන වෘත්තිකයන් දැනුවත් කිරීමේ පොදුරාජ්‍ය මණ්ඩලීය වැඩසටහන, බ්‍රේල් සහ සංඥා භාෂා සඳහා වන විශේෂ ගුරු පුහුණු වැඩසටහන, විශේෂ අධ්‍යාපන ගුරුවරුන් සඳහා වන අන්තර්කරණ අධ්‍යාපනය කරා යන ගුරු මාර්ගෝපදේශ 1 සහ 2 පුහුණු කිරීමේ වැඩසටහන මෙන්ම කලාප අධ්‍යාපන කාර්යාල තුළ තක්සේරුකරණ කමිටු මගින් තක්සේරුකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීම ආදිය ඒ අතර වෙනවා. මෙකී පියවර තුළින් විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ට අන්තර්කරණ අවස්ථාවන් ලබාදීම, ඒකාබද්ධ ඉගෙනුම් ක්‍රියාකාරකම් (Joint learning activities) ක්‍රියාත්මක කිරීම, උපකෘත පාසල් අවට සාමාන්‍ය පාසලක් සමග එක්වී ඉගෙනුම් ක්‍රියාකාරකම් හා විෂය සමගාමී ක්‍රියාකාරකම් සිදුකිරීම මේ වනවිටත් ක්‍රියාත්මක කරමින් තිබෙනවා.

​අපිට ගොඩක් දෙමාපියන් හමුවෙලා තියෙනවා. විශේෂයෙන්ම අම්මලාගේ හිතේ තියෙන ප්‍රධාන වේදනාව තමයි දෙමාපියන් කවදාහරි නැති දවසක මේ දරුවාට මොකක්ද වෙන්නේ කියන එක. මම හිතන්නේ අධ්‍යාපන අමාත්‍යාංශය හැටියටත් රජය හැටියටත් අපිට කරන්න පුළුවන් ප්‍රධාන දේ තමයි ආබාධ සහිත දරුවන්ගේ ස්වාධීනත්වය සෑම අතින්ම තහවුරු කරන වැඩපිළිවෙළක් රට තුළ ආරම්භ කිරීමයි. ඒ වෙනුවෙන් අධ්‍යාපනය තුළ අපි කරන විශේෂ වැඩ කටයුත්ත තමයි යම්කිසි විදියකට අධ්‍යාපනය හරහා රැකියාවක් කරන්න පුළුවන් තැනකට මේ දරුවන් ගෙන යාම.

​විශේෂයෙන්ම අපි වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ කරන පුහුණුව විතරක් නෙවෙයි රැකියා අවස්ථා ලබාදීමත් අවශ්‍යයි. දැන් අපි රැකියා ලබාදෙන ආයතන සමග කතා කරගෙන යනවා යම් කෝටා එකක් විශේෂ අවශ්‍යතා සහිත, ආබාධ සහිත දරුවන්ට වෙන් කිරීමට. සමහර ආයතන දැනටමත් ඒ වගේ කටයුතු කරනවා. අපි තව පුළුල් විදිහට මේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අවුරුද්දේ පැවැත්වීමට නියමිත Skill Expo හිදී විශේෂයෙන්ම ආබාධ සහිත දරුවන්ගේ කුසලතා (Skills) වෙනුවෙන් රැකියා අවස්ථා ගැන වැඩසටහන් ඉදිරිපත් කිරීමටත් දැනුවත් කිරීම් කරන්නත් අප බලාපොරොත්තු වෙනවා.

​ඒ වගේම සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය තුළිනුත් මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. දරුවන්ට සමාජ ආරක්ෂණය ලබාදෙන්න අවශ්‍යයි. ඒ සඳහා යම් ආදායම් මට්ටමකට පහළ පවුල් සඳහා දීමනා දෙන අවස්ථා තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලවල ඉන්න විශේෂ අවශ්‍යතා තියෙන දරුවන්ට ශිෂ්‍යත්ව ලබාදීම වගේම විශ්වවිද්‍යාලවල නේවාසිකාගාර ඉදිකිරීමේදී ආබාධිත සහිත දරුවන්ට පහසුව ඇතිවෙන විදියට නිර්මාණය කරන්න මාර්ගෝපදේශ ලබා දී තිබෙනවා.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය