අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ ප්‍රතිඵලයක් ලෙස අධ්‍යාපනය, සෞඛ්‍ය, පුනර්ජනනීය බලශක්ති සහ රැකියා අවස්ථා සඳහා කොරියාවෙන් ආධාර ...

පසුගිය සතියේ අග්‍රාමාත්‍යවරයාගේ කොරියානු සංචාරයේ දී කරන ලද සාකච්ඡාවල දී ගනු ලැබූ තීරණ පිළිබඳ පසු විපරම් ක්‍රියාමාර්ග සාකච්ඡා කිරීම සඳහා කොරියානු ජනරජයේ තානාපති මියොන් ලී මහත්මිය අද (2024.04.10) කොළඹ අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු විය.

අග්‍රාමාත්‍යවරයා පසුගියදා සිදු කළ සංචාරයේදී කොරියානු ජනරජයේ අග්‍රාමාත්‍ය හැන් ඩක් සෝ (Han Duck-so), ජාතික මන්ත්‍රණ සභාවේ කථානායක කිම් ජින්-පියෝ (Kim Jin-pyo), ග්යෙන්ග්සන්ග්-ඩු (Gyengsang-do) පළාතේ ආණ්ඩුකාර ලී චෙයොල් වූ (Lee Cheol-Woo) සහ එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් සහ හරිත වර්ධන ආයතනයේ (Green Growth Institute) වත්මන් සභාපති බෑන් කී මූන් සමඟ සාකච්ඡා පැවැත්වීය.

මෙම සාකච්ඡාවල දී අධ්‍යාපනය, සෞඛ්‍ය, පුනර්ජනනීය බලශක්තිය, රැකියා, කෘෂිකර්මය සහ ග්‍රාමීය සංවර්ධනය ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් සඳහා ශ්‍රී ලංකාවට වැඩි දුර සහාය ලබාදීමට කොරියාව එකඟ විය.

අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලීම පරිදි, පාසල් මට්ටමින් තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය දියුණු කිරීමට රජය ගන්නා උත්සාහයට සහාය වීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් 1,000 කට සුහුරු පන්ති කාමර ලබාදීමට කොරියාව එකඟ විය. රජයේ රෝහල්වල කෙටි කාලීන ව වෛද්‍ය කටයුතුවල යෙදීම සඳහා වෛද්‍යවරුන් සහ වෛද්‍ය කණ්ඩායම් ශ්‍රී ලංකාවට එවීමටත් මෙ රට වෛද්‍යවරුන් සමඟ ඔවුන්ගේ විශේෂඥ දැනුම බෙදා ගැනීමටත් කොරියාව කටයුතු කරනු ඇත.

තානාපති මියොන් ලී පැවසුවේ දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට අමතරව ශ්‍රී ලංකාවේ නව සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කිරීම සඳහා තම රට කටයුතු කරන බව යි.

ජල පිරිපහදුව, සනීපාරක්ෂාව, අපද්‍රව්‍ය බැහැර කිරීමේ පද්ධති සහ වියළි කලාපීය කෘෂිකර්මාන්තය පිළිබඳ ව්‍යාපෘති තුනක් දැනටමත් ක්‍රියාත්මක කර ඇති බව ඇය පැවසුවා ය.

පුනර්ජනනීය බලශක්තියට අදාළ නියමු ව්‍යාපෘතියක් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ චන්ද්‍රිකා වැව මත පාවෙන සූර්ය පැනල සවි කිරීම ද කොරියාව විසින් සිදු කරනු ඇත.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් සඳහා පුහුණු/වෘත්තීය අංශවල මෙන් ම කාලීන ව කෘෂිකාර්මික අංශයේ රැකියා කෝටාව වැඩි කිරීමට කොරියානු නායකයින් එකඟ වී ඇත.

සිය කෙටි සංචාරයේ දී ලබාදුන් විශිෂ්ට සහයෝගීතාව සහ ආගන්තුක සත්කාරය පිළිබඳ ව අග්‍රාමාත්‍යවරයා මෙහිදී කොරියානු රජයට ස්තූතිය පළ කළේ ය.

මෙම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, උපදේශක සුගීස්වර සේනාධිර සහ කොරියානු තානාපති කාර්යාලයේ ප්‍රළමු ලේකම් සොහ්න්ග්යී ජුන්ග් (Sohngyee Jung) යන මහත්ම මහත්මීහු ද එක් ව සිටිය හ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.