පෙර පිරිසට අග්‍රහාරය හිමි නැහැ කියන තත්ත්වය වෙනසකට භාජනය කළ හැකියි.. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අප පුරුදු වෙලා හිටපු සුභසාධක රාජ්‍යය අද වෙනස් වෙමින් පවතිනවා..

අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පලකළේ ( 2023.10.09) මහජන පුස්තකාලය ශ්‍රවනාගාරයේ පැවති එක්සත් විශ්‍රාමික බලමුළුව අමතමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා -

අපි ඔබ දිහා බලන්නේ අපේ රට පවත්වාගෙන ගිය, අපේ රට ආරක්ෂා කරමින් අනාගත පරම්පරාවට භාරදුන් ගෞරවනීය වැඩිහිටියන් ලෙසයි. තම කාල පරිච්ඡේදයේ විවිධ සේවා හා ක්ෂේත්‍ර වල තම සේවාව ඉටු කරමින්, අභියෝග හරහා ගමන් කිරීමට පිළිබඳව ඔබ සැමදෙනා අතිශයින්ම අගය කරනවා වගේම රජය ඇතුළු අපි කාගේත් විශේෂ ගෞරවය හිමි වෙනවා.

විශ්‍රාමිකයක් නොමැති වැඩිහිටියන් ලක්ෂ ගනනකගේ බලාපොරොත්තු ඉටු කිරීම සදහා එම සහෝදර ජනතාවට සහනයක් ලබා දීමේ හැකියාව ගැන අප නිරන්තරයෙන් අවධානය යොමු කරනවා. යම් යම් ක්ෂේත්‍ර වලට ලබාගත හැකි මූල්‍ය ප්‍රතිපාදනයන් අනුමත කර ගනිමින්, ඒ වගේම ඉදිරියට ද එම කටයුතු ගෙන යාම සඳහා වූ ක්‍රියාවලියට අප එම සාකච්ඡා මෙහෙයවා තිබෙනවා.

අපි ආණ්ඩු වලට බැන බැන ඉදලා වැඩක් නැහැ. අනාගතය දිහා බැලිය යුතු බව මම නිහතමානීව කියනවා. මූල්‍ය ප්‍රතිපාදනයන්ට ගැටලු සහගත ව මුහුණ දෙමින් සිටින පිරිසගේ ප්‍රශ්නවලට සහනදායී තත්ත්වයක් ඇති කිරීම සඳහා සෑම විටම මැදිහත් වෙනවා.

බඩු මිල වැඩි කියන එක මම මොහොතකටවත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මහජනයා සමග වැඩ කළ කෙනෙක් හැටියට මට එහෙම කියන්න බැහැ. බඩු මිල අඩුකර ගැනීමට හැකි සෑම උත්සාහයක ම අපි යෙදෙනවා. ජීවන වියදම ගැටලු අපට ප්‍රතික්ෂේප කරන්න බැහැ. අප පුරුදු වෙලා හිටපු සුභසාධක රාජ්‍යය අද වෙනස් වෙමින් පවතිනවා.

සුභ සාධක රාජ්‍යක් වෙනුවට වෙනස් මගක අප ගමන් කරමින් තිබෙනවා. පසුගිය කාල පරිච්ඡේදය තුළ ම අනුගමනය කළ ප්‍රතිපත්ති තුළ ජනතාවගේ පැත්තේ තිබුණු බොහෝ ජයග්‍රහණ මේ වෙනකොට වෙනසකට භාජනය වී තිබෙනවා.

ඒවා හැකි තරම් දුරට ආරක්ෂා කරගැනීමට ඔබ නියෝජනය කරන පිරිස සමග මම කම්කරු ඇමති තුමා හැටියට සටන් කලා. අග්‍රහාර රක්ෂණ ක්‍රමය ගැන බැලුවොත් ඒ වෙලාවේ කම්කරු ඇමැතිවරයා හැටියට සාකච්ඡා කොට හිඩස නිවැරදි කිරීම සඳහා කම්කරු අමාත්‍යංශයේ පත්‍රිකාවක් ලෙසයි මම එදා පත්‍රිකාව ඉදිරිපත් කළේ. එදා එය අමාත්‍ය මණ්ඩලයට පිළිගන්න සිද්ධ වුණා. එය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු තිබෙන බව අද ප්‍රකාශ වුණා. ඒ වෙලාවේ අපේ රටේ රක්ෂණ නීති අනුව යම්කිසි වයසකට වඩා රක්ෂණය කරන්න බැහැ කියලා නීති විශාරදයන් කිව්වා. බොහෝ පැහැදිලි කිරීම්වලින් පසුව අග්‍රහාරය සඳහා එම රක්ෂණ නීතිය වෙනස් කළා. එය ක්‍රියාත්මක කරන්න දරපු උත්සාහයේදී යම් යම් වැරදි ආකාරයෙන් එය ජනතාවට ඉදිරිපත් කිරීම නිසා යම් මතභේදයක් ඇති වුණා. පාලන තන්ත්‍රයත් ඔබතුමාලත් අතර එකගතාවයක් හරියාකාරව ඇති කර ගැනීමට නොහැකි වීම නිසා ඒ හිඩැස තවමත් තිබෙනවා. අග්‍රහාර යේ තිබෙන අඩුපාඩුකම් සහ පෙර පිරිසට අග්‍රහාරය හිමි නැහැ කියන තත්ත්වය වෙනසකට භාජනය කරමු. එය කළ හැකියි. මෙය සිදු කළ හැකි ක්‍රියාමාර්ග වලට අවශ්‍ය පියවර ගන්න ගෙන තිබුණා.

ඔබ වෙනුවෙන් සෑම විටම නැගූ හඬ අපට අමතක වෙලා නැහැ. අපේ රටේ විශ්‍රාමික පරම්පරාවට වඩාත් විශ්වාසවන්තව තම විශ්‍රාම කාලය කැප කරන්නට පුළුවන් අනාගතයක් නිර්මාණය කර ගැනීම සඳහා අප එකතුව වැඩ කරමු.

මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් රංජිත් අශෝක මහතා ඇතුළු නිලධාරීහු මෙන්ම දිවයින පුරා විසිරුණු විශ්‍රාමික සංගම් වල නියෝජිතයන් රැසක් සහභාගි වූහ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය