ඉදිරි වසර පහ තුළ ශ්‍රී ලංකාවේ නව ව්‍යාපෘතීන්ට ආසියානු සංවර්ධන බැංකුවේ (ADB )සහාය...

ඉදිරි වසර 5 ක ව්‍යාපෘති සඳහා ශ්‍රී ලංකාවේ මූල්‍ය අවශ්‍යතා පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආසියානු සංවර්ධන බැංකුවේ අධිපති මණ්ඩල සාමාජිකයින් අතර සවිස්තරාත්මක සාකච්ඡාවක් 2023.10.10 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

පසුගිය වසරේ අර්බුදකාරී තත්ත්වයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඉක්මන් ස්ථාවරභාවය පිළිබඳ තෘප්තිමත් බව මෙහිදී ප්‍රකාශ කළ ආසියානු සංවර්ධන බැංකුවේ අධිපති මණ්ඩල නිළධාරීහු ඩිජිටල්කරණය සහ තොරතුරු තාක්ෂණය, පොදු ප්‍රවාහනය, මානව සම්පත් සංවර්ධනය සහ අධ්‍යාපනය, ජලය සහ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය පිළිබඳ යෝජිත නව ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව හිතකර ලෙස ප්‍රතිචාර දක්වන බව ප්‍රකාශ කළහ.

සමාජයේ අවදානමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා සමාජ ආරක්ෂණ සහය ලබා දීමට රජය ගන්නා උත්සාහය ද ඔවුන්ගේ පැසසුමට ලක් විය.

සංවර්ධන කටයුතු සඳහා පසුගිය දශක කිහිපය තුළ ආසියානු සංවර්ධන බැංකුවට ලබාදුන් සහය වෙනුවෙන් ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා, ආර්ථිකයේ සෑම අංශයකටම විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, කෘෂිකාර්මික වර්ධනය සහ රෙගුලාසි ලිහිල් කිරීම සඳහා රජය ගෙන ඇති පියවර පිළිබඳව ඔවුන් දැනුවත් කළේය.

පුනර්ජනනීය බලශක්තිය, ඩිජිටල්කරණය සහ පොදු ප්‍රවාහන පද්ධති, විශේෂයෙන් දුම්රිය වැනි ක්ෂේත්‍රවල නව ව්‍යාපෘති ආරම්භ කරන ලෙස අග්‍රාමාත්‍යවරයා ප්‍රාදේශීය අරමුදල් නියෝජිත ආයතනයෙන් ඉල්ලා සිටියේය.

ADB කණ්ඩායම් නායක, විධායක අධ්‍යක්ෂ, චන්ටේල් වොන්ග් (Chantale Wong) සහ විධායක අධ්‍යක්ෂ (ශ්‍රී ලංකාව) සංමින් ර්යූ (Sangmin Ryu) විසින් ආර්ථික ප්‍රගතිය සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ADB හි මධ්‍ය කාලීන සහ දිගු කාලීන ව්‍යාපෘති පිළිබඳව අග්‍රාමාත්‍යවරයා දැනුවත් කරන ලදී. දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘති මගින් රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සහ පාලනය ශක්තිමත් කිරීම, පුද්ගලික අංශයේ සංවර්ධනය පෝෂණය කිරීම සහ රාජ්‍ය සේවා සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම සහ සියලු කොටස් වල සහභාගීත්වය සහතික කිරීම, සමාජ ආරක්ෂණය, සාධාරණ ප්‍රවේශය, සෞඛ්‍යය, දේශගුණය සහ කෘෂිකර්මාන්තය නවීකරණය කිරීම වැනි ක්ෂේත්‍ර ආවරණය කරයි.

ADB මෙරට අධ්‍යක්ෂ ටකෆුමි කඩෝනෝ( Takafumi Kadono) පැවසුවේ ADB පාලක මණ්ඩල සාමාජිකයින් මෙම සංචාරයේදී ව්‍යාපෘතිවල ප්‍රගතිය අධ්‍යයනය කිරීමට සහ ඉදිරි ව්‍යාපෘති ක්ෂේත්‍ර පිළිබඳව සොයා බැලීමට නියමිත බවයි. නියෝජිත පිරිස ව්‍යාපෘති ස්ථාන වෙත ගොස් එහි ප්‍රගතිය ද දැක ගැනීමට නියමිතය.

ADB දූත පිරිස විධායක අධ්‍යක්ෂවරුන් වන Wan Farisan Bin Wan Sulaiman, Charlotte Justine Diokno-Sicat, Shigeo Shimizu, විකල්ප විධායක අධ්‍යක්ෂවරුන්, David Cavanough, Xia Lyu, Alberto Cerdan සහ Nim Dorji සහ ලේකම්, Alero Adminise යන අයගෙන් සමන්විත විය.

මෙම අවස්ථාවට අමාත්‍ය රොෂාන් රණසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පෞද්ගලික ලේකම් සී. කුරුප්පු, මාධ්‍ය උපදේශක සුගීස්වර සේනාධිර යන මහත්වරු එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය