“පළාත් පාලන ආයතන වල අවසර දෙන ඉදිකිරීම් සංවර්ධන සැලැස්මට අනුව විය යුතුමයි.” - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

“බොහෝ අඩුපාඩු තියෙනවා. ඒත් රට ගොඩනැංවීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එක්විය යුතුයි.” - පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේදී 2023.09.15 දින දිස්ත්‍රික් ලේකම් සමුළුව පැවැත්විණි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා

“සංවර්ධන කටයුතු වෙනුවෙන් මුදල් කොමිෂම බිලියන ගණනක් වෙන්කරනවා. ඒ ව්‍යාපෘති වල සාර්ථකත්වය, ඒ ව්‍යාපෘති හමාර වෙනවාද නැද්ද කියන කරුණු ඒකාබද්ධ කර ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරු හා ආණ්ඩුකාරවරයා සම්බන්ධවෙන ආකාරය පිළිබඳ පැහැදිලි උපදෙස් මාලාවක් දී තිබෙනවා. ඒ මූල්‍යමය ප්‍රතිපාදනයන්ගේ ක්‍රමවත්භාවය හා ඵලදායිකත්වය උපරිම කරගැනීම සඳහායි.

අස්වැසුම වැඩසටහන නිසි අයුරින් නිමා කර ගැනීමට නොහැකි වීම නිසා කාලය දිගු කර තිබෙනවා. එහි තිබුණ විවිධ ගැටළු විසදන්න දිසාපතිවරු සම්බන්ධ වුණා. ඊට සම්බන්ධිත අංශ සහභාගි කරවා ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා.

වහිනවා, ගංවතුර ගලනවා, වන්දි දෙනවා. කෝටි ගණන් වන්දි ගෙවනවා. ආයෙත් ගංවතුරක් එනකල් කිසිම පියවරක් ගන්නේ නැහැ. මේවගේ අඩුපාඩුකම් සෑම දිස්ත්‍රික්කයකම ඒලෙසම පවතිනවා. නියගය වුනත් එහෙමයි. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි.

පළාත් පාලන ආයතන වල අනුමැතින් ලබා දීමේදී, විශේෂයෙන් ගංගා අසබඩ අලුතෙන් පදිංචිකරුවන් ඇතිවීම පිළිබඳ අවධානය සංවර්ධන සැලැස්මට ගේන්න. බොහෝවිට කට්ටි කරන ඉඩම්, සංවර්ධනය කොට මුදල් ලබාගෙන ඔවුන් පිටවී යනවා. පළාත් පාලන ආයතනය අවසර දෙනවා. ඒ තැන්වල ඉදිකිරීම් කොට පදිංචි වන අයටයි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ.

මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු ආංශික කාරක සභාවේ සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා.

ඉදිරියේ එන දැවැන්ත කාලගුණ විපර්යාස තත්ත්වයන් ගැන අපිට දැනට හිතාගන්න බැහැ. එවැනි තොරතුරු ලබා ගැනීමේ ස්ථානයක් නාවල ස්ථාපිත වෙලා තියෙනවා. මෙය රට පුරාම ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි. නුවර එළියේ වැස්සාම කැලණි ගඟ හරහා ජලය හංවැල්ලට, තොටළගට එන්න කොපමණ කාලයක් ගත වෙනවාද කියන්න පුළුවන් වුනත් මහවැලි, වලවේ, කලු ගංගාවල ඒ තත්ත්වය නැහැ. පහුගිය දිනවල ලෝකය පුරා වුණු තත්ත්වයන් දුටුවාම හදිසි තත්ත්වයන් ඉදිරියේ බලාපොරොත්තු වෙන්න පුලුවන්. දූපත් රටක් විදියට හදිසි වර්ෂාට, අධික උෂ්ණත්වයට, නියඟයට අපිට මුහුණ දෙන්න වෙනවා. ආපදා කළමණාකරණය කියන දේ දැන්ම ප්‍රධාන විෂයයක් කර නොගෙන සුනාමිය වැනි අනතුරක් වුනාම කතා කරලා වැඩක් නැහැ. ඒ ගැන පෙර සූදානමක් ඇති කර ගත යුතුයි.

සෑම දිස්ත්‍රික්කයකම පාසල් නොයන, කුසගින්නේ සිටින, සාමාන්‍ය පෙළින්, උසස්පෙළින් අධ්‍යාපනය නිමකරන ප්‍රමාණය, ආහාර සපයා ගත නොහැකි පිරිස් හදිසි ආපදාවලට ලක්වන සංඛ්‍යාව දිස්ත්‍රික් වශයෙන් ප්‍රතිශත වශයෙන් ඒ වාර්තාවේ තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඔබේ කාරුණික අවධානය යොමු කරන්න. රජය සමාජ සහන සදහා සමෘද්ධිය වගේ තුන් ගුණයක් වියදම් කරලා තිබුණත් සමාජයේ තියෙන්නේ කළඹලයක්. අපි හදා ගත්ත අවුලක් නිසා බෙදා ගන්න බැරි කමයි තියෙන්නේ. එය විසදා ගන්න දිසාපතිවරු මැදිහත් වුණානම් හොදයි. බොහෝ අඩුපාඩු තියෙනවා. ඒත් රට ගොඩනැංවීමට පක්ෂ පාට භේදයකින් තොරව සියලු දෙනා එක්විය යුතුයි.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර යන අය ද මෙහිදී අදහස් දැක්වීය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් අශෝක රංජිත් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරු, සම්බන්ධිත ආයතනයන්හි රාජ්‍ය නිලධාරීන් මෙම අවස්ථාවට එක්විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය