මල්වතු ඔය සහ යාන් ඔය ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට සහ කෘෂී කර්මාන්තයට නව පනක්..

පහළ මල්වතු ඔය ජලාශයේ පාවෙන සූර්ය බල ව්‍යාපෘතිය විදේශ ආයෝජන සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු කෙරේ.

යාන් ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට මෙන්ම මෙගාවොට් 100ක විදුලිය නිපදවීමට යෝජිත මල්වතු ඔය ජලාශයට සූර්ය පැනල සවි කිරීමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ යෝජනාව පිළිබඳව යාන් ඔය වේල්ල ඉදිකළ චීන ආයෝජකයින් අද (2023.09.11) දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කරනු ලැබීය.

චීන ආයෝජන කණ්ඩායම පැවසුවේ යාන් ඔය ජලාශය පාවෙන සූර්ය පැනල සවිකිරීමෙන් මෙගා සූර්ය බලශක්ති උත්පාදන වේදිකාවක් ලෙස භාවිත කොට එමගින් ජාතික විදුලිබල පද්ධතියට විදුලිය උත්පාදනය කරමින් පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය නිම කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන ද උපයා ගත හැකි බවයි.

යාන්ඔය ජලාශයේ පාවෙන සූර්ය පැනල මගින් ජාතික විදුලිබල පද්ධතියට එක් කළ හැකි මෙගාවොට් 50ක විදුලිය ජනනය කෙරෙයි. මල්වතු ඔය ජලාශය වසර දෙකකින් නිම කළ පසු තවත් මෙගාවොට් 50ක් ජාතික විදුලිබල පද්ධතියට එකතු කිරීමට සූර්ය පැනල සවි කිරිමේ හැකියාව ඇත. ඊට අමතරව මලවතු ඔය කුඩා ජලවිදුලි පද්ධතියෙන් මෙගාවොට් 1.6ක් ජනනය කෙරෙයි.

අනුරාධපුර සහ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කවල ඉඩම් හෙක්ටයාර 22,000 කට වාරි ජලය සපයන සහල් සහ ආර්ථික බෝග නිෂ්පාදනය නංවාලීම සඳහා අනුරාධපුර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඉඩම් වලට ජලය සපයන ව්‍යාපෘතිය යළි ආරම්භ කිරීමට ගෙන ඇති පියවර පිළිබඳව මෙම අවස්ථාවට සහභාගී වූ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. චන්ද්‍රසේන මහතා අග්‍රාමාත්‍යවරයාට ස්තූතිය පළ කළේය.

චීන ආයෝජකයින් ගොවීන්ට සහල් සහ ආර්ථික බෝග වගා කිරීමට සහ නිෂ්පාදනයෙන් කොටසක් චීනයට අපනයනය කිරීමට සහාය වන බවට මෙහිදී පැවසීය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය