තොරතුරු තාක්ෂණයේ ප්‍රාතිහාර්යයන් ලොව වෙනස් කරමින් සිටින අවස්ථාවක කොරියාව අපේ පාසැල් වලට තාක්ෂණය ළඟට ගෙනත් දෙනවා. -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

කොරියාවේ සෙමාල් පදනම, එහි ඩිජිටල් සෙමාල් වැඩසටහන යටතේ සංවර්ධනය කරනු ලැබූ සබරගමුව පළාතේ සහ මධ්‍යම පළාතේ පාසල් 5ක සුහුරු පන්ති කාමර නිළ වශයෙන් ප්‍රදානය කිරීම අද (2024.03.11) අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ගම්පොළ සාන්ත ජෝසප් බාලිකා මහා විද්‍යාලය ,නාමිණීඔය මධ්‍ය මහා විද්‍යාලය , ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලය, ගොඩකවෙල කුලරත්න විද්‍යාලය , රන්වල මහානාග විද්‍යාලය යන පාසල්වල සුහුරු පන්ති කාමර සඳහා රුපියල් මිලියන 36.5ක් වටිනා පරිගනක හා උපකරණ පරිත්‍යාග කිරීම මෙහිදී සිදුකෙරිණි.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

පාසැල් සිසු දරුවනි, අනාගත පරම්පරාව ඔබයි. රට භාරගන්න ඉන්නේ ඔබයි. තොරතුරු තාක්ෂණයේ ප්‍රාතිහාර්යයන් ලොව වෙනස් කරමින් සිටින අවස්ථාවක කොරියාව ඈත එපිට අපේ පාසැල් වලට සහයෝගය ළඟට ගෙනත් දෙනවා. එහි උපරිම ඵල නෙළා ගන්න. දැනුම සඳහා ස්මාර්ට් පන්ති කාමරවල අවශ්‍යතාවය අද අපි තේරුම් ගෙන තිබෙනවා. රටේ පාසල් සඳහා වේගවත්ව ස්මාර්ට් පන්ති කාමර ලබාදීම සඳහා කොරියානු රජය ලබාදෙන සහයට අපි ස්තූතිවන්ත වෙනවා. කොරියාව ශ්‍රී ලංකාවට අඛණ්ඩව සහය දෙන රටක් ලෙස මා ඉහළින්ම අගය කරනවා.

කොරියානු තානාපති මියෝන් ලී, සෙමාල් පදනම සබරගමුවේ පාසැල් වලට ලබා දෙන සහය අගය කරමින් එය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටියාය.

සෙමාල් පදනමේ සභාපති ලී සොන්ග් ජොන්ග් සියෝල් හී සිට සූම් තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතූ අතර මෙම වැඩසටහන තවදුරටත් ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත කර පාසැල් දරුවන්ට සහන සැලසීමට පියවර ගන්නා ලෙස ඉල්ලා සිටි අතර ශ්‍රී ලංකාවේ සෙමාල් පදනමේ නියෝජිත චායි සුන්ග් වූ මහතා ඊට එකඟතාව පළකරනු ලැබීය.

සුහුරු පන්තිකාමර හිමි වූ පාසැල් වල සිසුන්ද මෙහිදී සූම් තාක්ෂණය ඔස්සේ උත්සවය ඇමතු අතර සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානායක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර, පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටේගොඩ, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න, විදුහල්පතිවරුන් සහ පාසල් සිසුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය