“ආබාධ සහිත දරුවන්ගේ කායික හා මානසික යෝග්‍යතාව පවත්වාගෙන යාමට අවශ්‍ය සමාජ අවබෝධය අප ඇති කළ යුතුයි” - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය-

ආබාධ සහිත දරුවන් ඉතාමත් සංවේදී දරුවන් කොට්ඨාසයක් වන බැවින්, එම දරුවන් සමාජයේ අහිතකර බලපෑම්වලට ලක් නොවන සේ, ඔවුන්ගේ කායික හා මානසික යෝග්‍යතාව පවත්වාගෙන යාමට අවශ්‍ය සමාජ අවබෝධය අප ඇතිකළ යුතු බවත්, ඒ සඳහා දෙමාපියන්, ගුරුවරුන් හා සමාජයේ අනෙකුත් පාර්ශ්වයන් දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා ය.

අගෝස්තු 25 දින වෙනිවැල්කොළ පිහිටි “ශිෂ්‍යෝදා විශේෂ හා අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ ජාතික ආයතනය” නිරීක්ෂණයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.

මෙහිදී අග්‍රාමාත්‍යවරියගේ අරමුණ වූයේ ආයතනික ව්‍යුහය නිරීක්ෂණය හා එහි සංවර්ධනයට ලක් විය යුතු අංශ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමයි.

අන්තර්කරණ අධ්‍යාපනය පිළිබඳ (Inclusive Education) මූලික ප්‍රමිතීන්ට සහ සැලසුම්වලට පරිබාහිරව 2019 වර්ෂයේදී ආරම්භ කර ඇති මෙම ආයතනය, දරුවන් සඳහා ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන, අන්තර්කරණ අධ්‍යපනයේ ඉලක්ක ගත අරමුණු ඉටු කරන ස්ථානයක් බවට පත් කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් සැකසිය යුතු බව අග්‍රාමාත්‍යවරිය මෙහිදී අවධාරණය කළා ය. ඒ සඳහා විශේෂ කමිටුවක් පත් කර, අවශ්‍ය යෝජනා ලබාගත යුතු බවද ඇය සඳහන් කළා ය.

එමෙන්ම, එහි ඉගෙනුම ලබන සිසුන්ගේ සායන කටයුතු සිදුකිරීම සඳහා අවශ්‍ය චිකිත්සකවරුන්ගේ සහ වෛද්‍යවරුන්ගේ හිඟය පියවීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ කටයුතු කරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ආයතනයේ උපකරණ සහ ගොඩනැගිලි නඩත්තු කටයුතු සඳහා වෙන් කරන ලද මූල්‍ය ප්‍රතිපාදන භාවිතයෙන් අදාළ නඩත්තු නිසි පරිදි සිදු කළ යුතු බව ද අවධාරණය කළා ය.

තවද, එම ආයතනයේ පවතින ගැටලු සඳහා තිරසාර විසඳුම් සෙවීම අත්‍යවශ්‍ය සාධකයක් වන බවත්, එතෙක්, ක්ෂණිකව විසඳුම් ලබාදිය හැකි ගැටලු සඳහා මැදිහත්විය යුතු බවත් පැවසුවාය. එසේම, එම ආයතනය තුළ සේවය කරන ගුරුවරුන්ගේ සුබසාධනය සම්බන්ධව ද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර පනාගොඩ, හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති කසුන් රත්නායක, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් සහ දෙමාපියන් ඇතුළු සිසුහු පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය