සිය ධූර කාලය අවසන් කර දිවයිනෙන් නික්ම යාමට නියමිත ශ්රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති කාර්මන් මොරෙනෝ (Carmen Moreno) මහත්මිය, අගෝස්තු 20 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූවාය.
තානාපතිනිය සාදරයෙන් පිළිගත් අග්රාමාත්යතුමිය, ශ්රී ලංකාව මෑතකදී මුහුණ දුන් අභියෝග හමුවේ යුරෝපා සංගමය ලබා දුන් සහයෝගය වෙනුවෙන් සිය කෘතඥතාව පළ කළාය. විශේෂයෙන්ම ’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වයේදී සහ ඉන් අනතුරුව සිදුකළ පුනරුත්ථාපන හා ප්රතිසාධන කටයුතුවලදී යුරෝපා සංගමය දැක්වූ දායකත්වය අග්රාමාත්යතුමියගේ ඇගයීමට ලක් විය.
එමෙන්ම, විවෘත සංවාද පවත්වා ගැනීමටත්, දෙපාර්ශවය අතර සාධනීය සබඳතා ගොඩනගා ගැනීමටත් තානාපති කාර්මන් මොරෙනෝ මහත්මියගේ ධූර කාලය තුළ ලබා දුන් අඛණ්ඩ සහයෝගය පිළිබඳව ද අග්රාමාත්යතුමිය මෙහිදී ස්තූතිය පුද කළාය.
විවිධ අභියෝග මධ්යයේ වුවද ආර්ථික වර්ධනය ඇතුළු ක්ෂේත්ර ගණනාවක රජය අත්කරගෙන ඇති ප්රගතිය පිළිබඳව තානාපතිනිය සිය සුබ පැතුම් එක් කළාය. එසේම, යෝජිත ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් පුළුල් මට්ටමේ සාකච්ඡා හා උපදේශන ක්රියාවලියක් පවත්වාගෙන යාමේ වැදගත්කම ද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.
මීට අමතරව, යුරෝපා සංගමයේ සාමාජික රටවල් සමඟ ශ්රී ලංකාව පවත්වන සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමේ අවශ්යතාව අවධාරණය කළ තානාපතිනිය, අන්යෝන්ය වශයෙන් වැදගත් කරුණු කෙරෙහි ඵලදායී ලෙස මැදිහත් වීමටත් සහයෝගයෙන් කටයුතු කිරීමටත් ශ්රී ලංකාව දක්වන සූදානම ඇගයීමට ලක් කළාය.
මෙම අවස්ථාවට යුරෝපා සංගම් නියෝජිත කණ්ඩායමේ නියෝජ්ය ප්රධානී ගාලියා අගිෂේවා (Galia Agisheva) මහත්මිය, අග්රාමාත්ය ලේකම් ප්රදීප් සපුතන්ත්රී මහතා, අග්රාමාත්ය අතිරේක ලේකම් සගාරිකා බෝගහවත්ත මහත්මිය ඇතුළු විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්යාංශයේ ජ්යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
අග්රාමාත්ය මාධ්ය අංශය