ආහාර හා ජීවනෝපාය සුරක්‍ෂිතතාව සහ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති සඳහා UNDP සහාය...

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) මෙරට නේවාසික නියෝජිත අසුසා කුබෝටා මහත්මිය 2023.03.23 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී ජාත්‍යන්තර සහයෝගිතාව පිළිබඳ අදහස් හුවමාරු කරගත්තාය.

සමාජීය වශයෙන් පවතින සාර්ව ආර්ථික ස්ථාවරත්වය; හරිත සංවර්ධනය සහ සහභාගිත්ව පාලනය සහ යුක්තිය, සාමය සහ සමාජ ඒකාබද්ධතාවය යන ප්‍රධාන ක්‍ෂේත්‍ර යටතේ සැළසුම් කොට ඇති එහි නව වැඩසටහන් 2023-2027 කාල සීමාව තුළ ක්‍රියාත්මක කිරීමට අපේක්‍ෂා කෙරේ.

ජපාන රජයේ සහයෝගය ඇතිව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් ආහාර සහ ජීවනෝපාය සුරක්‍ෂිතතාව, හරිත තාක්ෂණය සහ පුනර්ජනනීය බලශක්තිය පිළිබඳ ව්‍යාපෘති දෙකක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරිමට අපේක්‍ෂා කරන බව ඇය එහිදී පැවසුවාය.

ශ්‍රී ලංකාවේ ප්‍රජා සංවර්ධන වැඩසටහන් සඳහා ලබාදුන් UNDP සහාය පිළිබඳව අග්‍රාමාත්‍යවරයා සිය ස්තූතිය පළ කළේය. UNDP අනුග්‍රහය ඇතිව ක්‍රියාත්මකවන ඇඹිලිපිටිය තුන්කම වැව් ගම් පුබුදුව ප්‍රජා ජල ව්‍යාපෘතිය මගින් ගම්වාසීන්ට පානීය ජලය මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය සැපයීමට සැලසුම් කර ඇති බැවින් එය ප්‍රදේශවාසීන්ට අතිශයින්ම ප්‍රයෝජනවත් බව ඔහු පෙන්වා දුන්නේය.

වසර ගණනාවක් තිස්සේ නායයෑම් හේතුවෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල නිවාස 26,000කට හානි සිදුව ඇති බව අග්‍රාමාත්‍යවරයා පැවසුවේය. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මගින් දැනටමත් නිවාස 3,000ක් පමණ ප්‍රතිසංස්කරණය කර ඇතත් ඉතිරි නිවාස 23,000 ක ජනතාවට නිවාස සැපයීම අවශ්‍ය වේ. මෙරට නාය යෑම්වලට ලක් වූ ප්‍රදේශවල පාංශු සංරක්‍ෂණය කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී හා නිවාස වැඩසටහන්වලට UNDP සහාය ලබාදිම පිළිබඳ සලකා බලන ලෙස ඔහු කුබෝටා මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

ග‍්‍රාමීය ප‍්‍රජා මූල සංවිධානවල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධනය සඳහා ආධාර වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාවේ මහා පරිමාණ ව්‍යාපෘති දෙකක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන හරිත සංස්කෘතික අරමුදල යටතේ ඉහත ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවට සහාය වීමේ හැකියාව සොයා බලන බව නේවාසික නියෝජිත කුබෝටා මහත්මිය පැවසුවාය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ UNDP කණ්ඩායම් නායක (ප්‍රතිපත්ති සහ සබඳතා), ෆාදිල් බාකීර් මාකර් යන මහත්වරු ද එක්ව සිටියහ.