එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලබාදුන් සහයෝගයට අගමැති වෙනිසියුලාවට ස්තුතිය පුද කරයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැස්වන අවස්ථාවල දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනිසියුලාව දක්වන අඛණ්ඩ සහයෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කෘතඥතාව පළ කළේය.

වෙනිසියුලා තානාපති කපායා රොඩ්රිගුවස් ගොන්සලෙස් (Capaya Rodriguez Gonzalez) මහත්මිය සමඟ (නොවැම්බර් 6) අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදී අග්‍රාමාත්‍යවරයා මෙසේ පැවසීය.

ශ්‍රී ලංකාව සහ වෙනිසියුලාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් සමඟ ගනුදෙනු කිරීමේදී ඇතැම් බලවත් රටවල් දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව පැවසූ තානාපති ගොන්සාලෙස් මහත්මිය ස්වෛරී ජාතීන්ට එරෙහිව සිදුවෙන එවැනි ඇඟිලි ගැසීම්වලට එක්ව මුහුණ දිය යුතු බව අවධාරණය කළාය.

විදේශ භාෂා ඉගෙනීමට ශ්‍රී ලාංකීය තරුණ තරුණියන් තුළ විශාල උනන්දුවක් පවතින බැවින් විශ්ව විද්‍යාල ආචාර්යවරු හුවමාරු කර ගැනීමේ ගිවිසුමක් හරහා ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලවලට ස්පාඤ්ඤ භාෂා ආචාර්යවරුන්ගේ සේවය කෙටි කාලනීව ලබා ගැනීමේ යෝජනාවක් ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන සහ අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක යන මහත්ම මහත්මීන් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය