ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති සහ අග්‍රාමාත්‍යතුමිය අතර හමුවක්

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ ශ්‍රී ලංකාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Khaled Nasser Al Ameri මහතා අතර හමුවක් ඔක්තෝබර් 01 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

මෙහිදී අග්‍රාමාත්‍යතුමිය, ඩිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ශ්‍රී ලංකාවට එක්සත් අරාබි එමීර් රාජ්‍ය රජය ලබාදුන් සහයෝගය සම්බන්ධයෙන් සිය ස්තූතිය පළ කළාය.

එළැඹෙන දෙසැම්බර් මාසයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජල සමුළුව සඳහා සහභාගී වන ලෙස අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත තානාපතිවරයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය වෙනුවෙන් ආරාධනා කළේය.

අනතුරුව ජල කළමනාකරණය සහ ජල සුරක්ෂිතතාව සම්බන්ධ අභියෝග පිළිබඳව ද දෙපාර්ශ්වය සාකච්ඡා කළ අතර, ජලය සම්බන්ධයෙන් පවතින ගැටලු සඳහා තිරසර හා දිගුකාලීන විසඳුම් සංවර්ධනය කිරීමේ වැදගත්කම එහිදි අවධාරණය කෙරිණි.

කුසලතා ඇති ශ්‍රමිකයන්ගේ සංක්‍රමණය පිළිබඳව ද අවධානය යොමු වූ අතර, ජාත්‍යන්තර රැකියා වෙළෙඳපොළ තුළ ශ්‍රී ලාංකික නිපුණ ශ්‍රමිකයන් සඳහා පවතින අවස්ථා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කෙරිණි.

ශ්‍රී ලංකාවේ වෘත්තීය හා තාක්ෂණික අධ්‍යාපන ක්ෂේත්‍රයට සහාය ලබාදීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය දක්වන උනන්දුව පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර, කෘෂිකාර්මික තාක්ෂණය සහ ඒ ආශ්‍රිත ක්ෂේත්‍ර සම්බන්ධයෙන් සහයෝගීතාව සඳහා පවතින අවස්ථා පිළිබඳව ද අවධානය යොමු විය.

ශ්‍රී ලංකා වරාය සහ ගුවන් සේවා ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආයෝජකයන් දක්වන උනන්දුව පිළිබඳව ද තානාපතිවරයා මෙහිදී කරුණු සඳහන් කළේය. ශ්‍රී ලංකාව කලාපීය ගුවන් යානා නඩත්තු මධ්‍යස්ථානයක් බවට සංවර්ධනය කිරීමේ හැකියාව පවතින බවත්, එමගින් ආයෝජන සහ නිපුණතා සංවර්ධනය සඳහා නව අවස්ථා නිර්මාණය කළ හැකි බවත් ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් හා පුළුල් කිරීම පිළිබඳව ද සාකච්ඡාවේදී අවධානය යොමු විය.

අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සගරිකා බෝගහවත්ත මහත්මිය සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශ නියෝජනය කරමින් නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය