අපගේ වගකීම වන්නේ ළමයින් තාක්‍ෂණයෙන් ඈත් කිරීම නොව, බුද්ධිමත්ව, විචක්ෂණශීලී ඇසකින් බලමින් නිර්මාණාත්මකව එය භාවිත කිරීමට ඔවුනට මග පෙන්වීමයි. - අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සැප්තැම්බර් 11 වන දින කොළඹ ITC රත්නදීප හෝටලයේ දී පැවැත්වුණු විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු සහ ගණිත විෂය ක්ෂේත්‍රයන්ට අදාළ අධ්‍යාපනික අන්තර්ගතයන් TikTok සමාජ ජාලය ඔස්සේ හඳුන්වා දීම සඳහා වන "STEM Feed" දියත් කිරීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළා ය.

ඩිජිටල් තාක්ෂණය මුල් කරගත් ලෝකයක TikTok මගින් අධ්‍යාපනයට ප්‍රවේශ වීම, දැනුම බෙදාහැරීම සහ අධ්‍යාපනය ශක්තිමත් කිරීමට අවකාශ සලසමින් රටේ තරුණ තරුණියන්ට ඩිජිටල් තාක්ෂණික ක්ෂේත්‍රයේ ඉගෙනීම් අවස්ථා පුළුල් කරන මේ අවස්ථාව සුවිශේෂී සන්ධිස්ථානයකි.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය,

සම ප්‍රවේශයක් සහිත, අනාගතයට ගැළපෙන මෙන්ම දරුවන්ට ඔරොත්තු දෙන අධ්‍යාපන ක්‍රම්වේදයක් හඳුන්වා දීම සඳහා අධ්‍යාපන නිලධාරීන්, අධ්‍යාපනඥයින්, විද්වතුන්, තාක්ෂණ විශේෂඥයන්, ළමා ආරක්‍ෂක උපදේශකයින් සහ පෞද්ගලික අංශයේ හවුල්කරුවන්ගෙන් සමන්විත කාර්ය සාධක බළකායක් පිහිටුවීම සඳහා රජයේ මුලපිරීම අවධාරණය කළා ය.

ජාතික ප්‍රමුඛතා සමඟ පෙළ ගැසෙමින් STEM විෂය ක්ෂේත්‍රයන් වෙත තරුණ තරුණියන් දිරිගැන්වීමට සහ පෙළපොත්වලින් ඔබ්බට ගිය දැනුම සඳහා නව ප්‍රවේශ හඳුන්වා දෙන TikTok වැනි ගෝලීය වේදිකා මඟින් ලබා දෙන සහාය පැසසුමට ලක් කළ අග්‍රාමාත්‍යවරිය, නව්‍ය, සමතුලිත සහ සවිබල ගැන්වුණු තරුණ පරපුරක් ගොඩනැගීම සඳහා කලා සහ මානව ශාස්ත්‍ර ඇතුළු STEAM විෂයයන් කෙරෙහි ද අවධානය යොමු කිරීමේ අවශ්‍යතාවය ද පෙන්වා දුන්නාය.

මෙම අවස්ථාව පිළිබඳව අදහස් දක්වමින් TikTok සමාජ ජාලයේ දකුණු ආසියාතික රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා ප්‍රධානී Ferdous Mottakin මහතා, ශ්‍රී ලංකාවේ STEM Feed දියත් කිරීම අධ්‍යාපනික අන්තර්ගතයන් සඳහා ඇති ප්‍රවේශයන් පුළුල් කිරීම පමණක් නොව, එවැනි ඉගෙනීම ආරක්ෂිත, විනිවිදභාවයකින් සහ විශ්වාසදායක ඩිජිටල් පරිසරයක් තුළ සිදු වන බව සහතික කිරීමට හැකියාව උදා වන බව සඳහන් කළේය.

මෙම අවස්ථාවට TikTok සමාජ ජාලයේ දකුණු ආසියානු රාජ්‍ය ප්‍රතිපත්ති සහ රාජ්‍ය සබඳතා ප්‍රධානී Ferdous Mottakin මහතා, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී මහතා, ඩිජිටල් ආර්ථිකය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ඒ.සරත් ආනන්ද මහතා මෙන්ම රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ නිර්මාණකරුවන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය