අද ජීවත්වන කිසිවකු වතු ජනතාව එදා වින්ඳ දුක වේදනාව දැකලා නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

ඉන්දීය සම්භවයක් සහිත දෙමළ (IOT) ජනතාව පැමිණ වසර 200ක් පිරීම නිමිත්තෙන් සංවිධානය කොට තිබූ ’නාම් 200’ (අපි 200) සැමරුම 2023.11. 02 දින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ. සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී දී පැවැත්විණි. ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මියද මෙම අවස්ථාවට සහභාගී විය.

දිඹුල, කොටගල, මවුන්ට් වර්නන් වතුයායේ පහළ කොටසේ ඉන්දීය ආධාර යටතේ නිවාස 10,000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ සමාරම්භය සහ හැටන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව ශ්‍රවණාගාරයක් සහ පරිගනක ඒකකයක් විවෘත කිරීමත්, මෙහිදී නව තාක්ෂණය ඔස්සේ සිදු කෙරිණි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා -

‟ඉන්දියානු වතු කම්කරුවන් ශ්‍රී ලංකාවට පැමිණ වසර 200 ක් සපිරෙන මේ මොහොතේ අපි ඔවුන් මුහුණ දුන් අභියෝග හඳුනාගෙන සියලු කම්කරු පවුල්වලට ගෞරවයෙන් හා යුක්තියෙන් සළකනු ලබන වඩාත් සාධාරණ අනාගතයක් සඳහා වැඩ කළ යුතුයි. ශ්‍රී ලංකාවට වගේම ඉන්දු ලංකා මිත්‍රත්වයට පරිත්‍යාගය කරමින් කැප කිරීම් කළ අධිෂ්ඨානයෙන් වැඩ කළ ඉන්දියානු සම්භවයක් සහිත අපේ වතුකරයේ ජනතාව ඇති කර තිබෙන්නේ වසර 200 ක සුවිශේෂඥතාවයක්.

අද ජීවත්වන කිසිවකු මේ ජනතාව වින්ඳ දුක වේදනාව දැකලා නැහැ. ඒ දුක් වේදනාවෙන් ගොඩ එම සදහා ඔවුන් විවිධ කැපකිරීම් කළා. නමුත් ඒ ගමන ජනතාවගේ ජීවන තත්ත්වය, රටේ ජීවන තත්ත්වය සුවිශේෂ වෙනසකට පරිවර්තනය කළා. අප අසා තිබෙනවා. වාර්තා වල කියවෙනවා. කී දාහක් තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජීවිතය පූජා කළා ද කියලා. ඒ නිසාමයි ඒ ගමන ශක්තිමත් වුණේ. ඉන්දීය සම්භවයක් ඇති වතුකරයේ ජනතාවගේ ඒ අරගලය දීර්ඝ කාලයක් ඉදිරියට පැමිණියා.

මේ ප්‍රජාවට පමණක් නොව ශ්‍රී ලාංකික කම්කරු පන්තියට ද ඉමහත් සේවයක් ඉටු කළ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මැතිතුමා අප කෘතවේදීව සිහිපත් කරනවා. තොණ්ඩමන් මැතිතුමාගේ නායකත්වයෙන් එම ජනතාවට විශාල ප්‍රගතියක් අත් කරගන්න පුළුවන් වෘත්තීය සමිතියක් ලෙස ගොඩ නැගුණා. පොදු කටයුතුවලදී වගේම අයිතිවාසිකම් දිනාගැනීම සඳහා තොණ්ඩමන් මැතිතුමා සමග එකට වැඩ කරන්නට පුළුවන්කම ලැබුණා. ජීවන් තොණ්ඩමන් ඇමතිතුමා ඉටු කරන කාර්යය අගය කරනවා. අපේ අමාත්‍ය මණ්ඩලයේ ඉන්න බාලම අමාත්‍යවරයා. ඒ නිසා මේ අවුරුදු දෙසීය සිහිපත් කරන අවස්ථාව විශාල ජයග්‍රහණ ගණනාවකට ගමන් කරන්න පුළුවන්කම ලැබී තිබෙනවා.

වතුකරයේ අද වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් හා දරුවන්ගේ, තරුණ පරම්පරාවේ අනාගතය තමයි සුවිශේෂ වන්නේ. සැමට හොඳ පුරවැසි අයිතිවාසිකම් ලබාදීමට අප කැපවී ක්‍රියා කරනවා. මෙම ප්‍රජාව ශ්‍රී ලාංකීය සමාජයට පූර්ණ වශයෙන් ඒකාබද්ධ කිරීමේ පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කළ පළමු අවස්ථාව මෙය බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.

කඳුකරයේ දෙමළ ජනතාව 5000කට අධික පිරිසක් සහභාගී වූ මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන්, පක්ෂ ලේකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන්, අමාත්‍යවරුන්, විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය