ශ්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවයට එල්ල වන අභියෝගවලට මුහුණදීමට ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ සහාය...

ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICC) ප්‍රථම කාන්තා සභාපති වන මාරියා ෆනෑන්ඩර් ග්ර්සා (Maria Fernanda Garza) මහත්මිය සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2023.10.19 දින අරලියගහ මන්දිරයේදී සිදුවිය.

වෙළඳ හා ආයෝජන, බැංකු, රක්ෂණ, පුහුණුව සහ අධ්‍යාපනය, මූල්‍ය, සංචාරක, කෘෂිකර්මය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව සහය සහ ව්‍යවසායකත්ව සංවර්ධනය සහ එම ක්ෂේත්‍රවල ගැටලු බේරුම්කරණය ඇතුළත් ශ්‍රී ලංකාවේ ICC හි කාර්යභාරය පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකරනු ලැබීය.

නවීන තාක්ෂණය සමග ආර්ථිකය ඉදිරියට යාම සඳහා ඩිජිටල්කරණය අත්‍යාවශ්‍ය බව අවධාරණය කළ මාරියා ෆනෑන්ඩර් ග්ර්සා මහත්මිය එයින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට මෙන්ම කෘෂි ක්ෂේත්‍ර වල නියැලී සිටින ග්‍රාමීය ජනතාවටද විශාල අවස්ථා විවර වනු ඇතැයි පෙන්වා දුන්නාය.

ආහාර සුරක්ෂිතතාව සහ අපනයනය ඇතුළත් රජයේ ප්‍රමුඛතා පිළිබඳව මෙහිදී පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා යම් යම් අංශ ශ්‍රී ලංකාව පිළිබඳව වැරදි චිත්‍රයක් මවා පෑමට උත්සහ ගන්නා නමුත් ලොව ප්‍රබල පිළිගැනීමක් ඇති ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයට ජිනීවා, එක්සත් ජාතීන්ගේ සමුළුව වැනි ජාත්‍යන්තර වේදිකා වලදී ශ්‍රී ලංකාවේ නිවැරදි තත්වය පැහැදිලි කිරීමට වැදගත් කාර්යභාරයක් ඉටුකළ හැකි බව පෙන්වා දුන්නේය.

සමාගම් මිලියන 45 ක ආයතනික සාමාජිකත්වයක් ඇති රටවල් 170 ක් ICC නියෝජනය කරන බව ගාර්සා මහත්මිය මෙහිදි සඳහන් කළාය. 2021 දී දියත් කරන ලද ICC හි කෘෂිකාර්මික ප්‍රතිපත්ති, ආහාර සුරක්ෂිතතා සහ සැපයුම් දාම කමිටුව, ආහාර සුරක්‍ෂිතතාවයට එල්ල වන අභියෝගවලට මුහුණදිම සඳහා ක්ෂේත්‍රයේ සමාගම්වලට සහාය ලබා දීම අරමුණු කරන බව ඇය පැවසුවාය.

ICC නියැලීම, පාලනය, තිරසාර දූෂණ විරෝධී සහ යන භාවිතයන් වෙනුවෙන් පෙනී සිටීම සඳහා වේදිකාවක් ද සපයයි. ICC බැංකු කමිටුව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සියලුම බැංකු විසින් නියෝජනය කරනු ලබන අතර, වෙළෙඳ පහසුකම් වේගවත් කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුව සමඟ කාර්තුමය වශයෙන් රැස්වේ.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ශ්‍රී ලංකා ICC සභාපති, ඇන්තනි එම්. ශනිල් ප්‍රනාන්දු, ලේකම් හේමකුමාර ගුණසේකර, කළමනාකරු සංජීව කරුණාරත්න යන අය එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය