අග්‍රාමාත්‍ය කාර්යාලය වියදම් 46% කින් අඩු කරයි - වගකීම් සම්භාරය පුළුල් කරයි.

අග්‍රාමාත්‍ය කාර්යාලයද ඇතුළු වැය ශීර්ෂ 21 ක් සඳහා 2024 අය-වැය කාරක සභා අවස්ථා විවාදයට පාර්ලිමේන්තුවේදී 2023.11.22 දින එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා, සිය කාර්යාලයේ වියදම් කළමනාකරණය පිළිබඳ තොරතුරු හැන්සාඩ් ගත කළේය.

ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2022 දී 21%කින් හා 2023 ඔක්තෝබර් වනවිට 46% කින්, අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සිමාකර තිබේ. 2021 වර්ෂයේදී රුපියල් මිලියන 1661.7ක් වූ වියදම 2022දී 1310.4ක් වූ අතර 2023 ඔක්තෝබර් වනවිට එම අගය රු.මි. 705.7ක් දක්වා අඩු කර ඇත. විශේෂත්වය වන්නේ 2021 දී අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහා අය-වැයෙන් වෙන් කළ රු.මි. 1661.7 ම වියදම් කර තිබුණද 2022දී වෙන් කළ රු.මි. 1432.8න් 1310.4ක් පමණක් වියදම් කිරීමත්, 2023දී වෙන්කළ රු.මි. 1012.0න් රු.මි. 705.7ක් පමණක් වියදම් කිරීමය.

දිනේෂ් ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය ධුරය භාරගැනීමට පෙර 2021-2022 කාලයේ අගමැති කාර්යාලයේ කාර්ය මණ්ඩලය 500කට අධික වුවත් මේ වනවිට එම ගණන 285 දක්වා අඩුකර ඇත.

ඒ අනුව වැටුප් වියදම 2022දී රු.මි. 340.3ක් වූ අතර 2023.11.22 වනවිට එම වියදම රු.මි. 208.2 දක්වා 39%කින් අඩුකර ඇති අතර, ලිපි ද්‍රව්‍ය වියදම 74%කින් අඩුකර ඇත්තේ විද්‍යුත් පද්ධති හරහා කාර්යාලයීය කටයුතු සිදුකිරීමත් සමගය.

අග්‍රාමාත්‍ය කාර්යාලයට ලැබෙන ලිපිවලට පිළිතුරු සැපයීමේ ක්‍රියාවලිය ඩිජිටල්කරණයට ලක්කිරීම හේතුවෙන් තැපැල් හා සන්නිවේදන වියදම 36%කින් අඩුකර ගැනීමට හැකිවී තිබේ.

වර්ෂ 2022දී අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන 178ක් පැවතියත්, 2023 වර්ෂය අවසන් වනවිට ඇත්තේ සේවා අවශ්‍යතාවට ප්‍රමාණවත් වාහන 125ක සංචිතයක් පමණි. ඒ අනුව 2022දී පැවති රු.මි. 239.2ක වාහන නඩත්තු වියදම, 2023දී රු.මි.72.3 දක්වා70%කින් අඩුකරගෙන තිබේ.

ඉන්ධන වියදම 26%කින් අඩු වී ඇත්තේ, 2022 වර්ෂයේදී පැවති රු.මි. 107ක මුදල 2023දී රු.මි. 79.3 දක්වා අඩුකර ගැනීමට හැකිවිමෙනි.

ලංකා විදුලිබල මණ්ඩලය සමග ගිවිසුම්ගතව පවත්වාගෙන ගිය විදුලි ජනක යන්ත්‍රවල වාර්ෂික නඩත්තු කටයුතු නියෝජිත ආයතන වෙත පවරා දීම මගින් රු.මි.15ක් ඉතිරි කරගැනීමටද අග්‍රාමාත්‍ය කාර්යාලයට හැකිවූ අතර, ඒ අනුව යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ නඩත්තු වියදම අඩු වූයේ 31%කිනි.

මෙසේ කාර්යක්ෂම මුල්‍ය කළමනාකරණයක් පවත්වාගෙන යද්දී, රටේ ආර්ථික සහ සමාජ අර්බුදයෙන් මිදීම සඳහා වඩාත් හදිසි අවස්ථා වැඩි ගණනක් ආවරණය වන පරිදි අග්‍රාමාත්‍ය කාර්යාලයේ වගකීම් සම්භාරය තව තවත් පුළුල් කිරීමද විශේෂත්වයකි. අමාත්‍ය මණ්ඩලය මගින් අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත පවරා ඇති අතිරේක කාර්යය භාරයන්ද සාර්ථකව ඉටු කරමින් කාර්යාලයේ සේවාවන් බිඳ වැටීමකින් තොරව පවත්වාගෙන යාම උදෙසා, වියදම් සීමා කිරීම කිසිදු බාධාවක් වූයේ නැත.

මහා පරිමාණ ව්‍යාපෘති 262 සම්බන්ධ ගැටළු නිරාකරණය උදෙසා ජාතික මෙහෙයුම් මැදිරිය සතිපතා ක්‍රියාත්මක කිරීම මෙන්ම, ජාතික ජල සම්පත් ප්‍රතිපත්තියක් සැකසීම, ජාතික ඩිජිටල් ප්‍රතිපත්තියක් සැකසීම, තිරසාර බලශක්ති ප්‍රතිපත්තියක් සැකසීම, අධ්‍යාපන උපාය මාර්ග සහ ප්‍රතිපත්ති රාමු සැකසීම යන අතිරේක කාර්යයන් ඉටු කිරීමද, අග්‍රාමාත්‍ය කාර්යාලයට පැවරී තිබේ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය