ඉඩම් නිදහස් කිරීමේදී අයිතිය ගැන ගැටළුවක් නැහැ. - අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අයිතිය එසේ පවතිද්දී වගාව ඇති කිරීම සඳහා වූ බලය දෙන්න රජය තීරණය කළා...

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේදෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීම සහ සුළු පරිමාණ කුකුළු ගොවිපොළ හිමිකරුවන් නංවාලීම අරමුණු කරගෙන සිදු කරන බිත්තර රැක්කවීමේ යන්ත්‍ර බෙදාදීමේ වැඩසටහනට අද (2024.04.22) එක්වෙමිනි.

එහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා -

මහජන චීනයෙන් ලැබුණු මේ සහයෝගය දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට බෙදා හැරෙනවා. අතිරේකව තවත් විශේෂ ව්‍යාපෘති රාශියකට අපට ගමන් කරන්නට පුළුවන්කම ලැබී තිබෙනවා. පළාත් පාලන, රාජ්‍ය පරිපාලන. ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඒකාබද්ධ කරගත් ඉලක්කගත සංවර්ධන උත්සාහයකට යොමු වීම වඩා වැදගත්.

ලෝක ආර්ථිකයේ මේ වගේ අර්බුද තියෙන රටවල් ගණනාවක් අප දැක තිබෙනවා. ලෝක ආර්ථිකයේ විවිධ අවස්ථාවන්හි, විවිධ රටවල් ආර්ථික කඩා වැටීම් වලට ලක්වුණා. ඒ ආර්ථික කඩා වැටීම් වලින් ගොඩ ඒමට දරන උත්සාහයන් වලදී විශාල පීඩනයන් ජනතාවට අත්වෙනවා. ආදායම් මාර්ගවල ගැටලු ඇතිවෙනවා. ආදායම් මාර්ග වල ගැටලු ඇතිවීම නිසා විවිධ ආර්ථික ප්‍රතිපත්තීන්ට රාජ්‍ය සේවකයින් ගොදුරු වෙනවා. ග්‍රීසිය, ආර්ථික ආදායම් මාර්ග රජයට අහිමිවෙන්න පටන් ගත්තහම මුළින්ම රජයේ සේවය කරන අය සියයට හතළිහක් රස්සාවලින් අස්කරන්න පටන් ගත්තා. පොහොසත් රටවල් වල යුරෝපයත් යම් පීඩනයකට මුහුණ දෙමින් සිටිනවා. රාජ්‍ය සේවනයින් ඉවත් කරන්න කියලා ජාත්‍යන්තර ආයතනය කිව්වත් අපි එහෙම කළේ නැහැ.

ජනතාවගේ ආරක්ෂාව පිණිස කටයුතු කරමින් මේ අර්බුදයෙන් ගොඩ එමේ මාර්ග වලට පමණක් අප පිවිසෙන බව ඔවුන්ට සඳහන් කළා. අපේ ගම්බද නිෂ්පාදනය වැඩි කිරීම සඳහා වූ ඒ වැදගත් උනන්දුව තුන්කෝරළේ ජනතාව අතර තිබෙනවා. ඒ වැඩිදියුණු කිරීම සඳහා දිස්ත්‍රික් සංවර්ධන සභාපතිවරු ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු සක්‍රීය විය යුතුයි. කන්ද උඩරට ජනතාවට සුවිශේෂ ආර්ථික සංවර්ධනයකට අවස්ථා ප්‍රකාශ කර තිබෙනවා. කන්ද උඩරට ජනතාවට මේ පළාත අයිති වෙනවා. තුන් කෝරළේ ගමින් ගමට ප්‍රාලේ කොට්ඨාශයෙන් කොට්ඨාශයට එයට හිමිකම් කීමේ ඕනෑකම විශේෂයෙන් උනන්දු කරන්න ඕනේ. බණ්ඩාරනායක මැතිනිය රජයේ ඉඩම් ලෙස විදේශ වතු ජන සතු කළා. දේශීය පෞද්ගලික අයිතිකරුවන්ගේ අතිරික්ත ඉඩම් රජයට ගත්තා. ඒ පනත සංවෘත වෙලා අවුරුදු පනහක්. නමුත් බලාපොරොත්තු වූ ඉලක්ක ඉටුවෙලා නැහැ.

ඒ පිළිබඳ විශේෂයෙන් සාකච්ඡා කරමින් තමයි අමාත්‍ය මණ්ඩලය දැනට සංවර්ධනය සඳහා යොදා ගැනීමට හැකි අලුතින් වගාවන් සඳහා යොදා ගැනීමට හැකි ඉඩම් නිදහස් කිරීමට තීරණය කළා. ඒ අනුව රජයේ විශාල වතු යායවල් සමාගම් වලට දීලා තියෙන නමුත් වගා නොකරන අක්කර ගණන් තියෙන ඒවා හොයලා බලලා ග්‍රාම නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම්වරුන් ඒ තොරතුරු සම්බන්ධ කරගෙන අලුතෙන් කන්ද උඩරට සංවර්ධනයට ඒ ඉඩම් නිදහස් කර දෙනවා. මෙතන තියෙන්නේ අයිතිය ගැන ගැටළුවක් නෙමේ වගාව ගැන ගැටළුවක්. අයිතිය එසේ පවතිද්දී වගාව ඇති කිරීම සඳහා වූ බලය දෙන්න රජය තීරණයක් අරගෙන තිබෙනවා. ඒ අනුව ප්‍රදේශයෙන් ප්‍රදේශයට සමහර ගම් ආහාර වගාවටත් සමහර ගම් අපනයන භෝග වගාවටත් යොමුවීමේ අවස්ථාව හිමිවෙනවා. අලුත් ආදායම් මාර්ග ගමින් ගමට ඇති කරන්නට පුළුවන්කමට රට යොමු කර ගැනීම මේ වෙලාවේ අත්‍යවශ්‍යයි.

මේ ජල කඳ කඳුකරයෙන් පහළට බැස ප්‍රධාන ගංගාවන් මගින් මහ මුහුදට ගලාගෙන යනවා. එසේ ගමන් කිරීමේ පළවෙනි අතුරු එකතුව තියෙන්නේ මේ තුන් කෝරළේ. කොයිතරම් සම්පතක් ජාතියට හිමිකම් කියනවද. සම්පත් දියුණු කිරීම සහ එය පහළට ගමන් කිරීමේ ක්‍රියාදාමයන් කළමනාකරණය කර වඩාත් ආකර්ශනීය සංවර්ධන වැඩපිළිවෙලක් යොදා ගැනීමට ඔබේ අදහස් භාරගෙන කටයුතු කරන්න පුළුවන් සාකච්ඡාවක් දැන් ආරම්භ කර තිබෙනවා.

මෙම අවස්ථාට පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සුදත් මංජුල, උදයකාන්ත ගුණතිලක, රාජිකා විකමසිංහ, යදාමිණි ගුණවර්ධන, යන අයරාජ්‍ය නිලධාරීන් සහ මහජනතාව සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය