මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන ආබාධ (SUD) පාලනය සහ පුනරුත්ථාපනය සඳහා වූ ජාතික උපායමාර්ගික සැලැස්මේ ප්‍රගති සමාලෝචනය අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන්

මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන ආබාධ (SUD) වළක්වා ගැනීම, ප්‍රතිකාර කිරීම, කළමනාකරණය සහ පුනරුත්ථාපනය සඳහා වන 2026–2030 ජාතික උපායමාර්ගික සැලැස්මේ ද්වි-වාර්ෂික ප්‍රගති සමාලෝචන රැස්වීම, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 30 වන දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහ අග්‍රාමාත්‍යතුමියගේ උපදෙස් පරිදි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් අන්තර්-අමාත්‍යාංශ සම්බන්ධීකරණයක් ඔස්සේ මෙම ජාතික උපායමාර්ගික සැලැස්ම සකස් කළ අතර මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇතිවන ආබාධ පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීම සඳහා විධිමත් ජාතික වැඩපිළිවෙළක් ස්ථාපිත කිරීම මෙම සැලැස්මේ ප්‍රධාන අරමුණයි.

මෙම සැළැස්ම, මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම, පූර්ව හඳුනාගැනීම, ප්‍රතිකාර ලබාදීම, පුනරුත්ථාපනය, නැවත මත්ද්‍රව්‍යවලට යොමුවීම වැළැක්වීම සහ දීර්ඝකාලීන නිරීක්ෂණය මෙන්ම අධීක්ෂණය සහ ඇගයීම යන ප්‍රධාන ක්ෂේත්‍ර හය ඔස්සේ ක්‍රියාත්මක වේ.

ජාතික උපායමාර්ගික සැලැස්මට අනුව 2026 ජනවාරි 01 සිට ජූනි 30 දක්වා කාලය තුළ ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍‍යාංශය, ශ්‍රී ලංකා පොලීසිය, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, පුනරුත්ථාපන කාර්යාංශය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව සහ ජාතික ළමා රක්ෂක අධිකාරිය යන ආයතන මෙහිදී ප්‍රගතිය ඉදිරිපත් කරන ලදී.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් (සංවර්ධන) සාගරිකා බෝගහවත්ත, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (සංවර්ධන) එස්. යූ. ඒ. වීරසිංහ යන මහත්ම මහත්මීන් ඇතුළු අදාළ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නියෝජනය කරමින් නිලධාරීහු රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය