ප්‍රජාතන්ත්‍රවාදී උරුමය සුරකිමින් තාක්ෂණයෙන් හා නීතියේ ආධිපත්‍යයෙන් පිරි නව ශ්‍රී ලංකාවක් ගොඩනඟනවා - ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දින සැමරුමේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය කියයි

වසර 95ක සර්වජන ඡන්ද බල උරුමයක් හිමි ශ්‍රී ලංකාව, අද වන විට තාක්ෂණයෙන් පෝෂණය වූ සහ නීතියේ ආධිපත්‍යය සුරකින නව මාවතකට පිවිස සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ජාත්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදී දිනයට සමගාමීව මැතිවරණ කොමිෂන් සභාව විසින් සංවිධානය කරන ලද විශේෂ සැමරුම් උත්සවයට සහභාගී වෙමින් සැප්තැම්බර් 15 වන දින රාජගිරිය මහ බැංකු අධ්‍යයන කේන්ද්‍රයේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මැතිවරණ ඉලෙක්ට්‍රොනික සේවාවට (E-Services) වසර 10ක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක් එළිදැක්වීමද මෙහිදී සිදුවිය.

අනතරුව වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

ප්‍රජාතන්ත්‍රවාදයේ හදවත තමයි නීතියේ ආධිපත්‍යය කියන්නේ. නීතිය හමුවේ සැමදෙනාම සමාන වෙන්න ඕනේ. කිසිම තරාතිරමක කෙනෙකුට නීතියට ඉහළින් ඉන්න ඉඩ තියන්න බැහැ. පසුගිය කාලේ නැතිවෙලා තිබුණු නීතිය පිළිබඳ ජනතා විශ්වාසය නැවත ගොඩනඟන්න වත්මන් රජය කැපී පෙනෙන සහ ප්‍රායෝගික ක්‍රියාමාර්ග ගණනාවක් අරගෙන තියෙනවා.

පළමුවෙන්ම, දේශපාලන අතපෙවීම්වලින් තොරව නීතිය ක්‍රියාත්මක කිරීමේ පූර්ණ නිදහස පොලිසියට, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අධිකරණ පද්ධතියට ලබාදීලා තියෙනවා. මොන වගේ දේශපාලන බලපෑම් ආවත් අපරාධකරුවන්ට සහ දූෂිතයන්ට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක වෙනවා.

ඊළඟට, දූෂණ විරෝධී පනත ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරමින්, මහජන මුදල් අවභාවිත කරපු, රාජ්‍ය දේපළ අයථා ලෙස පාවිච්චි කරපු සහ අල්ලස් ගත්තු අයට එරෙහිව පක්ෂ පාට භේදයකින් තොරව පරීක්ෂණ පවත්වලා අධිකරණය හමුවට පැමිණවීමට කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම, අපේ රටට විශාල ලෙස විදේශ විනිමය එවමින් රටේ ආර්ථිකය රැකගන්නා, නමුත් මෙතෙක් කල් ඡන්ද අයිතිය අහිමිව සිටි විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද බලය ලබා දීමේ ක්‍රමවේදය සක්‍රීය කරන්න පියවර අරගෙන තියෙනවා. මෙය අපේ ප්‍රජාතන්ත්‍රවාදය තවත් ශක්තිමත් කරන තීරණාත්මක පියවරක්. ඒ වගේම, රාජ්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය, කොන්ත්‍රාත් ලබා දීම් සහ රාජ්‍ය මිලදී ගැනීම් සම්පූර්ණයෙන්ම ඩිජිටල්කරණය කරලා විනිවිදභාවයක් ඇති කිරීම හරහා වංචාව සහ දූෂණය සිදුවන මාර්ග වසා දමා තියෙනවා. රාජ්‍ය සේවය කියන්නේ මහජනතාවට ගෞරවයෙන් සේවය කරන විනිවිදභාවයෙන් යුතු යාන්ත්‍රණයක් බවට පත් කරමින් සිටිනවා.

ඒ වගේම රජය ප්‍රතිපත්තියක් ලෙස සළකන ’කිසිවෙකු අතනොහරින’ ප්‍රවේශය යටතේ අධ්‍යාපන, සෞඛ්‍ය සහ සමාජ සුභසාධන ක්ෂේත්‍රවල ප්‍රතිසංස්කරණ සිදු කරමින්, සෑම පුරවැසියෙකුගේම මූලික මානව හිමිකම් සහ සමාන අවස්ථා තහවුරු කරලා තියෙනවා.

අවුරුදු 95ක සර්වජන ඡන්ද බල උරුමයක් තියෙන අපි, අද ඇවිත් ඉන්නේ තාක්ෂණයෙන් පෝෂණය වුණු, නීතියේ ආධිපත්‍යය සුරකින නව මාවතකටයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ කොළයකට විතරක් සීමා වෙච්ච වගන්ති මාලාවක් නෙවෙයි. එය පාලකයා සහ පාලිතයා අතර තියෙන සැබෑ විශ්වාසයයි. 2024දී අපේ ජනතාව තැබූ ඒ තීරණාත්මක පියවර, අද වෙනකොට විනිවිදභාවය, නීතියේ ආධිපත්‍යය, ඩිජිටල්කරණය, සමගාමී සංවර්ධනය සහ සැබෑ ජනතාවාදී පාලනයක් විදිහට මල්ඵල ගන්වමින් තියෙනවා.

සියලු දෙනාගේම අරමුණ විය යුත්තේ ජාති, ආගම් හෝ කුල භේදයකින් තොරව, සියලු දෙනාටම හිමිකම් තියෙන, ප්‍රජාතන්ත්‍රවාදී, නීතිගරුක සහ සාධාරණ ශ්‍රී ලංකාවක් අනාගත පරපුර වෙනුවෙන් දායාද කිරීම බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.

මෙම අවස්ථාවට මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක, මැතිවරණ කොමසාරිස් ජනරාල් රසික පීරිස්, ආසියා-පැසිෆික් කලාපයේ අධ්‍යක්ෂිකා ලීනා රික්කිලා තමාං යන මහත්ම මහත්මීන් ඇතුළු මැති ඇමතිවරුන්, දේශපාලන පක්ෂ නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය