ඉන්දියානු සහ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලවල සිංහල සහ හින්දි භාෂා දෙපාර්තමේන්තු පිහිටුවීමට සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලය (ICCR) යෝජනා කරයි....

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල කිහිපයක සිංහල හා හින්දි භාෂා දෙපාර්තමේන්තු පිහිටුවීමට සංස්කෘතික සබඳතා පිළිබඳ ඉන්දියානු කවුන්සිලයේ සභාපති ආචාර්ය විනායි සහස්‍රබුද්ධ මහතා යෝජනා කරයි.

2023.03.27 අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූ අවස්ථාවේදී ආචාර්ය සහස්‍රබුද්ධ මහතා මේ බව ප්‍රකාශ කළේය. බෞද්ධ අධ්‍යයන කටයුතු සඳහා ලබාදෙන ICCR ශිෂ්‍යත්ව සංඛ්‍යාව වැඩි කිරීමට ද ඔහු යෝජනා කළේය.

වසර ගණනාවක් පුරා දෙරට අතර සංස්කෘතික හා සංගීත ක්ෂෙත්‍රවල සබඳතා සඳහා අනුග්‍රහය දක්වමින් ශ්‍රී ලාංකික සිසුන්ට, සංගීතඥයින්ට සහ කලාකරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමට කටයුතු කිරිම ගැන ICCR සභාපතිවරයාට අග්‍රාමාත්‍යවරයා සිය ස්තුතිය පුද කළේය.

තරුණ වෘත්තිකයන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නායකත්ව කුසලතා වැඩි දියුණු කිරීමට ICCR හි තරුණ නායකත්ව පුහුණුව සඳහා වන වැඩසටහන් ඉමහත් ප්‍රයෝජනවත් වෙයි.

දෙරටේ ශිල්පීන් විසින් වැඩිදියුණු කරන ලද නව්‍ය ශිල්පීය කුසලතාවන්ගෙන් අත්දැකිම් ලබාගත හැකි වන පරිදි හස්ත කර්මාන්ත ශිල්පීන් දෙරට අතර හුවමාරු කරගැනිමේ වැඩසටහන් සඳහා කටයුතු සම්පාදනය කරන ලෙස අග්‍රාමාත්‍ය ගුණවර්ධන මහතා ICCR සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

ICCR හි දි කුසලතා හා දැනුම වර්ධනයේ ප්‍රතිලාභ ලැබූවන් අතර අඛණ්ඩ සහ සම්බන්ධතා ගොඩනැගිම සඳහා ICCR හි ශ්‍රී ලාංකික ආදි ශිෂ්‍යයින්ගේ පළමු රැස්වීම සංවිධානය කළ බව ආචාර්ය සහස්‍රබුද්ධ මහතා සඳහන් කළේය. ඉන්දියාවේ අධ්‍යාපනය ලබා ඇති මෙම සිසුන් තම මව් රටේ දීප්තිමත් වෘත්තීය ජීවිතයක් ගත කරන අතරම ඉන්දියාවේ අධ්‍යාපනික සහ දැනුම් සම්ප්‍රදායන්ගෙන් ජිවිතාලෝකය ලද හැකි බව ද ඔහු පැවසීය.

ICCR විසින් සිසුන්ට විශාල ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබා දෙන බවත්, විශ්වවිද්‍යාල 1100කට වැඩි ප්‍රමාණයක් යටතේ අධ්‍යාපන ආයතන 43000කට අධික ප්‍රමාණයක උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි මට්ටම්වලින් අධ්‍යාපනය හැදෑරීමට හැකිවන පරිදි ශිෂ්‍යත්ව විශාල ප්‍රමාණයක් ලබාදෙයි.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ අතිරේක ලේකම්වරුන් වන මහින්ද ගුණරත්න සහ දීපා ලියනගේ යන මහත්ම මහත්මිහු ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

අග්‍රමාත්‍ය මාධ්‍ය අංශය.