පාස්කු දින උත්සවය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ සුබපැතුම් පණිවුඩය
කිතුනු බැතිමතුන් මහත් භක්තියෙන් සමරනු ලබන, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මරණය පරාජය කර උත්ථානය වීම සිහිපත් කරන මෙම උතුම් පාස්කු උත්සවයේදී, ඔබ සැමට සාමය, සතුට හා දේව ආශිර්වාදය පිරි සුභ පාස්කු මංගල්‍යයක් වේවායි ප්‍රාර්ථනා කරමි.
මරණයෙන් පසු නැවත උත්ථානය වූ ක්‍රිස්තුස් වහන්සේ ලෝකයාට ලබා දුන් පණිවුඩය වන්නේ, අඳුර පරදා ආලෝකයත්, බිය පරදා විශ්වාසයත්, වේදනාව පරදා සදාකාලික ප්‍රීතියත් ජයගත හැකි බවයි.
අපගේ ජීවිත තුළ විවිධ අභියෝග, දුක් වේදනා හා බාධක පැමිණීම ස්වභාවිකය. එහෙත්, කිසිදු අඳුරු රාත්‍රියක් ස්ථිර නොවන බවත්, සෑම අභියෝගයකටම පසු බලාපොරොත්තුවේ අරුණෝදය උදාවන බවත් පාස්කු පණිවුඩය අපට සිහිපත් කර දෙයි. එය ජීවිතය අලුතින් ආරම්භ කිරීමටත්, අත් නොහරින අධිෂ්ඨානයෙන් යුතුව ඉදිරියට යාමටත් අපව දිරිමත් කරයි.
අප මහත හරසරින් පාස්කු දින සැමරුම් සිදු කළද මැද පෙරදිග කලාපයේ පවතින අවාසනාවන්ත යුදමය තත්ත්වය හේතුවෙන් විශාල පිරිසක් පීඩා විඳින බවද අමතක නොකළ යුතුය. වෛරය සහ ගැටුම් වෙනුවට සාකච්ඡාව සහ අවබෝධය රජයන, යුධ බිය පහව ගිය සාමකාමී ලෝකයක් උදාවේවා යි ශුද්ධ වූ පාස්කු දිනයේ ප්‍රාර්ථනා කරමි.
ක්‍රිස්තුස් වහන්සේ වදාළ ප්‍රේමයේ සහ සාමයේ පණිවුඩය පෙරදැරි කරගෙන, අපගේ හදවත් ප්‍රේමයෙන්, ඉවසීමෙන් හා සමාව දීමේ උදාර ගුණයෙන් පෝෂණය කර ගනිමු. සියලු භේදයන් දුරු කර, සහෝදරත්වයෙන් හා සාමයෙන් යුත් එක් මානව පවුලක් ලෙස ශ්‍රී ලංකාව ගොඩනැඟීමට අත්වැල් බැඳ ගනිමු.
සුභ පාස්කු මංගල්‍යයක් වේවා!
ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 අප්‍රේල් 5 දින





