අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

2026 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩය.

2026 නව වසරක් අභිමුව සිටින මේ මොහොතේ ගෙවීගිය 2025 වසර පිළිබඳව පසුවිපරමක් කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජනතාවාදී රජයක් ලෙස තීරණාත්මක ඉදිරිගාමී පියවර රැසක් තැබීමට හැකිවූ වසරක් ලෙස 2025 වසර පිළිබඳ එක්පසෙකින් අපට සතුටට පත්විය හැකිය.

නව දේශපාලන සංස්කෘතියක් මත රාජ්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමටත්, දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් උදෙසා වන අඩිතාලම සැකසීමටත් අපට හැකි වූ බව මගේ විශ්වාසයයි.

ආර්ථික ස්ථාවරත්වය, ජාත්‍යන්තර වශයෙන් අපේ රට පිළිබඳව ඇතිවෙමින් පවතින සුබවාදී ධනාත්මක ආකල්ප මෙන්ම විනිවිදභාවයෙන් යුතු පාලන ක්‍රමවේදයක් සහ නීතියේ ස්වාධිපත්‍ය තහවුරු කිරීම වැනි ප්‍රධාන අංශ ගණනාවක් ඔස්සේ 2025 වසර පිළිබඳ අපට තෘප්තිමත් විය හැකිය.

කෙසේ වෙතත්, 2025 වසරේ අවසාන භාගයේ අප මුහුණ දුන් අවාසනාවන්ත ස්වභාවික ව්‍යසනය අපේ රටට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් විය. එය අප සැමගේ සිත් කම්පනයට පත් කළ ද, එවැනි මොහොතක ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ පෑ සහෝදරත්වය, සහකම්පනය සහ එකිනෙකාට උදවු උපකාර කරමින් නැගී සිටි ආකාරය පිළිබඳව ලෝකයේම කතාබහට ලක්වී තිබේ.

උදාවූ 2026 නව වසර වෙත අප පා තබන්නේ එම අභියෝග ජය ගනිමින්, ව්‍යසනයෙන් බිඳුණු සිත් සුවපත් කරමින් සහ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සහ තිරසර වෙනසක් සනිටුහන් කරන අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම ඇතුළු, රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයක්ම ඩිජිටල්කරණය කිරීම, නව අදහස් සහිත ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ගෝලීය මට්ටමින් නැගී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම, විෂ මත්ද්‍රව්‍යයෙන් තොර, පරිසර හිතකාමී සහ සහකම්පනයෙන් යුතු සමාජයක් ගොඩනැඟීම වැනි සුවිශේෂී අරමුණු රැසක් සමගින් ජාති, ආගම් හා පක්ෂ භේදයකින් තොරව, ශක්තිමත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතුව මේ රට ගොඩනැඟීමේ වගකීම රජය ඇතුළු සමස්ත ජනතාව වෙත පැවරෙන බව මේ මොහොතේ සිහිපත් කරනු කැමැත්තෙමි.

ගෙවුණු වසරේ අප මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින්, නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තැබීමට මම ඔබට ඇරැයුම් කරමි.

ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ජයග්‍රාහී සුබ නව වසරක් වේවා..!

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 ජනවාරි 01

නත්තල් දින සුබ පැතුම් පණිවුඩය.

දෙසැම්බර් මාසය උදා වත්ම කිතුනු බැතිමත්හු අසිරිමත් නත්තල සැමරීමට සැරසෙති. සාමයේ පණිවිඩය රැගෙන ජේසු බිළිඳා උපත ලැබූ පුවත බෙත්ලෙහෙම් පුරයෙන් ලොවට ඇසුණු ඒ නත්තල, ප්‍රීතියෙන් සැමරීම කිතුනුවන්ගේ අභිලාෂයයි.

නමුත් මෙවර සීතල දෙසැම්බරය උදාවූයේ වෙනදා තරම් ප්‍රීතියකින් හෝ උද්‍යෝගයකින් නොවේ. මුළු මහත් රටම කම්පා කරමින් ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් විපතට පත්වූ දහස් ගණනක් වූ අපේම සහෝදර ජනතාවගේ දුක් වේදනා හා සෝ සුසුම් මධ්‍යයේය.

එහෙත් නත්තලේ සැබෑ අරුත පෙරදැරිව, ජේසුස් වහන්සේගේ මඟපෙන්වීම් අනුව, අපේ රටේ ජනතාව සියලු භේද දුරලා එකාවන්ව සමගිය හා සාමූහිකත්වය පෙරදැරිව විපතට පත් තම සහෝදර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූයේ ආදරය, සහකම්පනය මෙන්ම ජේසුස් වහන්සේ දේශනා කළ ’අනෙකාට ප්‍රේම කිරීමේ’ උතුම් ධර්මතාව ලොවටම පෙන්වා දෙමිනි.

රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු ජන කොටස් ඒකායන පරමාර්ථයකින් සහ සාමූහික වගකීමකින් දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු විය යුතු අවස්ථාවකට අප දැන් එළැඹ ඇත්තෙමු.

සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවන් කිසිදු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා, ඔවුන් අපේක්ෂා කරන "අලුත් රටක්" ගොඩනැගීමේ ඒකායන අරමුණ වෙනුවෙන් අපි නිරන්තරයෙන් වෙහෙසෙන්නෙමු.

වඩා යහපත් හෙට දවසක් උදෙසා වන අප සැමගේ සිහිනය වෙනුවෙන් පුරවැසියන් ලෙස එකමුතුව, ආදරයෙන්, සහකම්පනයෙන් මෙන්ම වගකීම් සහගතව කටයුතු කිරීමට මේ නත්තල් දිනයේ අපි සැම අධිෂ්ඨාන කර ගනිමු.

ලංකාවාසී සහ ලෝකවාසී සමස්ත කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි!

ආචාර්ය හරිනි අමරසූරිය,
අග්‍රාමාත්‍ය,
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2025 දෙසැම්බර් 25

ආපදාවට පත්වූ පාසල් නිරීක්ෂණයට අගමැතිනිය බදුල්ලට: සිසුන්ගේ ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානයක්.

දිවයිනට බලපෑ සුළිකුණාටු තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ පාසල් පද්ධතියට සිදුව ඇති හානි නිරීක්ෂණය කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය දෙසැම්බර් 24 දින විශේෂ නිරීක්ෂණයක නිරත වූවාය.

​මෙම ගමනේදී වැලිමඩ මුස්ලිම් මහා විද්‍යාලය (ජාතික පාසල) වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, එහි පවතින අවදානම් සහගත තත්ත්වය පිළිබඳව සොයා බැලුවාය.

​අධික වර්ෂාවත් සමඟ මා ඔය පිටාර ගැලීම හේතුවෙන් පාසල් භූමිය දැඩි ලෙස ඛාදනයට ලක්ව ඇති ආකාරය අගමැතිනියගේ විශේෂ අවධානයට යොමු විය. මෙම තත්ත්වය හේතුවෙන්, පාසල් ගොඩනැගිලි පද්ධතියට සෘජු තර්ජනයක් එල්ල වී තිබීම, පාසල් දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව ඇති දැඩි අවදානම, භෞතික සම්පත් විනාශ වීමේ අවදානම යන කරුණු පිළිබඳව එහිදී නිලධාරීන් සහ විදුහල්පතිවරයා සමඟ සාකච්ඡා කළාය.

​පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමටත්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව තහවුරු කිරීමටත් අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අග්‍රාමාත්‍යවරිය මෙහිදී අදාළ බලධාරීන්ට උපදෙස් ලබා දුන්නාය.

ඛාදනය වැළැක්වීම සඳහා අවශ්‍ය තාක්ෂණික විසඳුම් සහ ප්‍රතිසංස්කරණ කටයුතු ප්‍රමුඛතාවය මත සිදු කිරීමට රජයේ අවධානය යොමුව ඇති බවද අවධාරණය කළාය.

​මෙම අවස්ථාවට ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර,වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

​අවදානම් ප්‍රදේශවල පිහිටි පාසල් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කිරීමට අවශ්‍ය කටයුතු සිදු කරනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​අධ්‍යාපන අමාත්‍යාංශය සහ UNICEF ආයතනය එක්ව ​’දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත් පාසල් පිළිබඳ සිදු කළ විමර්ශනයකින් අනතුරුව, කඩිනමින් යථා තත්ත්වයට පත් කළ හැකි පාසල් ප්‍රතිසංස්කරණය කිරීමටත්, අවදානම් සහිත පාසල් වෙනත් ආරක්ෂිත ස්ථානවල ස්ථාපිත කිරීමටත් අවශ්‍ය කටයුතු සිදු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​’දිට්වා’ සුළි කුණාටුවෙන් හානි සිදු වූ බදුල්ල දිස්ත්‍රික්කයේ මීගහකිවුල ජාතික පාසල දෙසැම්බර් 24 වන දින නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළාය.

​පැවති තද සුළඟ හේතුවෙන් ගසක් කඩා වැටී මුළුමනින්ම හානි වූ, කැටවත්ත යෝධ උල්පත ප්‍රජා ශාලාවේ පවත්වාගෙන ගිය පෙරපාසල නිරීක්ෂණය කළ අග්‍රාමාත්‍යතුමිය, ආරක්ෂිත ස්ථානයක යළි එම පෙරපාසල ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නාය.

පෙරපාසල් ගුරුවරුන් සඳහා ලබා දෙන දීමනාව නිසි පරිදි ලබා දීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. ආපදාවෙන් පසු පවත්වාගෙන යාමට නොහැකි වන සේ හානි වූ පෙරපාසල් පිළිබඳ සොයා බලා, එම ගුරුවරුන් හට දීමනාව අඛණ්ඩව ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසිය යුතු බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් පැවසුවාය.

​අනතුරුව නායයෑම් හේතුවෙන් දැඩි හානි සිදු වූ පස්සර යූරි දෙමළ ප්‍රාථමික විද්‍යාලය ද අග්‍රාමාත්‍යවරියගේ නිරීක්ෂණයට ලක් විය.

​මෙම අවස්ථාවට පූජ්‍ය දියතලාවේ ධීරානන්ද ස්වාමීන්වහන්සේ, ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න, පළාත් ප්‍රධාන ලේකම් අනුෂා ගෝකුළ, මීගහකිවුල ජාතික පාසලේ විදුහල්පති එච්.ඩබ්.කේ.ඒ. පද්මකුමාර, පස්සර යූරි දෙමළ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනි කේ. ඉන්දුමතී යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගුරුවරුන් සහ දෙමාපියන් පිරිසක් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජෙයශංකර් මහතා අගමැතිනිය හමුවෙයි

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ ව්‍යවසන තත්ත්වයෙන් පසු රට නැවත ගොඩනැගීමේ ක්‍රියාවලිය පිළිබඳ ශ්‍රී ලංකාවේ නායකත්වය සමඟ සාකච්ඡා පැවැත්වීම අරමුණු කර ගනිමින් මෙරට සංචාරයක නිරත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා දෙසැම්බර් 23 වන දින අරලියගහ මන්දිරයේදී, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

මෙහිදී දුම්රිය මාර්ග, පාලම් නැවත ගොඩනැගීම සහ රටේ කෘෂිකාර්මික අංශය ශක්තිමත් කිරීම සඳහා සහාය වීම ඇතුළුව ශ්‍රී ලංකාවට සහයෝගය ලබා දීමට ඇති සූදානම ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යවරයා තහවුරු කළේය.

ශක්තිමත් පරිපාලන ක්‍රියාමාර්ගයන් සහ ආයතනික රාමු හරහා ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සඳහා ඵලදායී පද්ධති ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළේය. ඉදිරියට ගෙන යන සහන කටයුතු මෙන්ම ආපදා තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්වීම සහ රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා දෙරටේ ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳ ව ද මෙහිදී අවධානය යොමු විය.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ දී සහන මෙහෙයුම්වලට අමතරව නැවත පදිංචි කිරීම සහ යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීම වැනි දිගුකාලීන පියවර ඇතුළත් බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ඉන්දීය රජය විසින් ලබා දෙන අඛණ්ඩ සහයෝගය ඇගයීමට ලක් කළා ය.

රට යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාවලියේ අදියරක් ලෙස සමීප අධීක්ෂණයක් ඇතිව පාසල් නැවත විවෘත කිරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළා ය. මෙම හදිසි ආපදා තත්ත්වය හමුවේ ජනතාව ලබා දුන් ස්වේච්ඡා සහභාගිත්වය සහ සාමූහික ක්‍රියාමාර්ග පිළිබඳ සඳහන් කළ අග්‍රාමාත්‍යවරිය ස්ථාවරත්වය සහතික කිරීම, අවදානම අඩු කිරීම සහ ආරක්ෂක යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය පිළිබඳ ව ද අවධාරණය කළා ය.

මෙම අවස්ථාවට ඉන්දීය මහ කොමසාරිස් Santosh Jha මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (IOR) Puneet Agrawal මහතා, ඒකාබද්ධ ලේකම් (EAMO) Sandeep Kumar Bayyapu මහතා, නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය Satyanjal Pandey මහතා සහ ශ්‍රී ලංකා දූත පිරිස නියෝජනය කරමින් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් (දකුණු ආසියාව) සමන්ත පතිරණ මහතා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ දකුණු ආසියානු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ඩයනා පෙරේරා මහත්මිය යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආපදාවෙන් හානියට පත් හංවැල්ල රාජසිංහ මධ්‍ය මහා විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය දින දෙකක් ඇතුලත යථා තත්ත්වයට පත් කරයි

පාසල් අධ්‍යාපනය ඩිජිටල්කරණයට සහාය ලබාදීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ සංකල්පයකට අනුව ආරම්භ කළ අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනය කරවීමේ කාර්ය සාධක බලකාය සහ OREL IT ආයතනය එක්ව හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය දින දෙකක් ඇතුලත යථා තත්ත්වයට පත් කර අද (දෙසැම්බර් 22) සිසු අයිතියට පත් කළේය.

පසුගිය දා ඇති වූ දිට්වා සුළිකුණාටුව හේතුවෙන් හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානයට දැඩි හානි සිදු විය.

හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් දිවයිනේ පාසල් විශාල ප්‍රමාණයක යටිතල පහසුකම් විනාශ වූ අතර විනාශ වූ ඩිජිටල් යටිතල පහසුකම් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ ආරාධනාවකින් OREL IT ආයතනය සිය සහය මේ සඳහා ලබා දෙයි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ හානියට පත් පාසල් කිහිපයක තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථාන පසුගිය සති දෙක ඇතුළත අග්‍රාමාත්‍ය කාර්යාලයේ මගපෙන්වීම මත OREL IT ආයතනය විසින් යථා තත්ත්වයට පත් කළ අතර ඉන් අනතුරුව හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ මධ්‍යස්ථානය දින දෙකක් ඇතුළතදී යථා තත්ත්වයට පත්කර සිසු අයිතියට පැවරීමට OREL IT ආයතනය සහ අධ්‍යපනය ඩිජිටල් පරිවර්තනය කරවීමේ කාර්ය සාධක බලකාය මෙසේ කටයුතු කර තිබේ.

අධ්‍යාපනය ඩිජිටල් පරිවර්තනය සඳහා වූ කාර්ය සාධක බලකාය, ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හා අධ්‍යාපන කටයුතු ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය ඩිජිටල් යටිතල පහසුකම් ලබාදෙමින් පාසල් ඩිජිටල්කරණය සඳහා අවශ්‍ය කටයුතු මේ වන විටත් ආරම්භ කර තිබේ.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ආචාර්ය අර්ජුන රත්නායක, OREL IT ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ආචාර්ය උපේන්ද්‍ර පීරිස් ඇතුළු OREL IT ආයතනයේ නිලධාරීන්, රාජ්‍ය නිලධාරින් ගුරුවරුන් හා සිසු දරුදැරියන් සහභාගී විය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය