අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකීය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ජීවන තත්ත්වයන් නංවාලීම පිණිසත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන, විදේශ දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු විදේශීය සංවර්ධන සහයෝගීතා ආයතන හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍රණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ (OPA) නියෝජිතයින්, අගමැතිනිය හමුවෙයි

ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ නියෝජිතයින් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර සාකච්ඡාවක් අද (08) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි.

විවිධ ක්ෂේත්‍රයන්හි මහජනතාව මුහුණ දෙන ගැටලුවලට සෘජුවම වෘත්තීය උපදෙස් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට තමන් බලාපොරොත්තු වන බවත්, කෘෂිකාර්මික, ඉදිකිරීම්, වෛද්‍ය සහ නීති වැනි විවිධ ක්ෂේත්‍රයන්හි ගැටලු පවතින මහජනතාව වෙත, අදාළ වෘත්තීය සංගම් හරහා පූර්ව උපදෙස් හා මගපෙන්වීම් (Pre-advice) ලබා දීමට ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට OPA ආයතනය සැලසුම් කරන බවත් මෙහිදී අදහස් දැක්වූ OPA නියෝජිතයින් ප්‍රකාශ කළේය.

රටේ වෘත්තීය මට්ටම ඉහළ නැංවීමට සහ ජාතික සංවර්ධනය සඳහා වෘත්තීයවේදීන් දක්වන දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, රට තුළ වෘත්තීයභාවය සහ ජාතික මෙහෙවර ඉහළ නැංවීමට ගන්නා උත්සාහයට සහයෝගය දීමට රජය සූදානම් බවද පැවසුවා ය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා විද්වත් සංගම් සම්මේලනයේ සභාපති, උප සභාපති ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ළමා අයිතිවාසිකම් සුරැකීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේන්තුවේදී කියයි

2027 පළමු වසරට දරුවන් ඇතුළත් කිරීම නව චක්‍රලේඛය යටතේ සිදු කරනවා

වයස 16ට අඩු දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය අවම කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා

ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 16ට අඩු දරුවන් සඳහා සමාජ මාධ්‍ය භාවිතය තහනම් කිරීම හෝ සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බවත්, ළමා අපයෝජන වැළැක්වීමේ නව ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමට සහ 2027 පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම නව චක්‍රලේඛය අනුව සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හර්ෂණ රාජකරුණා සහ ෂන්මුගම් කුගදාසන්, අජන්ත ගම්මැද්දගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී නිලුෂා ලක්මාලි ගමගේ විසින් පාර්ලිමේන්තු සභාවේදී යොමු කළ වාචික ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අද (08) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යතුමිය මේ බව කියා සිටියාය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසුවාය.

වයස අවුරුදු 16ට අඩු දරුවන් සමාජ මාධ්‍ය භාවිතය නිසා මුහුණ දෙන මානසික, සෞඛ්‍යමය සහ සමාජයීය බලපෑම් සලකා බලා ඔවුන් ඩිජිටල් අවකාශය තුළ ආරක්ෂා කිරීමේ ප්‍රතිපත්තියක් මේ වන විට සකස් වෙමින් තිබෙනවා. මේ සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ, ශ්‍රී ලංකා පොලිසිය, SLCERT, ICTA මෙන්ම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය ඇතුළු ආයතන ගණනාවක් එක්ව මූලික සාකච්ඡා පවත්වනවා. මෙහි ප්‍රගතියක් ලෙස දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ජාතික මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කිරීම සහ ’Brain Health’ (මොළයේ සෞඛ්‍යය) සංකල්පය පදනම් කරගනිමින් ජාතික මට්ටමේ කතිකාවතක් ඇරඹීමට තීරණය කර තිබෙනවා.

මීට අමතරව ළමයින් අන්තර්ජාලය හරහා සිදුවන හිංසනයන්ගෙන් ආරක්ෂා කරගැනීම සඳහා පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව ලෝක දැක්ම (World Vision) ආයතනය සමඟ එක්ව ව්‍යාපෘතියක් සකසා ඇති අතර, ඒ සඳහා සාර්ක් සංවර්ධන අරමුදලේ මූල්‍ය අනුග්‍රහය ලබා ගැනීමට කටයුතු කරමින් යනවා. එසේම යුනිසෙෆ් (UNICEF) සංවිධානයේ සහයෝගය ඇතිව ගුරුවරුන් සඳහා ඩිජිටල් නිපුණතා රාමුවක් සකසා ඇති අතර, එහි අන්තර්ගත Online Safety මොඩියුලය යටතේ පුහුණුකරුවන් 750ක් පමණ දැනටමත් පුහුණු කර අවසන්. මෙමඟින් දුරස්ථ ඉගෙනුම් මධ්‍යස්ථාන 106ක් හරහා ගුරුවරුන් පුහුණු කිරීමේ කටයුතු සිදුවන අතර, පාසල් සිසුන් සඳහා වන ’Online Safety, Cyber Security සහ Digital Well-being’ මාර්ගෝපදේශ සංග්‍රහය 2026 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් කර තිබෙනවා. දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වීමෙන් මුදවා ගැනීමට පවුල් සවිබලගැන්වීමේ නියමු ව්‍යාපෘතියක් ද ක්‍රියාත්මක වන අතර, ඒ සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යදුමින්ද ගුරුගේ මහතා ස්වේච්ඡාවෙන් තාක්ෂණික මඟපෙන්වීම් ලබා දෙනවා.

වත්මන් රජය බලයට පත්ව වසර දෙකකට ආසන්න කාලය තුළ ළමයින්ගේ සුරක්ෂිතතාව සහ අයිතිවාසිකම් වෙනුවෙන් අමාත්‍ය මණ්ඩල තීරණ ප්‍රකාරව ආයතන ගණනාවක දායකත්වයෙන් බහුඅංශික ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපනය කරන්න කටයුතු කළා. මෙම යාන්ත්‍රණය යටතේ දිවියට සවියක් වැඩසටහන මඟින් අනාථ වූ ළමයින් වෙනුවෙන් නිවාස ඉදි කිරීමට හෝ මිලදී ගැනීමට රුපියල් මිලියන 2 බැගින් ලබා දීම සහ අර්ථ වැඩසටහන යටතේ දෙමාපියන් අහිමි අනාථ දරුවන් වෙනුවෙන් මාසිකව රුපියල් 5,000ක දීමනාවක් ලබා දීම සිදු කරනවා. මීට අමතරව උපප්න්න සහතික නොමැති දරුවන්ට ඒවා ලබා දීම, පාසල් කාලයෙන් පසු අනාරක්ෂිත වන දරුවන් වෙනුවෙන් රත්මලාන ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් ​“සෙනෙහස” නමින් නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම, කායික දණ්ඩනය වැළැක්වීමේ නීති පාර්ලිමේන්තුගත කිරීම සහ 2025-2029 ජාතික ළමා ආරක්ෂණ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. එමෙන්ම දරුවන්ට උසාවි නොගොස් සාක්ෂි ලබා දීමට හැකි වන පරිදි වීඩියෝ සාක්ෂි පටිගත කිරීමේ මධ්‍යස්ථාන දෙකක් කරාපිටිය සහ අනුරාධපුර රෝහල්වල ස්ථාපනය කිරීමේ කටයුතු ද මේ වන විට අවසන් අදියරේ පවතින්නේ.

රජයේ පාසල්වල පළමුවන ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී පදිංචිය තහවුරු කරගැනීමේ ගැටලුවලට පිළියම් ලෙස 2027 අධ්‍යයන වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි නව ව්‍යුහගත වටිනාකම් ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව පදිංචිය තහවුරු කිරීම වෙනුවෙන්, වසර 08 කට වඩා වැඩි කාලයක් රජයේ ඉඩමක පදිංචිව සිටින පිරිස් මෙන්ම, වසර 01 සිට 06 දක්වා කාල සීමාවන් තුළ ස්ථිර පදිංචිය සනාථ කරන විදුලි, ජල හෝ වරිපනම් බිල්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ට උපරිම ලකුණු 04 ක් දක්වා හිමිවන පරිදි ක්‍රමවේදයක් සකසා තිබෙනවා. ඇතැම් පාසල්වල පොරොත්තු ලේඛනවලින් (Waitlist) බාහිරව සිසුන් ඇතුළත් කරගන්නා බවට ලැබුණු පැමිණිලි සැලකිල්ලට ගනිමින්, පවතින පුරප්පාඩු සංඛ්‍යාවෙන් 50% ක සීමාවක තාවකාලික පොරොත්තු ලේඛන සකස් කිරීමට නව චක්‍රලේඛය මඟින් නියෝග කර ඇත. විශේෂ අවස්ථාවලදී ජාතික හෝ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ පූර්ව අනුමැතිය මත පමණක් එය 100% දක්වා සංශෝධනය කළ හැකිය. එසේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව මේ වන විට සමාලෝචනය වෙමින් පවතින අතර, ඉදිරියේදී ඊට අදාළ ප්‍රතිපත්තිමය සංශෝධන සිදු කරනවා.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ වී වගාව නැංවීම සඳහා අත්හැර දමා ඇති වැව් පිළිබඳව අදහස් දක්වමින්.

2021 වර්ෂයේ දත්ත අනුව එම දිස්ත්‍රික්කයේ අත්හැර දමා තිබූ වැව් 210 ක් අතුරින් වැව් 15 ක් මේ වන විට ප්‍රතිසංස්කරණය කර ඇති අතර ඉතිරි වැව් 195 ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතයි. එසේම අත්හැර දමා තිබූ අමුණු 25 න් අමුණු 08 ක් ප්‍රතිසංස්කරණය කර ඇති අතර ඉතිරි අමුණු 17 ප්‍රතිසංස්කරණය කිරීමට ඇත. මෙම වැව් සහ අමුණු ප්‍රතිසංස්කරණය ප්‍රමාද වීමට ප්‍රධාන හේතුව ලෙස වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු යටතේ පැවති ඉඩම් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත නිදහස් නොකිරීම සහ අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීමයි. ඉදිරියේදී එම ගැටලු නිරාකරණය කරමින් කෘෂිකාර්මික කටයුතු සඳහා එම වැව් කඩිනමින් සංවර්ධනය කිරීමට පියවර ගන්නවා.

වන සංරක්ෂණ හා වනජීවී දෙපාර්තමේන්තු මායිම් තුළ පැවතීම හේතුවෙන් ගොවීන්ට භාවිත කිරීමට නොහැකි වී තිබූ වැව් 195ක් සහ අමුණු 17ක් නිදහස් කර ගොවීන් වෙත ලබා දීමට අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාල මැදිහත් වී කටයුතු කරමින් යනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු අක්කර 33,563ක ඉඩම් ප්‍රමාණය සහ වනජීවී දෙපාර්තමේන්තුව සතු අක්කර 31,627ක ඉඩම් ප්‍රමාණය තුළ පවතින නාවික වැඩබිම, ලොකුසෝබර්, කුඩාසෝබර්, සේරුවිල අල්ලෙයි, ත්‍රිකෝණ මඩු සහ පරවි දූපත් වැනි පැරණි රක්ෂිත ප්‍රදේශ පරීක්ෂා කර, 1985 වර්ෂයට පෙර එහි පදිංචිව සිටි ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට හෝ විකල්ප ඉඩම් ලබා දීමේ තිරසාර ඉඩම් කළමනාකරණ වැඩසටහනක් ක්‍රියාත්මකයි. දැනට යාපනය, වවුනියාව, මන්නාරම, මඩකලපුව, අනුරාධපුරය ඇතුළු දිස්ත්‍රික්ක රැසක ක්‍රියාත්මක වන මෙම ඉඩම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය හරහා, අදාළ ඉඩම් කෘෂිකර්ම සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තු හරහා වී වගාවට සුදුසු පරිදි සකස් කර ජනතාවට බාර දීමෙන් රටේ සහල් නිෂ්පාදනය ඉහළ නැංවීමට රජය අපේක්ෂා කරන බව ද අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් කියා සිටියාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

දරුවන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීමට අවශ්‍ය කටයුතු රජයක් ලෙස ඉටු කරනවා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ලෝකය දෙස නිර්මාණශීලීව සහ විවේචනාත්මකව බලන්නට පුළුවන් දක්ෂ දරුවන් පිරිසක් අප සතුව සිටින බවත්, ඔවුන් නව තාක්ෂණයෙන් සහ දැනුමින් සන්නද්ධ කිරීම වෙනුවෙන් කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

බලංගොඩ විද්‍යාලෝක විද්‍යාලයේ ජුලි 04 දින පැවති අරුමැසිය ප්‍රදර්ශනය විවෘත කිරීම සහ තෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

විද්‍යාලොක විද්‍යාලයේ දරුවන්ගේ නවෝත්පාදන සහ කුසලතා ඇතුළත් ප්‍රදර්ශනය විවෘත කළ අග්‍රාමාත්‍යතුමිය ඔවුන්ගේ දක්ශතා ඇගයීමට ලක් කළාය. අනතුරුව විද්‍යාලයේ නව තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීම වෙනුවෙන් මුල්ගල් තැබීම ද සිදු කෙරිණ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

අපේ රටේ පළමු අගමැතිනිය අධ්‍යාපනය ලැබූ බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ පැවැත්වෙන මේ සුවිශේෂී උත්සවයට සහභාගී වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා.

මම මේ විද්‍යාලයේ දූ දරුවන්ගේ අපූර්ව නිර්මාණ සහ නව නිපැයුම් ඇතුළත් ප්‍රදර්ශනය නැරඹුවා. එහිදී මා දැක්කා හුදෙක් පෙළපොතට පමණක් සීමා නොවී, ලෝකය දෙස නිර්මාණශීලීව සහ විවේචනාත්මකව බලන්නට පුළුවන් දක්ෂ දරුවන් පිරිසක් අප සතුව සිටිනවා කියලා.

කටපාඩම් කරන විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් මිදී, ප්‍රායෝගික සහ කුසලතා පූර්ණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් රටට හඳුන්වා දෙමින් සිටිනවා. මේ යටතේ, එළඹෙන 2027 වසර තුළ ක්‍රියාත්මක වන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සඳහා වන සියලුම මූලික සූදානම් වීම් මේ වන විටත් ඉතාමත් සැලසුම් සහගතව අප අවසන් කරමින් පවතිනවා.

පාසලෙන් ලෝකයට යන සෑම දරුවෙකුටම තමන් සතු සහජ දක්ෂතාවලට ගැළපෙන, වෘත්තීය වෙළෙඳපොළේ ඉහළ ඉල්ලුමක් ඇති වෘත්තීය සහ තාක්ෂණික පුහුණුවක් ලබාදීම අපේ අනිවාර්ය ඉලක්කයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වගේම, වෘත්තීය අධ්‍යාපනයත් එක හා සමාන ගෞරවයක් සහ වටිනාකමක් සහිත ක්ෂේත්‍රයක් බවට අප පරිවර්තනය කරනවා.

අවසාන වශයෙන් මේ ප්‍රදර්ශනය සංවිධානය කළ බලංගොඩ විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ගුරු මණ්ඩලයටත්, මේ ප්‍රදර්ශනය සාර්ථක කර ගැනීමට වෙහෙස මහන්සි වූ ආදරණීය දූ දරුවන්ට සහ මව්පියන්ටත් මාගේ හෘදයාංගම ස්තූතිය පුද කර සිටින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත පුෂ්පකුමාර, පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රාජපක්ෂ, බලංගොඩ නගාරාධිපතිතුමන් සහ නාගරික මන්ත්‍රීවරුන්, කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක, විද්‍යාලෝක මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන්, දුදරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

කොළඹ ක්‍රමය සංවිධානයේ (Colombo Plan) 75 වැනි සංවත්සරය සැමරේ. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

ශ්‍රී ලංකාවේ සංවර්ධන ගමනට කොළඹ ක්‍රමය සංවිධානයෙන් ලැබුණු දායකත්වය අගය කළ යුතුයි

කොළඹ ක්‍රමය සංවිධානය (Colombo Plan) 75 වැනි සංවත්සර සැමරුම් උත්සවය ජූලි 03 දින කොළඹ ගාලු මුවදොර හෝටලයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

මෙහිදී විශේෂ දේශනයක් පැවැත්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය,

ආසියාවේ බොහෝ රටවල් නිදහස කරා යන ගමනේදී නැවත ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනයේ දැවැන්ත අභියෝගවලට මුහුණ දී සිටි වකවානුවක, එනම් මීට වසර 75 කට පෙරයි මෙම ආයතනය බිහි වූණේ.

මෙම ආයතනය අප රටේ ​“කොළඹ” නමින් හැඳින්වීම සහ ඒ වෙනුවෙන් සත්කාරකත්වය සැපයීමට ලැබීම රටක් වශයෙන් මහත් ගෞරවයක්.

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය, තිරසාර ප්‍රවාහන පද්ධති සහ ශක්තිමත් සැපයුම් ජාලයන් ගොඩනැඟීමට උත්සාහ කරන වර්තමාන වටපිටාව තුළ, කොළඹ ක්‍රමය යටතේ මෙරට බලශක්ති, කෘෂිකර්මාන්ත, වාරිමාර්ග සහ ප්‍රවාහන ක්ෂේත්‍රවල සිදුකළ මුල්කාලීන ආයෝජන තවමත් ශ්‍රී ලංකාවේ සංවර්ධන පදනමේ වැදගත් කොටසක් ලෙස පවතිනවා.

විශේෂයෙන්ම, තාරුණ්‍යය, මහජන සෞඛ්‍යය සහ සමාජ ස්ථාවරත්වය කෙරෙහි දැඩි බලපෑමක් එල්ල කරන මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා කොළඹ ක්‍රමයේ ​“මත්ද්‍රව්‍ය උපදේශන වැඩසටහන” ඉටුකරන මෙහෙවර අගය කළයුතුයි. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා රජය මෙම මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමට ප්‍රමුඛතාවයක් ලබා දී තිබෙනවා. ඒ සඳහා කොළඹ ක්‍රමය ලබාදෙන සහයෝගය අගය කරන්න අවශ්‍යයි.

වර්තමාන ලෝකය තාක්ෂණික වෙනස්කම්, දේශගුණික අභියෝග සහ භූ-දේශපාලනික බලපෑම් හේතුවෙන් 1951 වසරට වඩා බෙහෙවින් වෙනස් සහ සංකීර්ණ වී තිබෙනවා. එහිදී කොළඹ ක්‍රමය වැනි කලාපීය සංවිධානවල කාර්යභාරය වර්තමානයට ගැලපෙන පරිදි වඩාත් පුළුල් හා නම්‍යශීලී විය යුතුයි. එසේම, අධ්‍යාපන සහ මානව ප්‍රාග්ධන සංවර්ධන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම සහ නව පරපුර අතර ජාත්‍යන්තර සහයෝගීතාවයේ අගය පිළිබඳව සන්නිවේදනය කිරීමේ අවශ්‍යතාවයද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.

පසුගිය වසර හතරක කාලය තුළ කොළඹ ක්‍රමය සංවිධානයේ මහලේකම්වරයා ලෙස සුවිශේෂී සේවාවක් ඉටුකර සමුගත් ආචාර්ය බෙන්ජමින් පී. රෙයස් මහතා වෙත විශේෂ උපහාර පිරිනැමීමක් සිදු කළ අතර කොළඹ ක්‍රමයේ නව මහලේකම්වරිය ලෙස වැඩභාර ගත් එච්.ඊ. චුලමී චාර්ට්සුවන් (H.E. Chulamee Chartsuwan) මහත්මිය ද මෙහිදී උණුසුම් ලෙස පිළිගනු ලැබීය.

අනතුරුව 75 වැනි සංවත්සරය සනිටුහන් කරමින් විශේෂ සමරු මුද්දරයක් සහ ​“Colombo Plan 75 Years – 75 Stories” නමැති විශේෂ ග්‍රන්ථය නිල වශයෙන් එළි දැක්වීමද මෙහිදී සිදු කෙරිණ.

මෙම අවස්ථාවට විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ් හේමචන්ද්‍ර, ශ්‍රී ලංකාවේ වියට්නාම තානාපතිනි සහ කොළඹ ක්‍රමය සංවිධානයඒ කවුන්සිල සභාපතිනි ට්‍රින් ති ටෑම් ( Trinh Thi Tam) මහත්මිය ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

සිය ධූර කාලය අවසන් කරන ස්විට්සර්ලන්ත තානාපතිවරිය අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි.

සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ස්විට්සර්ලන්ත තානාපති, ආචාර්ය සිරි වෝල්ට් (H.E. Dr. Siri Walt) මහත්මිය 2026 ජූලි 03 වැනිදා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවූවාය.

තානාපතිනිය පිළිගත් අග්‍රාමාත්‍යතුමිය, ශ්‍රී ලංකාව සහ ස්විට්සර්ලන්තය අතර දිගුකාලීන මිත්‍රත්වය හා සහයෝගීතාව ශක්තිමත් කිරීම සඳහා ඇයගේ ධුර කාලය තුළ ලබාදුන් දායකත්වය අගය කළාය.

දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව, විශේෂයෙන් තාක්ෂණික හා වෘත්තීය අධ්‍යාපන සහ පුහුණු (TVET) ක්ෂේත්‍රය සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමු වූ අතර කර්මාන්ත ක්ෂේත්‍රය තුළ පවතින ශ්‍රම වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැලපෙන සහ තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය කරන වෘත්තීය පුහුණු වැඩසටහන් දියුණු කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.

කර්මාන්ත ක්ෂේත්‍රයේ පවතින අවශ්‍යතා මත පදනම් වූ වෘත්තීය අධ්‍යාපනය ශක්තිමත් කිරීම තුළින් ශ්‍රම බලකායේ කුසලතා ඉහළ නැංවීම, රැකියා අවස්ථා වර්ධනය කිරීම සහ ශ්‍රී ලංකාවේ දිගුකාලීන ආර්ථික සංවර්ධනයට සහාය වීම සඳහා වැදගත් දායකත්වයක් ලබාදිය හැකි බව තානාපතිනිය මෙහිදී සඳහන් කළාය.

ශ්‍රී ලංකාව හා ස්විට්සර්ලන්තය අතර සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින්, දෙපාර්ශ්වීය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීම කෙරෙහි දෙපාර්ශ්වයේම අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශපාලන කටයුතු භාර ප්‍රථම ලේකම් Justine Boillat, සංක්‍රමණ කටයුතු භාර ප්‍රථම ලේකම් Andrea Kienast, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීන් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ජාතික කාන්තා කොමිෂන් සභාවේ නියෝජිතයින් අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

​ශ්‍රී ලංකාවේ ස්වාධීන ජාතික කාන්තා කොමිෂන් සභාවේ සභාපතිනිය ඇතුළු කොමසාරිස්වරුන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ජුලි 03 දින අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

​2024 අංක 37 දරන කාන්තා සබලගැන්වීමේ පනත ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය සම්බන්ධයෙන් මෙහිදී දූත පිරිස විසින් අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කරන ලද අතර කාන්තා අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම සහ ඉදිරියට ගෙනයෑම මෙන්ම කාන්තාවන් සබලගැන්වීමේ ජාතික න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටුවන ලද ප්‍රථම ස්වාධීන ව්‍යවස්ථාපිත ආයතනය මෙම ජාතික කාන්තා කොමිෂන් සභාව බව ද නියෝජිතයෝ මෙහිදී පෙන්වා දුන්හ.

​මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කොමිෂන් සභාව මෙතෙක් ලබා ඇති ප්‍රගතිය අගය කළ අතර ශ්‍රී ලංකාව තුළ කාන්තා අයිතිවාසිකම්, ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාවය සහ කාන්තාවන් සබලගැන්වීම වෙනුවෙන් කොමිෂන් සභාව පෙනී සිටීම පිළිබඳව සිය ප්‍රසාදය පළ කළාය.

​මෙම අවස්ථාව සඳහා කොමිෂන් සභාවේ සභාපතිනී ග්‍රේස් ආසිරිවාදම්, කොමසාරිස්වරුන් වන ජයන්ති කුරුඋතුම්පාල, ජනහා සෙල්වරාස්, ආචාර්ය පද්මා ගුණරත්න, එම්.යූ. ගයානි සහ විධායක අධ්‍යක්ෂිකා කේ.ඩී.ආර්. ඔල්ගා යන මහත්මියන් එක්ව සිටියහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය