අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

අපේ රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නෙමෙයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රජය ආර්ථික කළමනාකරණය කරන්නේ සියලු ජනතාවට ප්‍රයෝජනවත් වන විදිහටයි

රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නොවන බවත්, ජනතාවට ප්‍රයෝජනවත් වන ලෙස භාවිත කිරීමට හැකි පරිදි රජය ආර්ථික කළමනාකරණය සිදු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

2024 වසරේ අපොස උසස් පෙළ විශිෂ්ඨයින් ඇගයීම වෙනුවෙන් දෙසැම්බර්21 දින කිලනොච්චිය, ඉරණමඩු යුද හමුදා කඳවුරේ නෙළුම් පියස ශාලාවේ පැවති උතුරු පළාතේ දූදරුවන් වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව පැවසීය.

උතුරු පළාතේ යාපනය, කිළිනොච්චිය, මන්නාරම සහ වව්නියා දිස්ත්‍රික් නියෝජනය කරමින් 2024 වසරේ උසස්පෙළ විශිෂ්ඨ ලෙස සමත් දරුවන් 300 දෙනෙක් වෙත මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිනි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.

අපේ රජයේ ප්‍රතිපත්තිය සීමිත පිරිසකට සැප සම්පත් ලබා දීම නෙමෙයි. අපි ආර්ථිකය කළමනාකරණය කරන්නේ ජනතාවට ප්‍රයෝජනවත් වන විදිහට භාවිත කරන්නයි.

දිට්වා සුලි කුණාටුව නිසා රටේ සෑම දිස්ත්‍රික්කයකම හානි සිදු වුණා. අත්‍යවශ්‍ය යටිතල පහසුකම්, පාසල්, රෝහල්, මාර්ග රැසකට හානි සිදු වුණා අදටත් පනස් දහසක් පමණ ජනතාවට තමන්ගේ නිවාස වලට යන්න බැහැ.

උතුරු ප්‍රදේශයේ වැඩිහිටි ජනතාවට කඳවුර ජීවිතේ ගැන අත්දැකීම් ඇති එහි දුෂ්කර බව අපි ඔබට කිවයුතු නැහැ, යුද්ධය නිසා වසර ගණනාවක් අවතැන් කඳවුරු වල හිටියා. නමුත් අපේ රජය මේ සුළිකුණාටුවෙන් පසු එහෙම කඳවුරු වල තියාගන්න අදහසක් නැහැ.

සුළිකුණාටුවෙන් හානියට, අපදාවට පත් සියලු දේ යථාතත්වයට පත්කරමින් යනවා. පසුගියදා රුපියල් බිලියන 500ක් අපි සම්මත කර ගත්තා. ඒ සඳහා ණය ගන්නවත්, වෙනත් ප්‍රතිලාභ කපන්න වත් අවශ්‍ය වු⁣ණේ නැහැ. ජනාධිපතිතුමා ඇතුළු රජයේ ආර්ථික කළමනා කරණය නිසා ඒ මුදල් වෙන්කර ගැනීම පහසු වුණා.

භාණ්ඩාගාරය ශක්තිමත් කරමින් මුදල් නිවැරදිව කළමනාකරණය කරමින් ජනතාවට ප්‍රතිලාභ ලබා දෙන්න රජය කටයුතු කරනවා.

නිවාස පිරිසිදු කර ගැනීමේ සිට නිවාස ඉදිකරන්න, යටිතල පහසුකම් සංවර්ධනයට වගේම ජීවනෝපාය සංවර්ධනය කරන්නටත් රජය වැඩ කරමින් යනවා. අපි ⁣විශේෂයෙන් අවධානය යොමු කළා අධ්‍යාපන වෙනුවෙන්. දරුවන්ගේ දෛනික ක්‍රියාකාරකම් සාමාන්‍ය තත්ත්වය ගේන්න අවශ්‍යයි ඒ වෙනුවෙන් අපි පාසල් ආරම්භ කළා. පාසල ඉගෙන ගන්න ස්ථානයක් පමණක් නෙමෙයි, ආරක්ෂිත, සතුට පිරුණු තැනක් කළ යුතුයි.

උසස් පෙළ විභාගය පැවැත්වෙන අතරතුර අපි ආපදා තත්වයට මුහුණ දුන්නේ, එහිදී දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙනුත්, විභාග ප්‍රශ්ණ පත්‍ර, පිලිතුරු පත්‍ර ආරක්ෂා කරමින් ලබා දුන් සහයෝගයට සියළු දෙනාට ස්තුතිවන්ත වෙනවා.

අපි 2025 සිට අධ්‍යාපනයට වෙන් කරන මුදල වැඩි කරමින් අධ්‍යාපන පද්ධතිය ශක්තිමත් කරමින් සිටිනවා. වව්නියාව සහ කිළිනොච්චියේ ව්ශ්වවිද්‍යාලවල පැවති නේවාසික ගැටළුව විසදන්න 2026 අයවැය තුළින් අපි මුදල් වෙන් කළා. උතුරු පළාතේ මෙන්ම සමස්ත රටේම පාසල් පද්ධතිය සංවර්ධනය කිරීමටත්, ඩිජිටල් තාක්ෂණය සංවර්ධනය කරන්නත් අපි මුදල් වෙන් කරමින් අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා.

අධ්‍යාපන අමාත්‍යංශය පසුගියදා 2025 වසරේ ප්‍රගති සමාලෝචනය සිදු කළා. උතුරු ප්‍රදේශයේ ප්‍රගතිය ගැන අපිට සතුටු වෙන්න බැහැ. අපි වෙන් කළ මුදල් නිසියාකාරව යොදවා නැහැ. මීට වඩා ප්‍රගතියක් අපි උතුරු පළාතෙන් බලාපොරොත්තු වෙනවා. ඉතා ඕනෑකමින් දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටු කටයුතු කළ යුතු බව මම සිහිපත් කරනවා.

2026 ගුරු පුරප්පාඩු පුරවන්න අපි කටයුතු කරනවා. නිලධාරී පුරප්පාඩුත් සම්පූර්ණ කරන්න අපි කටයුතු කරනවා. අමාත්‍යංශයෙන් වගේම පළාතෙන් හොද සහයෝගයක් රජයේ නව වැඩපිළිවෙල සඳහා අවශ්‍යයි.

යාපනය අධ්‍යාපනයේ ⁣කේන්ද්‍රස්ථානයක් බව අපි පිළි ගන්නවා. ඒවගේම උතුරු පළාතට අයත් වව්නියාව,මන්නාරම කිළිනොච්චි දිස්ත්‍රික්ක තුලත් අධ්‍යාපනය සංවර්ධනය කළ යුතුයි, සෑම පාසලක්ම අපේ පාසල්, ඒ පාසල් තුළ සිටින්නේ අපේ දරුවන්, ඒ නිසා සියළු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දෙන්න අවශ්‍යයි. ගුරුවරු ස්ථාන මාරු කරද්දි සියළු දිස්ත්‍රික්වලට සමානව ලබා දීමට කටයුතු කරන ලෙසත්, පෞද්ගලික දියුණුව මෙන්ම සාමූහික දියුණුවද අවශ්‍ය බව අවබෝධයෙන් කටයුතු කරන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය

මෙහිදී අදහස් දැක් වූ කථානායක ජගත් වික්‍රමරත්න,

ජනාධිපති අරමුදල ජනතාවගේ එදිනෙදා භාවිතයට ගැනෙන වචනයක් වූණේ මෙි වසරේ සිටයි. වසර 44ක කාලයක් ලංකාවෙි ක්‍රියාත්මක වුණත් එහි සැබෑ කාර්යය ඉටුවෙමින් තිබෙන්නේ 2025 ජනවාරි ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමෙන් අනතුරුවයි. එහිදී තීරණය කළා ජනාධිපති අරමුදලේ කටයුතු ප්‍රාදේශිය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කරන්න එය අපි 2025 පෙබරවාරි වනවිට ක්‍රියාත්මක කළා.

පසුගිය මාස 11 තුල ප්‍රාදේශිය ලේකම් කාර්යල හරහා අයදුම්පත් 4200ක් ලැබුණා. උතුරු පළාතෙන් පමණක් අයදුම්පත් 200ක් ලැබුණා. ඉස්සර ජනාධිපති අරමුදලෙන් ප්‍රතිලාභ ඉල්ලුවේ ලංකාවෙන්ම පනහක් හෝ හැටක් පමණයි.

මිලියන 4899ක් මෙවර ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපනය වෙනුවෙන් වෙන් කර තිබෙනවා, බිලියන 6112ක් රටේ ජනතාව වෙනුවෙන් මේ වසරේ වෙන් කළා.

උතුරු පළාත් ආණ්ඩුකාර රාමලිංගම් වේදනායගම්, ධිවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකරන්, වෙළඳ නියෝජ්‍ය අමාත්‍ය උපාලි සමරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ශ්‍රි භවනේනද්‍ර රාජා, ඉලන් කුමාර්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අත්රේක ලේකම් රෝෂන් ගමගේ, පළාත් සභා ලේකම්තුමන්, දිස්ත්‍රික් ලේකම් තුමන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ශිෂ්‍යත්වලාභින්, දෙමාව්පියන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

​ශ්‍රී ලංකාවට ලැබෙන ජාත්‍යන්තර සහයෝගය ඉතා ප්‍රශස්ත මට්ටමක පවතිනවා

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ අග්‍රාමාත්‍යතුමිය හමුවේ පවසයි.

​අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ශ්‍රී ලංකා නිත්‍ය සම්බන්ධීකාරක මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ (Marc-André Franche) මහතා අතර නිල හමුවක් 2025 දෙසැම්බර් 20 වන දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

​මෑතකදී ශ්‍රී ලංකාව මුහුණ දුන් ස්වාභාවික ව්‍යසනය හමුවේ විපතට පත් ජනතාව මුදාගැනීම සහ ඔවුන්ට සහන සැලසීම වෙනුවෙන් රජය ක්‍රියා කළ කඩිනම් හා විධිමත් ආකාරය මෙහිදී මාර්ක්-ඇන්ඩ්‍රේ ෆ්‍රැන්චේ මහතාගේ ඇගයීමට ලක් විය.

ලොව සෙසු රටවල අත්දැකීම් හා සැසඳීමේදී, මෙවැනි ආපදා අවස්ථාවකදී ශ්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් ලැබෙන සහයෝගය ඉතා උසස් මට්ටමක පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම, සිය වෘත්තීයමය මෙන්ම පෞද්ගලික මැදිහත්වීමද උපරිමයෙන් භාවිතා කරමින් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබා දීමට කටයුතු කරන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

​එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට ලැබෙන නිරන්තර සහයෝගය අගය කළ අග්‍රාමාත්‍යතුමිය, මෙවර ආපදා කළමනාකරණ කටයුතුවලදී දේශපාලන අධිකාරිය මෙන්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය නිලධාරීන් ඉටුකළ මෙහෙවර විශිෂ්ට බව ප්‍රකාශ කළාය. විශේෂයෙන්ම දිස්ත්‍රික් නායකත්වයේ සිට ප්‍රාදේශීය මට්ටමේ පහළම නිලධාරියා දක්වා සියලු දෙනා ඒකාබද්ධව කටයුතු කිරීම මෙම සාර්ථකත්වයට හේතු වූ බව ඇය සඳහන් කළාය.

​ලැබෙන ජාත්‍යන්තර සහයෝගීතාව නිසි ලෙස කළමනාකරණය කරමින්, ආපදාවට ලක්වූ ප්‍රදේශවල ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට රජය කැපවී සිටින බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

​මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් ද සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආපදාවට පත් පාසල් යළි යථාතත්වයට පත්කිරීම වෙනුවෙන්

UNICEF සංවිධානයේ නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක්.

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමසූරිය හා UNICEF සංවිධානයේ නියෝජිතයින් පිරිස අතර හමුවක් දෙසැම්බර් 20 දින අග්‍රාමාත්‍ය කාර්යාලයේදී සිදු විය.

එහිදී ස්වාභාවික ව්‍යසනය සිදු වූ මොහොතේ සිට මේ දක්වාම විපතට පත් ශිෂ්‍ය ප්‍රජාව ආරක්ෂා කර ගැනීමත්, හානියට පත් වූ පාසල් පද්ධතිය යළි නගාසිටුවීමත් සඳහා රජය ක්‍රියා කරමින් සිටින ආකාරය පිළිබඳව සහ ඊට ඇති අභියෝග පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය විසින් කරුණු පැහැදිලි කර දෙනු ලැබිණ.

නායයාම් ආශ්‍රිත පාසල් නැවත එම ස්ථානවලම විවෘත කිරීම අතිශය අනතුරුදායක බැවින් එවැනි පාසල් හදුනාගෙන, විද්‍යාත්මක පදනම මත සුදුසු ස්ථානයක ස්ථනගත කිරීම කෙරෙහි රජය අවධානය යොමුකරමින් තිබෙන බවද අගමැතිනිය පැවසුවාය.

විපතට පත් පාසල් සිසුන් වෙත මුදල් සහන සලසමින් දෙමව්පියන්ට අමතර බරක් නොවි නැවත දරුවන් පාසල් වෙත යැවීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බවත්, දරුවන්ට, නිවසට පසු ආරක්ෂිතම ස්ථානය පාසල බැවින් එහිදි ඔවුන්ගේ මානසික සෞඛ්‍ය සාධනීය මට්ටමකට පත් කිරීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බවද අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

අනතුරට පත් පාසල් නැවත ස්ථානගත කිරීම, පාසල් යටිතල පහසුකම් යළි ඇතිකිරීම, ඇතැම පාසල් එකට සම්බන්ධකර පවත්වාගෙන යාම, ඩිජිටල් හා තාක්ෂණික උපාය මාර්ගවලින් ඉගෙනුම් හා ඉගෙනීම් ක්‍රියාවලිය පහසුකිරීම, විශේෂිත ප්‍රවාහන පහසුකම් සැලසීම වැනි අංශ පිළිබඳ අවධානය යොමුකර තිබෙන බවත්, රජය මෙම ගැටලු දෙස ගැඹුරින් බලමින්, එයට දිගුකාලීන විසඳුම් සෙවීම කෙරෙහිද අවධානය යොමු කර තිබෙන බව අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පෙන්වා දුන්නාය.

අධ්‍යාපන ක්ෂේත්‍රය යළි යථා තත්ත්වයට පත්කරලීමට රජයක් වශයෙන් දක්වන කැපවීම සහ ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ ඇගයීමට ලක් කළ UNICEF නියෝජිත පිරිස මෙහිදී රජයට අවශ්‍ය උපරිම සහාය ලබාදෙන බව පැවසූ අතර ඉදිරි කටයුතු දෙපාර්ශ්වය එක්ව සිදුකරගෙන යාම පිළිබවද මෙහිදී අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ UNICEF නියෝජිත Emma Brigham, ලක්ෂ්මී සුරේෂ්කුමාර්, නිශාන්ත සුබාෂ් , යෂිංක ජයසිංහ යන මහත්ම මහත්මීන්ද, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, අධ්‍යාපන අධ්‍යක්ෂ දක්ෂිණ කස්තුරිආරච්චි, නියෝජ්‍ය අධ්‍යක්ෂ කසුන් ගුණරත්න, උදාර දික්කුඹුර යන මහත්ම මහත්මීන්ද සහභාගීවූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අපි රටට ජනතාවට පොරොන්දු වෙනවා අපි මේ රට නැවත ගොඩනගනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පාසල් විවෘත කළේ දරුවන්ගේ මානසික සුවය , මනෝ සමාජීය යහපැවැත්ම වෙනුවෙන්, පවුල හැරුණු විට පාසල තමයි දරුවන්ට ආරක්ෂිතම ස්ථානය

රට නැවත ගොඩනගන බවට ජනතාවට පොරොන්දු වන බවත්, රජය පාසල් විවෘත කළේ දරුවන්ගේ මානසික සුවය , මනෝ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් මෙන්ම පවුල හැරුණු විට පාසල දරුවන්ගේ ආරක්ෂිතම ස්ථානය වන නිසා බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

රට යථාතත්වයට පත්කර ගැනීම වෙනුවෙන් වන පරිපූරක ඇස්තමේන්තුව සම්මත කර ගැනීම වෙනුවෙන් දෙසැම්බර් 19 වන දින පැවති පාර්ලිමේන්තු විවාදයේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද කීය.

අද දෙසැම්බර් මාසේ 19 වෙනිදා අපේ රටට දිට්වා සුළි කුණාටුවේ බලපෑම සිද්ධ වෙලා සති තුනක කාලයකට පසුවයි අද පාර්ලිමේන්තුව රැස්වෙන්නේ පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගන්න.

හදිසි ආපදා තත්ත්වය ඇති වුණ නොවැම්බර් 27 වෙනිදා ඉදන්ම රජය, රජයේ නිලධාරින්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය, මේ රටේ ජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාවගෙන් අපට ලැබුණු සහයෝගය, විපක්ෂ මන්ත්‍රිවරුන්ගෙන් අපට ලැබුනු සහයෝගය මේ සියල්ල නිසා තමයි අපිට මේ රට මේ මට්ටමට ගොඩගන්න පුලුවන් වුණේ.

ඒ් වගේම ජනාධිපතිතුමාගේ මග පෙන්වීම හා නායකත්වය නිසා අද රට මේ තත්ත්වයට පත්කරගන්න පුළුවන් වුණා. ඒනිසයි විශේෂයෙන් යටිතල පහසුකම්, ජලය, විදුලිය මහා මාර්ගවලට සිදු වූ විශාල බලපෑමත් සමඟ අද මේ දේවල් මේ තරම් මට්ට්මකට ගෙන ඒන්න පුළුවන් වුණේ.

අපි සතුටු විය යුතුයි නැවත වතාවක් රටේ සාමාන්‍ය ජන ජීවිතය මේ ප්‍රමාණයට ගොඩගන්න පුළුවන් වුණ ඒක ගැන වගේම රටේ බොහෝ පළාත් නැවත සකස් කරගන්න ලැබීමට හැකිවීම පිළිබඳව.

මේ ව්‍යසනය එක සිද්ධියක් පමණක් නෙවෙයි. මේක Dynamic Situation එකක්. අදත් මධ්‍යම පළාතේ සියලුම පාසල් අපිට වහන්න සිද්ධ වුණා. දැන් ඇතිවෙලා තියෙන තත්ත්වය තුළ සාමන්‍ය වර්ෂාපතනයකින් වුණත් අවධානම වැඩිවෙන්න පුළුවන්. නාය යෑම් ඕනැම මොහොතක සිදු වෙන්න පුළවන්. ඒ පළාත්වලට ගිය ඕනෙම කෙනෙකුට තේරෙනවා ඒ තත්ත්වය. ඒ නිසා තමයි අපි නිරන්තරව අධීක්ෂණය කරමින් තීන්දු තීරණ ගන්නේ.

ඒ නිසා මුල් අවස්ථාවේ වගේම ඉදිරියේදී ජනතාවගේ ආරක්ෂාව, අවශ්‍ය අවස්ථාවක ඔවුන්ව මුදවා ගැනීමට අවශ්‍ය මෙහෙයුම් සිදු කරනවා. නැවත ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරමින් දීර්ඝ කාලීනව රට නැවත ගොඩ නගන්න අවශ්‍ය වන කටයුතු කරනවා.

පාසල් වෙන ස්ථාන වෙත ගෙනයන්න වෙන අවස්ථා තියෙන්න පුළුවන්. ගම්මාන ගැන හිතන්න වෙන අවස්ථා තියෙනවා. මේක කෙටිකාලින, මධ්‍ය කාලීන මෙන්ම දීර්ඝ කාලීන වැඩපිළිවෙලක්‍. අපි හිතන විදියට මේක අවුරුදු දෙක තුනක වැඩ පිළිවෙලක්.

අපි මේ පර්පුරක ඇස්තමේන්තුව ඉදිරිපත් කර තියෙන්නේ 2026 ට. අපි සැලසුම් සහගතව තමයි මේකට මැදිහල් වෙලා තියෙන්නේ. 2026 වසරට බිලියන 500 ක පරිපූරක ඇස්තමේන්තුවක් අපි ඉදිරිපත් කරලා තියෙන්නේ අපේ ආර්ථිකයට හානියක් නොවන විදියට.

පුළුල් ආර්ථික සැලැස්ම තුළ යන ගමන් රට නැවත ණය බරින් මිරිකෙන තත්ත්වයට පත් නොවෙන්නටයි අපි මේ සැළසුම් සකස් කරන්නේ. අපි ආර්ථික කළමණාකරනය පිළිබඳ මුළ සිටම අවධානය ලබා දුන් නිසා තමයි ආර්ථික ඉලක්ක වලට හානියක් නෙවන විදියට මේ සඳහා බිලියන 75 ක් වෙන් කරන්නත් 2026 ට මේ ඇස්තමේන්තුව ඉදිරිපත් කරන්නත් අපිට පුළුවන් වුණේ.

මම මේ වෙලාව අවස්ථාවක් කරගන්නවා විශේෂයෙන්ම අපිට විශාල සහයෝගයක් දැක්වු අයට ස්තුතිවන්ත වෙන්න. විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව, ඩයස්පෝරාව, පිටරට ඉන්න ශ්‍රී ලාංකාකයින්, මේ රටේ පුද්ගලික ආයතන, ස්වෙච්ඡා සංවිධාන, සමාන්‍ය ජනතාව, දරුවන් මේ සියලු දෙනාම විශාල වශයෙන් මැදිහත් වෙලා තියෙනවා ද්‍රව්‍යමය වශයෙන්, ශ්‍රමයෙන් මෙන්ම මුදල් වශයෙන් රට මේ තත්ත්වයට ගොඩගන්න.

අපි⁣ට උදව් කළ ජනතාව මෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව කියා සිටින්නේ මේ ආණ්ඩුව ගැන තියෙන විශ්වාසය නිසා තමයි අපිට බය නැතුව මේකට සහයෝගය දක්වන්න පුළුවන් වෙලා තියෙන්නේ කියලා. අපිට මේ රටම එකට එකතු කරගන්න පුළුවන් වුුණෙත් ජාත්‍යන්තරය මේ විදියට උදව් කරන්නෙත් අපි ඉදිරිපත් කරලා තියෙන අදූෂීත ආණ්ඩුකරණය මත තියෙන විශ්වාසය නිසා කියලා මම කියනවා.

ඒ වගේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්වය ගැනත් යම් අදහසක් ඉදිරිපත් කළ යුතුයි. දෙසැම්බර් 17 වැනිදා ලැබුණු දත්තවලට අනුව තමයි මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ.

මේක දිනෙන් දින වෙනස් වෙන තත්ත්වයක්.ඒ් නිසා මේක අවසාන දත්ත නෙවෙයි. නමුත් මේ දත්ත අනුව පාසල් 1382 පමණ සෘජුවම ආපදාවට ලක් වෙලා තියෙනවා. මධ්‍යම පළාතේත්, ඌව පළාතේත් සබරගමුව පළාතේත් තමා වැඩිම පාසල් ප්‍රමාණයක් හානියට පත්වෙළා තියෙන්නේ. අද වෙනකොට පාසල් 666 ක් හැර ඉතිරි සියලු පාසැල් මේ වනවි⁣ට විවෘත කරලා තියෙනවා.

අද නැවත මධ්‍යම පළාතේ පාසල් වැහුවා නිසා ඒ් ප්‍රමාණය නැවත වැඩිවෙලා තියෙනවා. ඒ් වගේම පාසල් ගණනාවක් සුරක්ෂිතතා මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යනවා. ඒ් සියල්ල සළකා බලා තමා පාසල් විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගත්තේ.

අපි පාසල් විවෘත කරන්න ප්‍රධාන අරමුණ වුණේ යටිතල පහසුකම් වගේම දරුවන්ගේ මානසික සෞඛ්‍ය, මනෝ සමාජීය යහපැවැත්මත් බලන්න ඕනේ නිසා.විශේෂයෙන් දරුවන් සාමාන්‍ය ජීවිතයට නැවත හුරුකරන්න අපිට අවශ්‍ය වුණා. දරුවන්ට පවුල හැරුණම පාසල තරම් ආරක්ෂිත තැනක් නැ. ඒ නිසා තමයි අපි අධ්‍යාපන බලධාරින්ට උපදෙස් දීලා තියෙන්නේ සම්ප්‍රදායික ක්‍රමයට නෙමෙයි මේ දින ප්‍රමාණය දරුවන්ගේ මානසික සුවය , මනෝ සමාජීය යහපැවැත්ම වෙනුවෙන් මේක අවස්ථාවක් කරගන්න කියලා.

ඒවගේම මේ ආපදාව සිද්ධ වෙනකොට උසස්පෙළ විභාගය කරමින් සිටි දරුවන් සිටියා. ඒ ඉතිරි දවස් 07 අපි නැවත සැලසුම් කරලා තියෙනවා. ඒ දරුවන්ට විශේෂ අවධානයක් දෙන්න ඕනේ. ඒ වගේම ඉදිරියේදි සාමාන්‍ය පෙළ ලියන ළමයින් ගැනත් අවධානය යොමුකරලා තියෙනවා. ඒ වගේම ආපදාවට ලක් වුණ සියලුම දරුවන්ට ජනාධිපති අරමුදලෙන් රුපියල් 10,000කුත්, භාණ්ඩාගාරයෙන් රුපියල් 15000 කුත් ලෙස 25000 දීමනාවක් ලබා දෙන්න රජය කටයුතු කරමින් යනවා. මේක හුදෙක් උගන්වන්න විතරක් පාසලට කැදවනවා නෙමෙයි. ව්‍යසනයෙන් පස්සේ දරුවන්ගේ තියෙන මානසික මට්ටම ගැන හිතලා මේක කරන්නේ

ඒ වගේම විශ්වවිද්‍යාල, විද්‍යාපීඨ හා වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන පවා හානි වුණා. විශේෂයෙන් පේරාදෙනිය විශ්වවිද්‍යාලය විශාල වශයෙන් හානි වෙලා තියෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ගියාම පැහැදිලි වුණේ සර් අයිවෝ ජෙනින්ස හදපු ඒක ගොඩනැගිල්ලකටවත් හානි වෙලා නැ.ඒ්කෙන් අපිට පාඩමක් කියලා දෙනවා .ඒ් කියන්නේ විද්‍යාත්මක කරුණු අනුව හරියට සැලසුම් කරලා සුදුසු තැන්වල හදනවනම් අපිට ආරක්ෂා වෙන්න පුළුවන් කියලා. ඒහෙම නැතුව ගත්තු තීන්දු තීරණ නිසා තමයි මෙහෙම ව්‍යසනවලට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. නැවත අපි මේවා සකස් කරන්නේ අවධානම අවම වන විදිහටයි. අපි බලාපොරොත්තු වෙනවා විපක්ෂයෙනුත් මෙයට සහයෝගය දෙයි කියලා.

අපි මේක කරන්නේ දත්ත මත තොරතුරු මත විද්‍යාත්මකව පියවරෙන් පියවරට.අපි රටට ජනතාවට පොරොන්දුවක් වෙනවා අපි මේ රට නැවත ගොඩනගනවා.ඔබ අප සියලු දෙනා ඒකතුවෙලයි මේක කරන්නේ. ඒ සමගිය හරහා මේ රට නැවත වතාවක් යතා තත්ත්වයට පත් කරන්නත් සියලු දෙනාගේ ජිවිත සුරක්ෂිත කරන්නත් අපිට හැකියාවක් ලැබෙනවා කියලා විශ්වාසයක් ඇතුව තමයි අපි වැඩකරන්නේ.ඒ් සඳහා රජයට සහයෝගය ලබා දෙන ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිට්න බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරනවා. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් යනවා.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන බවත්, 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධිවිධාන හේතුවෙන් නතර කර ඇති පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් 27/2 යටතේ ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යතුමිය අද (දෙසැම්බර් 19) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද කීවාය.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ 194 පිටුවේ සඳහන් පරිදි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරනවා. එය මහජනතාවට ඉදිරිපත් කර සංවාදයකින් අනතුරුව අවශ්‍ය වෙනස්කම් සිදු කර ජනමත විචාරණයකින් අනතුරුව සම්මත කර ගැනීමයි රජයේ අපේක්ෂාව. මේ වන වට මීට පෙර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත් කරන ලද කමිටු වාර්ථා සහ අනෙකුත් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා සළකා බලමින් සිටිනවා. අනතුරුව එහි මූළික සංකල්ප පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන්න නියමිතයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීම සහ විධායක බලතල රහිත ජනාධිපතිවරයෙක් පත්කිරීම සඳහා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කරන අවස්ථාවේදීම අවශ්‍ය කටයුතු සිදු කරනවා. නව ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැකියි. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ එය සිදු කළ හැකි ආකාරය පිළිබඳ අධ්‍යයනයක් මේ වන විට සිදු කරමින් තිබෙනවා. රටේ ප්‍රමුඛ ප්‍රශ්න විසඳීම සඳහා අවධානයක් ලබා දෙන අතරම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සඳහා අවධානය යොමු කර තිබෙනවා. ඊට අදාල නිශ්චිත කාලවකවානු ඉදිරියේදී ප්‍රකාශයට පත් කරනවා.

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කරමින් යනවා. 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ 3 (ආ) වගන්තිය යටතේ හදුන්වා දී ඇති විධිවිධාන අනුව ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන සීමා නීර්ණය කිරීමේ කමිටුවක් මගින් මැතිවරණයට අදාල මැතිවරණ කොට්ඨාස සීමා නීර්නය කිරීම සහ මැතිවරණ කොට්ඨාස ගණනය කිරීම තීරණය කිරීම සම්බන්ධයෙන් වාර්තාවක් ඉදිරිපත් කළ යුතු අතර එම වාර්ථාවට පාර්ලිමේන්තු අනුමැතිය ලැබීමෙන් පසුව පළාත් සභා ඡන්ද විසීම පැවැත්වීමට හැකියාව තිබෙනවා.

පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට මේ දක්වා නොහැකි වී තිබෙන්නේ 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධීවිධාන අනුව මැතිවර්ණ සීමා නීර්ණ කටයුතු අවසන්ව නොමැති නිසයි. ඒ අනුව සීමා නීර්ණය අවසන් කළ පසු පළාත් සභා මැතිවරණය පවත්වනවද නැත්නම් 2017 අංක 17 දරණ පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනතේ විධීවිධාන සඳහා සංශෝධනයක් ගෙන එමින් පළාත් සභා මැතිවරණය පවත්වනවාද කියන එක ගැන මේ වනවිට අධ්‍යයනයක් කරමින් පවතිනවා. ඒ අධ්‍යයනයෙන් පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන තීරණයක් ගන්නවා. කෙසේ වෙතත් මේ කටයුතු අවසානයේ මැතිවරණය පැවැත්වීම සඳහා 2026 අයවැය තුළින් ප්‍රතිපාදන වෙන් කර තිබෙනවා.

එසේම රජයේ අභිචෝධකාගාරය ඇති කිරීම සඳහා අවශ්‍ය නව නීති සහ නීති සංශෝධනය කළ යතු අවස්ථා පිළිබඳ මේ වනවිට අධ්‍යයනය කරමින් පවතින බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ආපදා තත්ත්වයෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙලට Noritake Company Limited ආයතනයෙන් රුපියල් මිලියන 20ක මූල්‍ය ප්‍රදානයක්.

​පැවති හදිසි ආපදා තත්ත්වයෙන් හානි වූ ප්‍රදේශ සංවර්ධනය කිරීමේ රජයේ වැඩපිළිවෙල සඳහා ජපානයේ Noritake Company Limited ආයතනය විසින් රුපියල් මිලියන 20ක මූල්‍ය ප්‍රදානයක් සිදු කළේය.

​ඊට අදාළ චෙක්පත Noritake Lanka Porcelain ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔබාරා (Kenji Obara) මහතා විසින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත පිළිගැන්වීම දෙසැම්බර් 18 වන දින පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු විය.

​මෙම අවස්ථාවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය චන්දන අබේරත්න, Noritake Lanka Porcelain ආයතනයේ අධ්‍යක්ෂ/සාමාන්‍යාධිකාරී සුජාතා එගොඩගෙදර සහ සහකාර සාමාන්‍යාධිකාරී කැප්ටන් එම්. එම්. අතුල රොහාන් සෙනරත් යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය