අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

ඩෙංගු වසංගතය අවම කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍යයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පෙර අභියෝග ජයගත්තා මෙන්ම ඩෙංගු අභියෝගයත් සාමුහිකව ජය ගනිමු

ඩෙංගු වසංගතය අවම කිරීම වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කිරීමට අවශ්‍ය බවත්, පෙර අභියෝග ජයගත්තා මෙන්ම ඩෙංගු අභියෝගයත් සාමුහිකව ජය ගත යුතුව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

ඩෙංගු මර්ධන සතියට සමගාමීව ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සහ ජනතාව අතර සෞඛ්‍ය ආරක්ෂණ දැනුවත්භාවය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ලද විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අමතමින් අද (16) කොට්ටාව ප්‍රදේශය දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය මෙසේද පැවසීය.

මේ වන විට ඩෙංගු අවදානම අප රටේ වැඩි වෙමින් පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කය අධි අවධානමක පවතිනවා. මහරගම නගරය ඒ අතරින් විශේෂ බව සෞඛ්‍ය අංශ දැනුවත් කර තිබෙනවා.

විශේෂයෙන් පාසල්, රජයේ හා පෞද්ගලික අංශයේ කාර්යාල ඇතුළු පොදු ස්ථානවල මෙම අවදානම පවතින බව හදුනාගෙන තිබෙනවා. රජයක් වශයෙන් ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර එම සතිය තුළ විශේෂ මැදිහත් වීමක් සිදුකර ජනතාවට පවතින ඩෙංගු අවධානම අවම කිරීමයි මෙහි අරමුණ.

මේ සතිය පමණක් නෙමෙයි මේ වෙනුවෙන් දීර්ඝ කාලීන වැඩපිළිවෙළක් සකස් කරන්න අවශ්‍යයි. මේ අවස්ථාවේදී සියලු දෙනා එක්රැස්ව අධිෂ්ඨානශීලීව කටයුතු කළයුතු වෙනවා.

පසුගිය වසර එකහමාරක කාලය තුල මතුවූ අභියෝග සාර්ථකව ජයගත් ලෙසම මෙහිදී ද සාමූහික ප්‍රයත්නයක් දරමින් මෙම අභියෝගය ජය ගත යුතුයි. ඩෙංගු මර්දන ක්‍රියාවලිය ස්වකීය වගකීමක් ලෙස සලකා ප්‍රථමයෙන්ම කොළඹ දිස්ත්‍රික්කය අධි අවදානමෙන් අඩු අවදානමක් සහිත ප්‍රදේශයක් බවට පත්කර ක්‍රමිකව තුරන් කිරීමට ක්‍රියා කළ යුතුව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අනතුරුව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රදේශයේ බස් නැවතුම්පොළ හා ඒ අවට ස්ථාන නිරීක්ෂණය කිරීමට ද කටයුතු ක⁣ළාය.

මෙහිදී අදහස් දැක් වු මහරගම නගර සභාවේ සභාපති සමන් සමරකෝන් මහතා

මෙම ඩෙංගු මර්දන වැඩසටහන සඳහා විශේෂ දායකත්වයක් දක්වන මහරගම නගර සභාව, කොට්ටාව පොලිසිය සහ ආරක්ෂක හමුදා කණ්ඩායම්, මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මහජන සෞඛ්‍ය නිලධාරී කාර්යාලය, නිවාස සංවර්ධන අධිකාරිය, ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය, කොට්ටාව ධර්මපාල විද්‍යාලය, කොට්ටාව ආනන්ද විද්‍යාලය සහ කොට්ටාව වෙළෙඳ සංගමය ඇතුළු ආයතන වෙත සිය ස්තුතිය පුද කළේය.

මෙම අවස්ථාවට ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගම්ලත්, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර, මහරගම ප්‍රදේශයේ සභාවේ සභාපති සමන් සමරකෝන් යන මහත්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ධූර කාලය අවසන් කර මෙරටින් නික්ම යන බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස්, අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

සිය ධූර කාලය අවසන් කරමින් මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස්, Andalib Elias මහතා, 2026 ජුනි 15 වැනි දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

සිය ධූර කාලය තුළ, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර දීර්ඝකාලීන ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම වෙනුවෙන් Andalib Elias මහතා සිදු කළ සේවය සහ දායකත්වය අගය කළ අග්‍රාමාත්‍යතුමිය සිය ස්තූතිය පළ කළාය.

දෙරටේ තරුණ තරුණියන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉදිරියටත් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය, සහයෝගීතාව සහ අන්‍යෝන්‍ය උනන්දුවක් දක්වන ක්ෂේත්‍ර සඳහා දෙපාර්ශවයේ කැපවීම මෙම අවස්ථාවේදි යළි තහවුරු කරන ලදී.

මේ සඳහා කොළඹ පිහිටි බංග්ලාදේශ මහජන සමූහාණ්ඩුවේ මහ කොමසාරිස් කාර්යාලයේ උපදේශක (Counsellor) Md. Jannatul Habib, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ධූර කාලය අවසන් කර මෙරටින් නික්ම යන බෙල්ජියමේ ශ්‍රී ලංකා තානාපති අග්‍රාමාත්‍යතුමිය හමුවෙයි

සිය ධූර කාලය අවසන් කරමින් මෙරටින් නික්ම යන ශ්‍රී ලංකාවේ බෙල්ජියම් තානාපති Didier Vanderhasselt මහතා 2026 ජූනි 15 වැනි දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

අග්‍රාමාත්‍යවරිය මෙම අවස්ථාවේ දී, සිය ධුර කාලය තුළ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීම සඳහා Didier Vanderhasselt මහතා සිදු කළ කාර්යභාරය අගය කළ අතර ශ්‍රී ලංකාව තුළ බෙල්ජියම් ආයෝජන අවස්ථා තවදුරටත් ව්‍යාප්ත කිරීම පිළිබඳව ද අවධානය යොමු කළාය.

අග්‍රාමාත්‍යවරිය හමුවීමට ලැබුණු අවස්ථාව පිළිබඳ සිය කෘතඥතාව පළ කළ Didier Vanderhasselt මහතා, තම ධුර කාලය තුළ ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර පැවති ධනාත්මක සහයෝගීතාව පිළිබඳව නැවත සිහිපත් කළේය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහයෝගීතාව ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වයේම අවධානය යොමු වූ අතර, ශ්‍රී ලංකාව සහ බෙල්ජියම අතර සහයෝගීතාව අඛණ්ඩව ඉදිරියටත් පවත්වාගෙන යාමේ වැදගත්කම පිළිබඳව ද මෙහිදී අවධාරණය කරන ලදී

මෙම අවස්ථාවට නවදිල්ලි නුවර පිහිටි බෙල්ජියම් තානාපති කාර්යාලයේ පළමු ලේකම් Jonas Heirbrant , අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත යන මහත්ම මහත්මීන් සහ විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශයේ නිලධාරීහු එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අග්‍රාමාත්‍යතුමිය සහ යුනිසෙෆ් (UNICEF) නියෝජිත පිරිස අතර හමුවක්

දිට්වා ආපදා තත්ත්වයෙන් පසුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රතිසාධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සහ යුනිසෙෆ් (UNICEF) නියෝජිත පිරිස අතර හමුවක් 2026 ජූනි 12 වන දින අරලිය ගහ මන්දිරයේ දී පැවත්විය.

මෙහිදී, “Cyclone Ditwah Education Emergency Response Plan: Phase 1 Progress Updates (January–April 2026)” වාර්තාවේ ඇතුළත් යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳව අවධානය යොමු වූ අතර ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ දරුවන් සහ පාසල් සඳහා දියත් කළ ප්‍රතිචාර වැඩසටහනෙහි පළමු අදියරේ ප්‍රගතිය සමාලෝචනය කිරීමද ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම ද මෙම හමුවේ දී සිදු විය.

එමෙන්ම, බලපෑමට ලක් වූ දරුවන්ගේ සුබසාධනය සහ අධ්‍යාපනය කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාම තහවුරු කිරීම සඳහා දෙපාර්ශ්වය අතර සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම පිළිබඳව ද අග්‍රාමාත්‍යවරිය සහ යුනිසෙෆ් නියෝජිත පිරිසගේ අවධානය යොමු විය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් නියෝජිත Emma Brigham, නියෝජ්‍ය නියෝජිත Begona Arellano ඇතුළු යුනිසෙෆ් නිලධාරීන් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

බේකරි කර්මාන්තය සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිත කිරීම දේශීය ගොවියාට මෙන්ම සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් විශාල ශක්තියක් - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

බේකරි නිෂ්පාදන සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිත කිරීම දේශීය ගොවියාට මෙන්ම සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් විශාල ශක්තියක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

කොළඹ ශැන්ග්‍රිලා හෝටලෙයේ ජුනි 12 දින පැවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ වාර්ෂික සමුළුව අමතමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය,

ආර්ථික වශයෙන් රට නව පරිවර්තනයක් කරා ගමන් කරන තීරණාත්මක මොහොතක, බේකරි කර්මාන්තය හුදෙක් පිටි ආශ්‍රිත නිෂ්පාදනවලට පමණක් සීමා නොවී, රටේ ආර්ථිකයේ ප්‍රධාන බලවේගයක් බවට පත් කර ගැනීමට හැකියාව තිබෙන බව මම විශ්වාස කරනවා.

ආහාර නිෂ්පාදනයක පදනම විය යුත්තේ ගුණාත්මකභාවය සහ සෞඛ්‍යාරක්ෂිත බවයි. එබැවින් රසයට පමණක් මුල්තැන නොදී, කෘත්‍රිම රසකාරක සහ වර්ණකවලින් තොර, පෝෂණ ගුණයෙන් ඉහළ සෞඛ්‍ය සම්පන්න නිෂ්පාදන වෙළඳපොළට හඳුන්වා දීමට කටයුතු කළ යුතුය.

සහල් පිටි, කුරක්කන්, මෙනේරි, මුං ඇට සහ දේශීය අල වර්ග වැනි අමුද්‍රව්‍ය භාවිත කරමින් අගය එකතු කළ (Value-added) නව නිෂ්පාදන නිර්මාණය කිරීම හරහා ගෝලීය “සෞඛ්‍ය සම්පන්න ආහාර” (Health-conscious diet) ප්‍රවණතාවය ජය ගැනීමට බේකරි කර්මාන්තයට හැකියාව තිබෙනවා.

විදේශීය සංචාරකයන්ට සපයන ආහාර සඳහා දේශීය කාබනික කෘෂි නිෂ්පාදන භාවිතා කිරීමෙන් දේශීය ගොවියාට මෙන්ම සංචාරක කර්මාන්තයේ වර්ධනයටත් විශාල ශක්තියක් ලැබෙනවා. ඒ වගේම දේශීය ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීමට රජය කැපවී සිටින අතර, අමුද්‍රව්‍ය ආනයන ගැටලු අවම කිරීම, නව තාක්ෂණය සඳහා සහනදායී ණය පහසුකම් ලබාදීම සහ ජාත්‍යන්තර ප්‍රමිතීන් සහතික කර ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට රජය කටයුතු කරනවා.

කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ ව්‍යාපාර දියුණු කිරීම සඳහා අවශ්‍ය පුහුණුව සහ වෙළඳපොළ සම්බන්ධතා ඇති කිරීමට දැනටමත් රජය කර්මාන්ත අමාත්‍යංශය හරහා වැඩසටහන් දියත් කර ඇති බව ද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

මෙම අවස්ථාවට කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන යන මහත්වරුන් ඇතූළු සංගමයේ සාමාජික සාමාජකාවන් පිරිසක් සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

​ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවෙයි

​ආදිවාසී ජනතාවට පාරම්පරික ඉඩම් පරිහරණයේදී මුහුණ දීමට සිදුවන ගැටලු නිරාකරණයට පියවර

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් ​අද (12) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැත් විය.

මෙහිදී ආදිවාසී ජනතාව මුහුණ දෙන ගැටලු පිළිබඳව සාකච්ඡා කළ අතර ආදිවාසී ජනතාවට තම පාරම්පරික ඉඩම් පරිහරණය කිරීමේදී ඇති වන දුෂ්කරතා පිළිබඳව ආදිවාසී නායකතුමන් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළේය.

ආදිවාසී ජනතාවට බාධාවකින් තොරව පාරම්පරික ඉඩම් භුක්ති විඳීමට අයිතියක් ඇති බවත්, ඒ වෙනුවෙන් අවශ්‍ය නීතිමය කටයුතු කඩිනමින් අවසන් කිරීමේ ඉදිරි කටයුතු සිදු කරන බවත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැහැදිලි කළාය.

​මෑතකදී ඇති වූ දිට්වා සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූ හෙන්නානිගල ගම්වාසීන් සඳහා මෙතෙක් සහනාධාර නොලැබීම පිළිබඳව ආදිවාසී නායකයා කරුණු ඉදිරිපත් කළ අතර, අග්‍රාමාත්‍යතුමිය එම මොහොතේදීම අදාළ නිලධාරීන් දැනුවත් කර එම පවුල් සඳහා විධිමත් ලෙස සහන ලබා දීමටද පියවර ගත්තාය.

​දඹාන පාසලේ පවතින අඩුපාඩු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කළ අතර, ඒ පිළිබඳ සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යතුමිය මෙහිදී පැවසුවාය.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය