අග්‍රාමාත්‍ය කාර්යාලය

ශ්‍රී ලංකා ප්‍ර‍ජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍යවරයාගේ නිල රාජකාරි කටයුතු සිදුකරන අග්‍රාමාත්‍ය කාර්යාලය, රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුකූලව ආර්ථික හා සමාජීය සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනිම උදෙසා අවශ්‍ය මඟපෙන්වීම, සම්බන්ධීකරණය හා නායකත්වය ලබා දීම සිදුකරනු ලබයි.

එමෙන්ම, කාලීන අභියෝග හමුවේ නොබියව, තිර අදිටනින් යුතුව එම අභියෝග සඳහා කඩිනම් පිළියම් යෙදීමටත්, ජනතාවගේ අපේක්ෂාවන් සඵලකර දීම සඳහා දුෂ්කර කාල සීමාවන්හි, ඔවුන් වෙනුවෙන් පෙනී සිටිමින් එකී අපේක්ෂාවන් ඉටුකිරීමට අවශ්‍ය නායකත්වය ලබා දීම අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් සිදු කරනු ලබයි. තවද,රටේ සංවර්ධන කාර්ය සඵල කර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය හා ජනතා කේන්ද්‍රීය ප්‍රවේශයක් තුළින් තිරසර ලෙස රටේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය, මඟපෙන්වීම හා මනා සම්බන්ධීකරණයක් සැපයීම හා ගෝලීය අන්‍යෝන්‍ය සබඳතා පුළුල් කිරීමේ අරමුණින් රාජ්‍යතාන්ත්‍රික කටයුතු සම්බන්ධයෙන් දායකත්වය සැපයීමත්,අග්‍රාමාත්‍ය කාර්යාලය මඟින් නිරන්තරවමසිදු කරනු ලබයි.

දැක්ම

“ස්වාධින ස්වෛරී හා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක්”

මෙහෙවර

“ශ්‍රී ලාංකේය ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්වීම පිණිසත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීම පිණිසත්, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන අතර මනා සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් යහපාලනයෙන් යුත් විශිෂ්ට රාජ්‍ය යාන්ත්‍ර‍ණයක් උදෙසා අවැසි නායකත්වය සැපයීම”

2026 නව වසර වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියගේ පණිවිඩය.

2026 නව වසරක් අභිමුව සිටින මේ මොහොතේ ගෙවීගිය 2025 වසර පිළිබඳව පසුවිපරමක් කිරීම කාලෝචිත බව මගේ විශ්වාසයයි. ජනතාවාදී රජයක් ලෙස තීරණාත්මක ඉදිරිගාමී පියවර රැසක් තැබීමට හැකිවූ වසරක් ලෙස 2025 වසර පිළිබඳ එක්පසෙකින් අපට සතුටට පත්විය හැකිය.

නව දේශපාලන සංස්කෘතියක් මත රාජ්‍ය පාලනයේ විනිවිදභාවය තහවුරු කිරීමටත්, දූෂණයෙන් තොර කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් උදෙසා වන අඩිතාලම සැකසීමටත් අපට හැකි වූ බව මගේ විශ්වාසයයි.

ආර්ථික ස්ථාවරත්වය, ජාත්‍යන්තර වශයෙන් අපේ රට පිළිබඳව ඇතිවෙමින් පවතින සුබවාදී ධනාත්මක ආකල්ප මෙන්ම විනිවිදභාවයෙන් යුතු පාලන ක්‍රමවේදයක් සහ නීතියේ ස්වාධිපත්‍ය තහවුරු කිරීම වැනි ප්‍රධාන අංශ ගණනාවක් ඔස්සේ 2025 වසර පිළිබඳ අපට තෘප්තිමත් විය හැකිය.

කෙසේ වෙතත්, 2025 වසරේ අවසාන භාගයේ අප මුහුණ දුන් අවාසනාවන්ත ස්වභාවික ව්‍යසනය අපේ රටට අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් විය. එය අප සැමගේ සිත් කම්පනයට පත් කළ ද, එවැනි මොහොතක ශ්‍රී ලාංකිකයන් ලෙස ඔබ පෑ සහෝදරත්වය, සහකම්පනය සහ එකිනෙකාට උදවු උපකාර කරමින් නැගී සිටි ආකාරය පිළිබඳව ලෝකයේම කතාබහට ලක්වී තිබේ.

උදාවූ 2026 නව වසර වෙත අප පා තබන්නේ එම අභියෝග ජය ගනිමින්, ව්‍යසනයෙන් බිඳුණු සිත් සුවපත් කරමින් සහ බිඳවැටුණු ජන ජීවිත යළි යථා තත්ත්වයට පත් කිරීමේ දැඩි කැපවීම පෙරදැරිව ය.

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මක සහ තිරසර වෙනසක් සනිටුහන් කරන අධ්‍යාපන පරිවර්තනය සිදු කිරීම ඇතුළු, රාජ්‍ය සේවයේ සෑම ක්ෂේත්‍රයක්ම ඩිජිටල්කරණය කිරීම, නව අදහස් සහිත ව්‍යවසායකයින්ට, කලාකරුවන්ට සහ නිර්මාණකරුවන්ට ගෝලීය මට්ටමින් නැගී සිටීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම, විෂ මත්ද්‍රව්‍යයෙන් තොර, පරිසර හිතකාමී සහ සහකම්පනයෙන් යුතු සමාජයක් ගොඩනැඟීම වැනි සුවිශේෂී අරමුණු රැසක් සමගින් ජාති, ආගම් හා පක්ෂ භේදයකින් තොරව, ශක්තිමත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයකින් යුතුව මේ රට ගොඩනැඟීමේ වගකීම රජය ඇතුළු සමස්ත ජනතාව වෙත පැවරෙන බව මේ මොහොතේ සිහිපත් කරනු කැමැත්තෙමි.

ගෙවුණු වසරේ අප මුහුණදුන් සියලු අභියෝගයන් ශක්තියක් බවට පත් කරගනිමින්, නව ජවයකින් සහ අපේක්ෂාවෙන් යුතුව 2026 වසර වෙත පියවර තැබීමට මම ඔබට ඇරැයුම් කරමි.

ඔබ සැමට සාමය, සතුට සහ සෞභාග්‍යය පිරි ජයග්‍රාහී සුබ නව වසරක් වේවා..!

ආචාර්ය හරිනි අමරසූරිය
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්ත්‍රික සමාජවාදී ජනරජය
2026 ජනවාරි 15

සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති අග්‍රාමාත්‍යවරිය හමුවෙයි.

සිය ධූර කාලය අවසන් කරන ශ්‍රී ලංකාවේ ඇමරිකා එක්සත් ජනපද තානාපති Julie Jiyoon Chung මහත්මිය ජනවාරි 14 වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය.

තානාපතිවරිය පිළිගත් අග්‍රාමාත්‍යවරිය, තම ධූර කාලය තුළ ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ද්විපාර්ශවික සබඳතා ශක්තිමත් කිරීම සඳහා Julie Jiyoon Chung මහත්මිය විසින් ලබා දුන් සේවය සහ දායකත්වයට සිය කෘතඥතාව පළ කළාය. දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ හදිසි තත්ත්වයෙන් රට යථා තත්ත්වයට පත් කරගැනීමට ඇමරිකා එක්සත් ජනපද රජය විසින් ශ්‍රී ලංකාවට ලබා දුන් සහාය ද අග්‍රාමාත්‍යවරිය මෙහිදී පැසසුමට ලක් කළා ය.

සිය ධූර කාලයේ දී ශ්‍රී ලංකා රජය විසින් තමාට ලබා දුන් අන්‍යෝන්‍ය සහයෝගය පැසසුමට ලක් කළ Julie Jiyoon Chung මහත්මිය, ශ්‍රී ලංකා නව රජයට සිය කෘතඥතාව පළ කළ අතර, දෙරට අතර දිගු කාලීන හවුල්කාරිත්වය තහවුරු කළා ය.

Fulbright ශිෂ්‍යත්ව වැඩසටහන සහ එක්සත් ජනපද සාම බලකා (Peace Corps) වැඩසටහන යටතේ දෙරටේ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු වූ අතර, දෙරටේ ජනතාව අතර මිත්‍රත්වය සහ දිගුකාලීන සහයෝගීතාව වර්ධනය කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළහ.

මෙම අවස්ථාවට නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී Jayne Howell මහත්මිය, මහජන හා සංස්කෘතික කටයුතු පිළිබඳ උපදේශක Menaka Nayyar මහත්මිය, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා, අග්‍රාමාත්‍ය අතිරේක ලේකම් සාගරිකා බෝගහවත්ත මහත්මිය, විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ජනරාල් සුගීෂ්වර ගුණරත්න මහතා සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ යුරෝපීය සහ උතුරු ඇමරිකානු අංශයේ අධ්‍යක්ෂ ප්‍රමුදිතා මනුසිංහ මහත්මිය සහභාගී වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන (SBCC) එලිදැක්වෙයි. - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

පෙර පාසල් ගුරු පුහුණුව ක්‍රමාණුකූලව පවත්වා ගැනීමට හා පෙර පාසල්වල ගුණාත්මකභාවය තහවුරු කිරීමට රජය කටයුතු කරමින් යනවා

පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමටත්, පෙර පාසල් අධ්‍යාපනය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත්, ගුරු පුහුණුව ක්‍රමාණුකූලව පවත්වා ගැනීමට හා ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය UNICEF ආයතනය සහ Clean Sri Lanka වැඩසටහන එක්ව මුල් ළමාවිය දරුවන්ගේ සමාජ සහ චර්යාත්මක වෙනසක් උදෙසා ළමා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වන සන්නිවේදන ජාතික වැඩසටහන (SBCC) එලිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අද (10) අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන ක⁣ළාය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.

පූර්ව ළමා විය සංවර්ධනය, රටේ මානව සංවර්ධනයටත්, රටේ අනාගත අභිවෘද්ධියටත් ප්‍රධාන ලෙස බලපානවා. දරුවන්ගේ අනාගතය රඳා පවතින්නේ පූර්ව ළමාවිය සංවර්ධනය මත බව අප සියලු දෙනාට පිළිගත හැකි සත්‍යයක්. දරුවාගේ වර්ධනයට අත්‍යවශ්‍යා බොහෝ දේ වයස අවුරුදු පහ දක්වා කාලය තුළදී දරුවා තුළ සිදුවෙනවා. ඒ කාලය තුළ දරුවා ලබන අත්දැකීම්, රැකවරණය, ලබන ආදරය තීරණාත්මකයි.

දරුවා වැඩිහිටියෙකු ලෙස ගොඩනැගීමට කුඩා කාලයේ ලබන සමාජානුයෝජන බලපෑම, අන්තර් සම්බන්ධතා, පරිසරයේ බලපෑම පාදක වෙනවා. පුද්ගලයෙකු වැඩිහිටියෙකු වූ පසු වෙනස් කිරීමට නොහැකි තරමට පූර්ව ළමාවිය සංවර්ධනය ජීවිතයට බලපානවා,

දරුවන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධව වැඩිහිටියන් දක්වන ප්‍රතිචාර ඔවුන් සමග ගනුදෙනු කරන ආකාරය ඔවුන්ට දක්වන රැකවරණය සියල්ල අතිශයින් වැදගත්. එබැවින් දරුවන්ගේ පූර්ව ළමා විය සංවර්ධනය දෙමව්පියන්ගේ වගකීමක් පමනක් ලෙස අපි කිසිවිටක සලකන්නේනේ නැහැ. එය සියලු පුරවැසියන්ගේ සාමූහික වගකීමක්.

අපට තනිව දරුවකු යහපත් පුරවැසියෙකු දක්වා ගොඩනැගී නොහැකියි. අපගේ ජීවිත දෙස බැලුවත් අපගේ දෙමව්පියන් වගේම අපේ ජීවිත වලට බලපෑම් සිදු කළ විශාල පිරිසක් සිටිනවා. අපට ආදරය දැක්වූ අපට රැකවරණය සැපයූ බොහෝ පිරිස් සිටිනවා. ඒ සියලු දෙනා දැක්වූ අනුග්‍රහය නිසා අද අපි මේ තත්ත්වයට පත් වී තිබෙන්නේ. දරුවන්ට රැකවරණය ලබාදීම සමාජ වගකීමක් ලෙස අපේ රජය දකිනවා. දරුවෙක් ගොඩනැගීම, රැකවරණය සැපයීම, ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම් ලබාදීම සමාජ වගකීමක් බව ජනතාවට සන්නිවේදනය කිරීමට ක්ලින් ශ්‍රී ලංකා මැදිහත්වීම ඉතාමත් වැදගත්.

දරුවන් වෙනුවෙන් පෙර පාසල් ගුරුවරුන් විශේෂ කාර්යයක් සිදු කරනවා. දරුවන්ට එම අවධියේදී ලැබෙන ආදරය රැකවරණය මෙන්ම දරුවනට ඇහුම්කන් දීම ඔවුන්ට දක්වන ප්‍රතිචාරය දරුවන්ගේ වර්ධනයට තීරණාත්මකයි. දරුවන්ගේ ජීවිත තුළ ඔබ සිදු කරන්නේ තීරණාත්මක මැදිහත්වීමක්. පූර්ව ළමා විය සංවර්ධනය පිළිබඳව අධ්‍යාපන ප්‍රතිපත්තියක් සැලසුම්කර තිබෙනවා. UNICEF ආයතනය මේ සඳහා අපට තාක්ෂණික සහයෝගය ලබා දෙනවා. පෙර පාසල් අධ්‍යාපනය එක රාමුවකට අනුව පවත්වාගෙන යාමට කටයුතු කරමින් යනවා. පෙර පාසල් අධ්‍යාපනය එක් විෂය මාලාවකට අනුගත කිරීමටත්, ගුරු පුහුණුව ක්‍රමාණුකූලව පවත්වා ගැනීමටත්, ගුණාත්මකභාවය තහවුරු කිරීමටත් රජය විසින් කටයුතු ආරම්භ කර තිබෙනවා.

පූර්ව ළමා විය සංවර්ධනය අධ්‍යාපනය තුළ විශේෂ ක්ෂේත්‍රයක් බව හඳුනාගෙන ඒ වෙනුවෙන් මැදිහත්වෙන බවද අගමැතිතුමිය ප්‍රකාශ කළාය .

කාන්ත හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා පෝල්රාජ් මැතිනිය අදහස් දක්වමින්

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය 2026 වර්ෂයේ මූලික ඉලක්කය ලෙස මුල් ළමාවිය සංවර්ධනය ප්‍රමිතිගත කිරීම සහ සංවර්ධනය කිරීමයි. මවගේ තුරුලෙන් වෙන්වී පියාගේ උරහිසෙන් මිදී පෙර පාසල් ගුරුවරු වෙත පැමිණෙන දරුවාට මවගෙන් පියාගෙන් ලැබුවා වූ ඒ උණුසුම ආදරය ගුරුවරුන්ගෙන් බලාපොරොත්තු වෙනවා. ගුරුවරුන්ගේ බැල්මෙන් ඔවුන්ගේ වචනයෙන් ඒ ආදරය දැනීමට සැලැස්වීම ගුරුවරු සතු කාර්යයක්, දරුවෙක් පරිසරයට ආදරය කරන්නත් අන් අයට ගරු කරන්නත් ඔවුන්ට ලැබෙන ඒ ආදරය හා ආරක්ෂිත පරිසරය බලපානවා.

මේ අවස්ථාවට එක්වෙමින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාද මෙසේ අදහස් පළ කළේය.

අප බලාපොරොත්තු වන්නේ අනාගතයේ මේ රට භාර ගැනීමට ඉන්න පරම්පරාව, අද අපි මුහුණ දෙනා විවිධාකාර බාධක දුක් කම්කටොලු ආදී ප්‍රශ්නවලින් තොර ලස්සන පරම්පරාවක් බවට පත් කිරීමටයි .ඒ සඳහා සුදුසුම කණ්ඩායම මේ ව්‍යාපෘතිය සඳහා තෝරාගෙන තිබෙනවා .

අපේ රටේ ජනතාව නීරෝගී පරපුර ලෙස ගොඩනැගීම අභියෝගයක් ලෙස බාරගන්නේ නම් විශේෂයෙන්ම බෝ නොවන රෝග වලින් දුරස් කිරීම අවශ්‍ය වෙනවා. අද අවුරුදු තුනක් පහත් අතර දරුවන්, 2040 වනවිට අවුරුදු 18 ත් 20 ත් අතර පරම්පරාවක්. මෙම පරම්පරාව බෝ නොවන රෝගවලින් ගලවා ගැනීම සඳහා මෙවැනි අඛන්ඩ වැඩපිළිවෙළක් අවශ්‍යයි. මේ සඳහා ළමා වියටත් පෙර පූර්ව ජන්ම අවධියේදී ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන අවස්ථාද තිබෙනවා. පෙර පාසැල් හා මුල් ළමා විය සංවර්ධන මධ්‍යස්ථානවල ගුරුවරු ලෙස ඔබ භාරගන්නේ අනාගතයේ මේ රටේ දැවැන්ත පරිවර්තනයක් සඳහා සිදු කළ යුතු දවැන්ත කාර්යභාරයක්.

සබරගමු පළාත් ආණ්ඩුකාරවර චම්පා ජානකී රාජරත්න මහත්මිය, ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතීඥ කපිල ජයසේකර මහතා, උතුරු මැද පළාත් ගරු ආණ්ඩුකාරවර වසන්ත ජිනදාස මහතා, වයඹ පළාත් ගරු ආණ්ඩුකාරවර තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා, කාන්තා සහ ළමා කටයුතු ගරු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නජිත් ඉන්දික මහතා, එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ (Unicef) ශ්‍රී ලංකාවේ නියෝජිත Emma Brigham මහත්මිය, ජනාධිපති ලේකම් ආචාර්‍ය නන්දික සනත් කුමාණායක මහතා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (මූල්‍ය සහ ආර්ථික කටයුතු) රසල් අපොන්සු මහතා, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලීන් ශ්‍රී ලංකා) එස්. පී. සී. සුගීෂ්වර මහතා, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, විෂයානුබද්ධ අමාත්‍යාංශ නිලධාරීන්, පළාත් සභා නිලධාරීන්, පෙරපාසල් ගුරුවරුන්, පෙරපාසල් දරු දැරියන් සහ දෙමව්පියන් එක්ව සිටියහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

රජය තරාතිරම අනුව කාවවත් ආරක්ෂා කරන්නේ නැහැ - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

රජය තරාතිරම බලා කිසිවෙකු ආරක්ෂා කිරීමට කටයුතු නොකරන බවත් වත්මන් අධිකරණ ක්‍රියාවලිය තුළින් ඒ බව පැහැදිළි වන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

සමගි ජනබල වේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අජිත් පී. පෙරේරා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අගමැතිනිය මේ බව සදහන් කළාය.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීවාය.

ජනාධිපතිතුමන් විසින් 2024 ජනාධිපතිවරණයේ ජාතික ජනබලවේගයේ ජනාධිපතිවරයා ලෙස ඉදිරිපත් කළ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්‍රතිපත්ති ප්‍රකාශයේ නීතිය මත පාලනයක් සමප්‍රවේශීය අධිකරණ පද්ධතියක් යටතේ, අල්ලස් කොමිසම සහ නීතිපති කොමිසම මගින් ඉල්ලා අස් කර ගන්නා ලද නඩු නැවත සමාලෝචනයට ලක් කර සුදුසු නඩු සඳහා නැවත නඩුකර පැවරීමට කටයුතු කරනවා. 2019 වර්ෂයේ සිට 2024 දක්වා ඉල්ලා අස්කර ගත් මුලු නඩු සංඛ්‍යාව 102ක් එයින් 65කට නැවත නඩු පැවරීමට කටයුතු කර තිබෙනවා. 34ක් සඳහා නැවත නඩු නොපැවරීමට තීරණය කළා. තවත් නඩු 3ක් නැවත නඩු පැවරීම සම්බන්ධයෙන් සළකා බලමින් සිටිනවා.

මේ වන විට ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාවලිය පිළිබද යම් අදහසක් තියනවා නම් කවුරුවත් ආරක්ෂා කරන්න රජය කටයුතු කරන්නේ නැහැ කියන එක ඉතාමත්ම පැහැදිළියි. මේ පාර්ලිමේන්තුවේ සිටින සහ දැනට පාර්ලිමේන්තුවේ නැති බොහෝ දෙනෙක්ට නඩු කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. වසර 15ක් 20ක් පැරණි සිද්ධි නැවත විමර්ෂණය කරමින් අපිට මේ නඩු පැවරීම සිද්ධ කරන්න වෙලා තියෙන්නේ. ඒකට යම් කාලයක් යනවා.

අපි තරාතිරම බළලා නෙමෙයි මේවා තීරණය කර තිබෙන්නේ. අදාළ නඩුකරවලට පවතින සාක්ෂි අනුව ගත හැකි සියළු පියවර අපි ගනිමින් ඉන්නවා. රජය කිසි ලෙසකින් කාවවත් ආරක්ෂා කරන්නේ නැහැ. පැවති ආණ්ඩු වල සිටි එකිනෙකා ආරක්ෂා කළ අයම රජය අධිකරණ ක්‍රියාවලිය නැවැරදිව කරගෙන යනවිට එකිනෙකා ආරක්ෂා කරනවාදැයි අහන ප්‍රශ්නයම විහිළුවක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් ප්‍රතිපත්තියක්. - ​අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

​විපක්ෂයේ දෝෂාභියෝගය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදයට අවස්ථාවක් කරගන්නවා.

​තාක්ෂණය භාවිතයේදී ළමා ආරක්ෂණය වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

​6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ ඇති වී තිබෙන ගැටලුව සම්බන්ධයෙන් අස්ගිරි සහ මල්වතු මහා නාහිමිවරුන් දැනුවත් කරමින් අද (08) දින මහනුවර දී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය. අනතුරුව සියලු මොඩියුලවල මුද්‍රිත පිටපත් මහා නාහිමිවරුන් වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදු කෙරිණි.

​අද (08) පෙරවරුවේ මහනුවර මල්වතු මහා විහාරයට පැමිණි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නා හිමියන් බැහැදැක, 6 වන ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ පළමු වාර මුද්‍රණයේ සිදුව ඇති දෝෂය පිළිබඳව කරුණු පැහැදිලි කළාය.

​අධ්‍යාපනය යනු සංවේදී විෂයයක් බවත්, එවැනි කාරණාවලදී වඩාත් සංවේදීව හා නිවැරදි අධීක්ෂණයකින් කටයුතු කළ යුතු බවත් මහා නාහිමියෝ මෙහිදී වදාළහ. එමෙන්ම මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රමවත්ව ඉදිරියට කරගෙන යන ලෙස ද උන්වහන්සේ අනුශාසනා කළහ.

​අනතුරුව අස්ගිරි මහා විහාරය වෙත පැමිණි අග්‍රාමාත්‍යවරිය, අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන මහා නාහිමියන් බැහැදැක ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුව පිළිබඳ කරුණු පැහැදිලි කළාය.

​අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කාලීන අවශ්‍යතාවක් වන අතර ඒවා විධිමත් අධීක්ෂණයකින් හා සුපරීක්ෂාකාරීව සිදු කළ යුතු බවත්, ශ්‍රී ලංකාවේ තාක්ෂණය භාවිත කිරීම පිළිබඳ ගැටලු පවතින බව සමාජ මාධ්‍ය තුළ AI (කෘතිම බුද්ධිය) වැනි නවීන ක්‍රම භාවිත කරන ආකාරයෙන් පැහැදිලි වන බවත් නාහිමියෝ පැවසූහ.

​මහා නාහිමිවරුන් හමුවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේ ද පැවසුවාය:

​"මේ ගැටලුව පිළිබඳ සොයා බැලීමට අප කමිටුවක් පත් කළා. පසුව ජාතික අධ්‍යාපන ආයතනයේ නිර්දේශ මත අදාළ පාඩම ඉවත් කිරීමට කටයුතු කළා සේම, එම මොඩියුලයේ සියලු මුද්‍රිත පිටපත් මුද්‍රා තැබීමට පියවර ගෙන තිබෙනවා. කිසිදු මොඩියුලයක් පාසල් දරුවන් අතට පත් වී නැහැ. මේ සම්බන්ධයෙන් අමාත්‍යංශය මඟින් විධිමත් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද පැමිණිලි කර තිබෙනවා."

​එමෙන්ම තාක්ෂණය භාවිත කිරීමේදී ළමා ආරක්ෂණය පිළිබඳ ප්‍රතිපත්තියක් සකස් කරමින් පවතින බව ද අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළාය.

​අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්, මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මෙසේ කීවාය:

​"විපක්ෂය මේ ජාතික කාර්යයත් තමන්ගේ දේශපාලන වාසියට යොදා ගනිමින් සිටිනවා. නමුත් මතුව ඇති ගැටලු පිළිබඳව සමාජයේ බොහෝ දෙනා අදහස් දක්වන්නේ ධනාත්මකව, වැරදි නිවැරදි කිරීමේ අරමුණින්. සිදුව ඇති වැරදි හඳුනාගෙන ඒවා නිවැරදි කරමින් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට කරගෙන යාමට රජය තීරණය කර තිබෙනවා. විපක්ෂය ගෙන එන දෝෂාභියෝගය, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙන යාමට අවස්ථාවක් කර ගන්නවා."

​අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද නායක ස්වාමීන් වහන්සේ, අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මුරුද්දෙනියේ ධම්මරක්ඛිත ස්වාමීන් වහන්සේ, මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය මහවෙල රතනපාල ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය ද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තුෂාරි ජයසිංහ, තනුර දිසානායක, මහනුවර නගරාධිපති චන්ද්‍රසිරි විජේනායක, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කළුවැව, ලංකා ගුරු සංගමයේ මධ්‍යම පළාත් ලේකම් ඩී.ඩී. විමලවීර යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

​අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංකල්ප පත්‍රිකාව ගැන සාකච්ඡා කරන්න අපි ලෑස්තියි.නමුත් අනවශ්‍ය වෙබ් අඩවි ප්‍රචාරණය කරන්න එපා - අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

6ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අන්දෝලනයට පත් පාඩම ඉවත් කරන්න කටයුතු කරනවා

මේ මොඩියුල දරුවන් අතට පත්කර නැහැ

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සංකල්ප පත්‍රිකාව පිලිබඳ සාකච්ඡා කිරීමට ඕනෑම අවස්ථාවක සූදානම් බවත් ,එකී සංවාදය අනවශ්‍ය වෙබ් අඩවි ප්‍රචාරණය කිරීමට යොදා නොගත යුතු බවත්, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයේ අන්දෝලනයට පත් පාඩම ඉවත් කිරීමට ජාතික අධ්‍යාපන ආයතනයේ අනුමැතිය හිමිව ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (ජනවාරි 07) පාර්ලිමේන්තුවේදී නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියා ය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වු අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය

සංකල්ප පත්‍රිකාව අධ්‍යාපන උපදේශන සභාවේ සාකච්ඡාවට ගත්තා. ඒක සියලුම මන්ත්‍රීවරුන්ට ලබා දෙන්නත්, වෙබ් අඩවියට ඇතුළත් කරන්නත් කටයුතු කර තියෙනවා. ඒ පිළිබදව පාර්ලිමේන්තුව තුළ අපි සාකච්ඡා කළා.ඒ වගේම අපි මන්ත්‍රීවරුන්ට ආරාධනා කළා, ඒ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න කියලා. මන්ත්‍රීවරුන් කීහිප දෙනෙක් මේ සාකච්ඡාවට සහභාගී වුණා. ඕනම අවස්ථාවක අපි තව සාකච්ඡා කරන්න විවෘත යි. ඒ සංකල්ප පත්‍රිකාව මත පදනම් කරගෙන ඒක තව දියුණු කරන්න හෝ සාකච්ඡා කරන්න අපි ලෑස්තියි ඒකට අපි විරුද්ධ නැහැ.

ඒ වගේම ඒ සංකල්ප පත්‍රිකාවේ මේ මොඩයුල අන්තර්ගතය පිළිබදව සඳහන්ව නැහැ. සංකල්ප පත්‍රිකාවක තියෙන්නේ කරන්න යෝජිත ව්‍යුහාත්මක වෙනසේ frame work එක පිළිබදව . මේ සිද්ධිය වාර්තා වුණ වහාම අපි ඒ පිළිබද විමර්ෂණයක් කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ මොඩියුල පිළියෙළ කිරීමේ යම් ක්‍රියාමාර්ගයක්, ක්‍රමවේදයක් තියෙනවා. ඒ ක්‍රමවේදය වෙනස් වුණේ කොහොමද, මේ වගේ දෙයක් අන්තර්ගත වුණේ කොහොමද, ඒකට වග කිය යුත්තේ කවුද කියන එක ගැන කරුණු විමසීමේ විමර්ශනයක් අපි ආරම්භ කළා. ජාතික අධ්‍යාපන ආයතනයේ governing council එක තමා ආයතනයේ විනය පිළිබද වගකියන්නේ. ඒ ආයතනය විසින් රංජිත් ආරියරත්න හිටපු ලේකම්තුමා ඊයේ දිනයේදි මූලික විමර්ශන කරන්න පත් කළා. ඒ මූලික විමර්ශනය අනුව මේ සිදුවීම පිළිබද, ක්‍රමවේද වෙනස්වෙලා මේක කොහොමද සිද්ධ වුණේ කියලා පුළුල් විමර්ශනයක් කරනවා.

මේ සිද්ධිය වාර්ථා වු වහාම අපි මේ පොත කලින් සදහන් කළ විදියට මුද්‍රා තැබුවා. ඒ පොත ළමයින්ට බෙදලා නැහැ. ඒ පාඩම ඉවත් කරන්නත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යාපන උපදේශක මණ්ඩලයේ අනුමැතය ලැබුණා. අපි ඒ පාඩම ඉවත් කරනවා.

මම ඉල්ලා සිටිනවා මෙම සංවාදය කරනකොට අනවශ්‍ය ලෙස වෙබ් අඩවි ප්‍රවර්ධනය කරන විදියට කතා නොකර ඉමු කියලා. මොකද ඒ පාඩම දරුවන්ට යන එක නවත්වලා තියෙන්නේ. ඒ වුණ වැරැද්ද දැක්ක නිසා අපි විමර්ශනය කරමින් ඒ සඳහා ක්‍රියාමාර්ග ගන්න අතර ඒක පිළිබද අපි කතා කරමු. සංවාද කරමු. ඒ ක්‍රියාවලිය තව ශක්තිමත් කරන්නේ කොහොමද කියන එකට යෝජනා තියෙනවනම් ඉදිරිපත් කරන්න. අපි ඉතාමත්ම සතුටින් ඒවා භාරගන්නවා. ඒ වගේම සංකල්ප පත්‍රිකාව පිළිබද තවත් සාකච්ඡා කරන්න අවශ්‍යනම් ඒකටත් අපි විවෘතයි. නමුත් මේක සාකච්ඡා කරන ගමන් අනවශ්‍ය වෙබ් අඩවි තවත් ප්‍රවර්ධනය කරන්නේ නැති විදියට අපි සාකච්ඡා කරමු කියන කාරණය මම මේ අවස්ථාවේ යෝජනා කරනවා.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය