නිදහස් දින පණිවිඩය

අද අප සමරන්නේ යටත්විජිත පාලනයෙන් නිදහස ලබා හැත්තෑ පස් වසරක් සපිරීමේ සුවිශේෂී සංවත්සරයයි.

හුදෙක් අප දිනාගත් නිදහස සැමරීම සඳහා පමණක් නොව, 1948 පෙබරවාරි 04 වැනිදාට පෙර යටත් විජිත පාලනයට යටත්ව ජීවත් වූ රටවැසියන් විඳි දුක් වේදනාවන් සහ අපට නිදහස දිනා දීමට අපේ මුතුන් මිත්තන් ගෙන ගිය අරගල පිළිබඳ මෙනෙහි කිරීමට අද දිනය අවස්ථාවක් කරගනිමු.

විදේශ ආධිපත්‍යයට එරෙහිව ශ්‍රී ලංකාවේ පිබිදීම ආරම්භ වූයේ 1815 මාර්තු 2 වන දින යටත් වීමේ ගිවිසුම අත්සන් කිරීමට පැය කිහිපයකට පෙර බ්‍රිතාන්‍ය ධජය ඔසවනලද අවස්ථාවේ වාරියපොළ ශ්‍රී සුමංගල හිමියන් විසින් එය යළි පහත හෙළීමත් සමඟ ය.

රට වෙනුවෙන් ඉදිරි දැක්මක් සහිතව ජීවිත කැප කිරීමෙන් සටන්වැදී වීරවරයන් සැමරීමත් මවුබිමේ නිදහස වෙනුවෙන් වූ අරගලය ජය ගැනීමේදී අපගේ මුතුන් මිත්තන් දැක්වූ ශූරත්වය, එඩිතරකම මෙන්ම ඔවුන් අත්දුටු ගැහැට, දුක් පීඩා ආදිය පිළිබඳ අපගේ මතකයන් ආවර්ජනය කිරීමත් අද දින අප විසින් සිදුකළ යුතුය.

1818 ඌව වෙල්ලස්සේ සහ 1848 දී මාතලේ ඇති වූ මහා කැරැල්ලේ ප්‍රතිඵලයක් ලෙස අප්‍රමාණ දුක් කම්කටොලු හා පසුතැවීම් ඇති වූ අතර අවසන් සියවසේ දී අවිහිංසාවාදී නිදහස් අරගලයක් ද ඇති විය. අනගාරික ධර්මපාලතුමාගේ සිට, ඩී. බී. ජයතිලක, එෆ්. ආර්. සහ ඩී. එස්. සේනානායක, හෙන්රි පේද්‍රිස්, ටී. බී. ජයා, පොන්නම්බලම් රාමනාදන්, එන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන, එස්. ඒ. වික්‍රමසිංහ සහ එවන් බොහෝමයක් නායකයින් විසින් නිදහස් ව්‍යාපාරය සාර්ථකත්වය කරා ගෙන යන ලදී.

අප දිනූ නිදහස පසුගිය හැත්තෑ පස් වසර පුරාවට ත්‍රස්තවාදීන්ගෙන් සහ අන්තවාදීන්ගෙන් ආරක්ෂා කර කරගැනීම වෙනුවෙන් සටන් වැදි අභීත රණවිරුවන් ද මේ මොහොතේ ගෞරවයෙන් සිහිපත් කළ යුතුය.
නිදහස් ජාතියක් ලෙස අපි විශාල ප්‍රගතියක් අත්කරගෙන, සැබෑ තරුණ බලවේගයක් ගොඩනඟා, ජනතාවට විශිෂ්ට සෞඛ්‍ය හා අධ්‍යාපන සේවාවක් ලබා දීමට කටයුතු කළෙමු. කෙසේ වෙතත්, පසුගිය කාලය තුළ ඇතිවූ ආර්ථික පසුබෑම හේතුවෙන් අපේ රට අභියෝග රැසකට මුහුණ පෑවාය. ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීම සඳහා රජය ක්‍රියාමාර්ග ගණනාවක් ගෙන ඇති අතර ස්වයංපෝෂිතභාවය සහ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීම සඳහා කෘෂිකාර්මික නිෂ්පාදනය ඉහළ නංවා ඇත. අභියෝග ජයගෙන ආර්ථික වශයෙන් යහපත් ප්‍රගතිශීලී ජාතියක් ගොඩනැගීම අප සතු දැඩි අපේක්‍ෂාවයි.

ප්‍රෞඩ ශ්‍රී ලාංකිකයින් වශයෙන්, රටේ දියුණුව සහ ප්‍රගමනය වෙනුවෙන් එකාවන්ව පෙළගැසී අවංකව රට වෙනුවෙන් අපගේ යුතුකම ඉටු කිරීම සියලු දෙනා සතු වගකීමකි.

නිදහස දිනා දිනා ගැනීම වෙනුවෙන් අපගේ මුතුන්මිත්තන් කළ කැපකිරීම් සිත්හි දරාගෙන දීප්තිමත් අනාගතයක් කරා අප මව්බිම මෙහෙයවීමට අප සැම ප්‍රතිඥා දෙමු.

දිනේෂ් ගුණවර්ධන
අග්‍රාමාත්‍ය
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය

Download Release