පරිවර්තනය, ප්‍රතිසන්ධානය සහ අන්තර්කරණීය ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධවීම ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතියේ (STRIDE) මූලික නිර්දේශ අග්‍රාමාත්‍යවරයා අතට...

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත අසුසා කුබෝටා (Azusa Kubota) මහත්මිය අතර හමුවක් 2024.07.01 දින අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

2024 ජූනි 10 සිට 11 දක්වා කාලය තුළ පවත්වන ලද ’උත්ප්‍රේරනීය වෙනසක්-පළාත් පාලන අනාගතයට ගැළපීමක් ඇති කිරීම’ යන මැයෙන් ඔවුන්ගේ ජාතික සම්මන්ත්‍රණය වාර්තාවක් ලෙස ඉදිරිපත් කර මෙම රැස්වීමේදී සාකච්ඡා කරන ලදී පරිවර්තනය ශක්තිමත් කිරීම, ප්‍රතිසන්ධානය ඇතුළත් ප්‍රජාතන්ත්‍රවාදී බැඳීම් වැඩසටහනේ ජාතික සම්මන්ත්‍රණයේ (STRIDE) සොයාගැනීම් සහ මූලික නිර්දේශ මෙහිදී අග්‍රාමාත්‍යවරයා වෙත පිළිගන්වන ලදී.

STRIDE යනු ප්‍රාදේශීය මට්ටමින් සේවාවන්හි ප්‍රවේශය සහ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම මගින් ප්‍රජාවන් සහ පළාත් පාලන ආයතන අතර සංවාදය ප්‍රවර්ධනය කිරීම සඳහා යුරෝපා සංගමය (EU) විසින් අරමුදල් සපයන බහු-පාර්ශවකරුවන්ගේ මුලපිරීමකි.

පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් සංවර්ධනය කිරීම, දිවයින පුරා රජයේ පාසල් සහ පළාත්පාලන ආයතන සඳහා සූර්ය පැනල ව්‍යාපෘති, ග්‍රාමීය කෘෂිකාර්මික ආර්ථිකය සහ කාන්තාවන් කේන්ද්‍ර කරගත් පවුල් ඒකක ආර්ථිකයන් තවදුරටත් දියුණු කිරීමට සහාය වීම වැනි කරුණු රැසක් සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන්නැයි අග්‍රාමාත්‍යවරයා මෙම වැඩසටහනෙන් ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍යවරයාට ප්‍රතිචාර දක්වමින් කුබෝටා මහත්මිය ප්‍රකාශ කළේ ඔවුන් දැනටමත් මෙම ක්ෂේත්‍ර කෙරෙහි අවධානය යොමු කර ඇති බවත් ග්‍රාමීය කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳ ඔවුන්ගේ මුලපිරීම පුළුල් කිරීම සඳහා කාර්ය සාධක බලකායක් නිර්මාණය කිරීම පිළිබඳව තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත්ය.

ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගමයේ නියෝජිත පිරිසේ සහයෝගිතා ප්‍රධානී ආචාර්ය ජොහාන් හෙසේ සහ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න ද මෙම අවස්ථාවට එක් වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය